සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව උපන් බිම වෙනුවෙන් සටන් කිරීම හමුවේ දේශෙද්‍රෝහීන් ලෙස නම් කර තිබූ අපේ ජාතික වීරයන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෑතකදී කටයුතු කරනු ලැබීය.
එහෙත් ජනාධිපතිවරයා එසේ කරද්දී අද දවසේ යහපාලනය තුළ තවත් පැත්තකින් සිදුව තිබෙන්නේ කුමක්‌ද? අපේ කාලයේ ජාතික වීරත්වය නින්දිත ලෙස සිරගත කෙරෙමින් තිබෙන්නේය.
සුද්දන් දේශෙද්‍රෝහීන් කළ ජාතික වීරත්වයට හිමි නිසි තැන යළි ලබා දෙන්නට ජනාධිපතිවරයා කටයුතු කළද මේ මොහොතේත් සිදු කරනු ලබන ජාතියේ නූතන වීරත්වය දංගෙඩියට යෑවීමේ දඩයම නතර කරන්නට කාටවත් නොහැකිව තිබෙන බව නම් දැන් හොඳටම පැහැදිලිය.
කිවයුතු දේ කෙළින්ම කියන්නේ නම් එසේ පවසනු හැර අපට අද වෙන කීමට දෙයක් නැත. සිදුවන සියල්ල ඒ තරමටම මුග්ධය. කාලකණ්‌ණිය.
එක් පසෙකින් ජාතික වීරත්වයට දේශප්‍රේමී සහතික දීමය. අනෙක් පසින් නූතන වීරත්වය දංගෙඩියට යෑවීමය. අපේ ප්‍රධාන ආහාරය තණකොළ නම් මේවා දකිද්දී තප්පුලා නටන්නට අපට පුළුවන. එහෙත් බත් කන ජාතියක් මේ සිදුවන දේ දකිද්දී “තුහ් නොදොaකින් කාලකණ්‌ණි” යෑයි කියනු හැර වෙන යමක් කරනු ඇතිද?
ඉතිහාසය නිවැරදි කරමින් ජනාධිපතිවරයා ජාතික වීරයන් එසේ දේශප්‍රේමීන් ලෙස නම් කරද්දී මොනරවිල කැප්පෙටිපොළ හෙවත් වීර කැප්පෙටිපොළ යනු එහි ඉහළින්ම තිබූ නාමයක් විය. එහෙයින් සුද්දන් විසින් දේශෙද්‍රෝහියකු ලෙස නම් කර සිටි වීර කැප්පෙටිපොළ චරිතයද දේශප්‍රේමී නාමයෙන් පුදන්නට කටයුතු කෙරිණි.
එදා සුදු අධිරාජ්‍යවාදීන් යටතේ මහදිසාවේ තනතුරක් දරමින් සිට ඓතිහාසික ඌව වෙල්ලස්‌ස කැරැල්ලේදී සුද්දන් හැරදා සිංහල හමුදාවට එක්‌වී සුද්දන්ට එරෙහිව සටන් කොට උපන් බිමේ විමුක්‌තිය වෙනුවෙන් කළ ජීවිත පූජාව හමුවේ මොනරවිල කැප්පෙටිපොළ එසේ වීරත්වයට පත්විය.
එහෙත් යහපාලනය තුළින් මෙදා වීර කැප්පෙටිපොළ නාමයද දේශප්‍රේමීත්වයෙන් එසේ පිදුම් ලබද්දී ඒ ලේ ඇති අපේ කාලයේ වීරයකු වත්මන් බුද්ධි අංශ දඩයම හමුවේ වැලිකඩ කූඩුවේ සිටි බව ජනාධිපතිවරයාවත් දැන සිටියේද?
අපට නම් සිතෙන්නේ කිසිවකුත් ඒ බවක් දැන නොසිටි බවය. මන්ද යහපාලනයට එවන් සවිඥනික බවක් තිබුණේ නම් යුද හා නාවික හමුදා බුද්ධි බළාකයන්හි සිටිමින් උපන් බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරයන් කිසිවකුත් අද සිදුවන අන්දමට සිරගත කෙරෙන්නේ නැත.
එහෙත් කවුරු නොදැන සිටියද ඒ වීර ලෙයට උරුමකම් කියන බුද්ධි අංශ විරුවකුද සිරගත කර සිටින වග අපි දැන සිටියෙමු. හේ අන්කිසිවකුත් නොව යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් සීවලී ප්‍රභාත් බුලත්වත්තය.
