රජයට විශාල ආදායමක් අහිමි කරමින් නිකුත් කරන ලද මෙම මත්පැන් බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
මහනුවර ප්‍රදේශයේ පදිංචි එස්.ඒ. චාමර සම්පත් අබේසේකර සහ එන්. රවි චන්ද්‍රන් යන ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ.එම්.පී. අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී.ජේ.ඒ. වීරක්කොඩි, යූ.ඩී.එන්. ජයවීර සහ මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන, අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු තිස්නව දෙනකු පෙත්සමෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කර සිටිති.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ඉකුත් ජූලි මස 26 වැනිදා සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සැප්තැම්බර් මස 21 වැනිදා අතර කාල සීමාව තුළ වගඋත්තරකරුවන් විසින් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැණිව යමින් මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඔවුන්ගේ ඥාතීන්, හිතවතුන් සහ ආධාරකරුවන් සඳහා මෙම බලපත්‍ර නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද පෙත්සමෙහි තවදුරටත් සඳහන් වේ.
ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ යටි දේශපාලන අරමුණකින් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර ඇති අතර සුරාබදු පනතේ විධිවිධානයන් මඟහැර අත්තනෝමතික සහ අයුක්තිසහගත අයුරෙන් ඒවා නිකුත් කර ඇති බවට පෙත්සම මඟින් පෙන්වා දී ඇත.
විනිවිදභාවයකින් තොරව මෙන්ම විධිමත් පටිපාටියට පටහැණිව ඒවා නිකුත් කර ඇති බව ද පෙත්සමෙහි සඳහන් වේ.
සාමාන්‍ය නීතිමය පටිපාටිය යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කිරීමේදී එක් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 15ක පමණ මුදලක් රජයට ආදායම් වශයෙන් ලැබෙන නමුත් මෙම කාලය තුළ නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේදී රජයට අය විය යුතු විශාල ආදායමක් අහිමි වී ඇති බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.
වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ඉකුත් ජූලි මස 26 වැනිදා සිට සැප්තැම්බර් මස 21 වැනිදා අතර කාලසීමාව තුළ එලෙස අනීතික ලෙස නිකුත් කළ මත්පැන්හල් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
එසේම මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු කළ කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති විරෝධී අක්රමිකතාවන් හෝ දූෂණ සිදු වී තිබේ ද යන්න පිළිබඳ විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම මඟින් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත.
එසේම අදාළ කාල සීමාව තුළ නිකුත් කළ මත්පැන්හල් බලපත්‍ර පිළිබඳ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත.
නෙල්කා මැදගෙදර