මේජර් බුලත්වත්ත මෙන්ම යහපාලනයත් සමඟ රහස් පොලිසිය ආරම්භ කළ විමර්ශන හමුවේ සිරගත කෙරුණු නාවික හමුදාවේ කමාණ්‌ඩර් සුමිත් රණසිංහ, අනිල් මාපා ආදී ලෙසින් වූ සියලු බුද්ධි අංශ විරුවෝ අපේ කාලයේ වීරයෝමය. එහි කතා දෙකක් නැත. ඔවුන්ද මේ රට වෙනුවෙන් කළේ අතීතයේ වේළුසුමනලා, ගෝඨයිම්බරලා කළ දේමය. කැප්පෙටිපොළලා, ගොන්ගාලේගොඩ බණ්‌ඩලා කළ වීරකම්ය. මේ සියලු දෙනා කැප වූයේද උපන් රට වෙනුවෙන්ය.
කිසිවකු විසින් හෝ වරදක් කර ඇත්නම් ඊට දඬුවමක් දීම පිළිබඳ අපට ගැටලුවක් නැත. එහෙත් අද රහස් පොලිසිය කරන්නේ එයද? දණ්‌ඩ නීති සංග්‍රහයේ වගන්ති ඇත. සීඅයිඩීයේ පොත් තිබේ. එය ප්‍රයෝජනයට ගන්නා සීඅයිඩීය මේ කරමින් සිටින්නේ තමන්ට හිතෙන හිතෙන අන්දමට විවිධ දේ පවසා අධිකරණයට බී වාර්තා දමමින් හැකිතාක් මේ විරුවන් සිරගත කර තැබීමට වෙහෙසීම නොවේද?
ඔවුන්ගේ විමර්ශනවලදී පෙනෙන්නට තිබෙන අසාධාරණකම් බොහෝය. තමන්ට ඕනෑ ලෙස අද නීතිය නවන බව නම් ඉතාම පැහැදිලිය. සියල්ල සිදු කරනුයේ අතේ ඇඟිලි ගණනින් ගැණිය හැකි නිලධාරීන් පිරිසකි. ජනාධිපතිතුමනි, රටේ ජාතික ආරක්‍ෂාවද බිල්ලට දෙමින් බුද්ධි අංශ දඩයමක යෙදී සිටින මේ අය අද ඉටුකරමින් සිටිනුයේ කාගේ කොන්ත්‍රාත්වක්‌ද?
මෙසේ පොලිස් උමතුවක් හමුවේ දිගින් දිගටම සිරගතවීමට සිදුවීම හේතුවෙන් අද මේ සියලු විරුවන්ගේ දරුපවුල්වලට අත්ව තබෙන්නේද ඉතාම ෙ€දනීය ඉරණමකි. එහෙයින් ඒ දරුවන්, බිරින්දැවරුන් සහ දෙමාපියන් වෙනුවෙන් මේ අවනඩුව පිළිබඳ මොනරවිල කැප්පෙටිපොළ පරම්පරාවේ මිණිබිරියක වන මේජර් බුලත්වත්තගේ මවගේ හඬ අවදි කරවීමට ඉකුත් සතියේ අපට හැකිවිය.
ඇය නමින් මොනරවිල කැප්පෙටිපොළ බණ්‌ඩාරනායක වාසල මුදියන්සේලාගේ චිත්‍රා කුමාරිහාමි මොනරවිල කැප්පෙටිපොළය. පදිංචිය සිටිනුයේ කන්ද උඩරට තෙල්දෙණිය ප්‍රදේශයේය. අප ඒ නිවස සොයා යන විටත් හිස් බැල්මකින් අහස දෙස බලාගෙන කල්පනාවක යෙදී සිටි ඇය දැන් බොහෝ වයෝවෘද්ධව සිටින්නීය. ඇය හෘද රෝගයකින් පෙළෙමින් සිටින බවද මේ ගමනේදී දැනගැනීමට ලැබිණ.
එහෙත් ඒ සියලු වේදනාවන් පරදා අද දරුදුකේ වේදනාවෙන් පෙළෙමින් සිටින ඒ වීර මාතාව මේජර් බුලත්වත්ත ඇතුළු සියලු විරුවන් වෙනුවෙන් තමන්ගේ හඬ මෙසේ අවදි කළාය.
“ඇයි පුතේ මගේ දරුවා වගේම අනෙක් වීරයන්වත් මේ විදිහට හිර කරගෙන ඉන්නේ. ඔවුන් වරදක් කළා කියනවා නම් ඇයි වගකිව යුතු අයට බැරි මේ වීරයන්ට නිදහසක් දීලා නඩු අහලා ඒ ගැන නීතියෙන් කටයුතු කරන්න. ඔවුන්ව මේ විදිහට හිර කරගෙන ඉන්නේ දෙමාපියන්, දරුවෝ, බිරින්දැවරු අමතක කරලා මේ රට වෙනුවෙන් ඉදිරියට ගිය නිසාද? ඔවුන් ඒ ගමන ගියේ මේ රටේ මිනිස්‌සුන්ගේ මරණ බිය නැති කරන්න නෙමේද?
“මගේ පුතා 1996 උසස් අධ්‍යාපන කටයුතුවලට සුදානම් වෙලා ඉන්න අතරෙදියි සියලු දේ අතහැරලා රට ගැන හිතලා කැඩෙට් නිලධාරියෙක් විදිහට හමුදාවට බැඳුණේ. එහෙම වුණේ එයා අම්මගෙන් බිව්ව කිරිවල පරම්පරා උරුමේ නිසා වෙන්න ඇති. එදා ඉඳන් පුතා හිටියේ යුද බිමට ගිහින්. ඔහු බුද්ධි නිලධාරියෙක් විදිහටයි කටයුතු කෙරුවේ.
“ඒ දවස්‌වල පුතා හිටිය කඳවුරුවලට එල්ටීටීඊ එක ගහනවා කියනකොට මගේ මේ ඇස් දෙකෙන් ගැලුව කඳුළු, පපුවට දැනුණු ගින්දර කියලා නිම කරන්න බැහැ. පුතාලගේ තාත්තා නැති වුණේ මීට අවුරුදු 32 කට විතර ඉස්‌සර. තාත්තත් නැතිව මම මගේ ඇස් දෙක වගේ මේ දරුවෝ ටික උස්‌මහත් කළේ.
“දරුවන්ගේ තාත්තා මේ රටේ හිටිය හොඳ විනය ගරුක පොලිස් නිලධාරියෙක්. මස්, මාලු, මත්පැන් වගේ කිසිම දෙයක් පාවිච්චි කරපු කෙනෙක් නෙමේ. අද සිරගත කරල ඉන්න මගේ සීවලී පුතත් ඒ වගේම ගති ගුණ තිබුණ කෙනෙක්. මගේ දරුවෝ කවදාවත් කිසිම කෙනෙකුට වරදක් කරන අය නෙමේ.
“සීවලී පුතා ආගම දහමට හරිම ලැදි කෙනෙක්. එයා හරි නිහඬ චරිතයක්. හැම දේකටම වඩා මුල් තැන දුන්නේ රාජකාරියට. ආමි එකේ මේජර්Êකෙනෙක් වුණාට ඒ ගැන කියලා තමන්ගේ දරුව පැටියවවත් රජයේ පාසලකට දාගන්න පුතා කැමති වුණේ නැහැ. එයාගේ අයියලා අක්‌කලා වියදම් කරලයි දරුවව හොඳ ඉස්‌කෝලෙකට දැම්මෙ.
“පුතා කොහේ හිටියත් මට අසනීපයක් කියලා දැනගත්ත ගමන් ගෙදරට කතා කරලා “අම්මා ඇයි අම්මා.. දැන් කොහොමද” අහල දුක සැප බලනවා. අම්මා බය වෙන්න එපා කියලා මගේ හිත හදනවා. අද හිර ගෙදර ඉඳගෙනත් මම එයාව බලන්න ගියහම මගේ ඔලුව අතගාලා කියන්නේ “අම්මා බය වෙන්න එපා අම්මා මම වරදක් කරලා නැහැ” කියලයි. ඒත් අම්මා කෙනෙක් විදිහිට මගේ දරුවා යකඩ කූඩුවක හිරවෙලා ඉන්නවා දැක දැක මම කොහොමද හිත හදා ගන්නේ. වෙලාවකට මේ දුක උහුල ගන්න බැරුව මගේ පපුව හිරවෙනවා වගේ දැනෙනවා පුතේ..
“එදත් මට මගේ පුතා ළඟින් ඉන්න බැරිවුණා. යුද්දෙ ඉවර වුණහම මම හිතුවේ දැන් හැමදේම හරියයි කියලයි. ඒත් අදත් මට මගේ පුතා ළඟ නැහැ. පුතා වගේම හිර කරලා ඉන්න හැම දරුවෙක්‌ගේම අම්මලට, බිරින්දැවරුන්ට අද අත්වෙලා තිබෙන්නේ ඒ ඉරණම.
ඒ ටික පවසද්දී ඇගේ හඬ එක්‌වරම පැටලෙන්නට විය. මේ වීර මාතාවගේ හදවතේ නැගෙන ගින්දර නිවෙන්නට ඉඩහැර මොහොතකට අපි නිහඬව සිටියෙමු. විනාඩි කිහිපයකින් පසු දෙනෙතින් ගලා ගිය කඳුළු දෙකොපුල් මත තිබියදීම ඇය යළි කාතා කරන්නට වූවාය.
“මේ විදිහට මගේ පුතා 1996 ඉඳන් 2006 වෙනකම් අවුරුදු දහයක්‌ම සටන් බිමේ රාජකාරි කළේ. පස්‌සේ එයාව කොළඹ රාජකාරිවලට දාල තිබුණා. බුද්ධි රාජකාරීවලදී පුතා දක්‌වපු දක්‍ෂතා නිසාමයි එයාව කොළඹට දාලා තිබුණේ. තමන්ගේ බිරිඳවව, දරුවව, අම්මව බලන්න එන එක පවා අමතක කරලයි ඒ දවස්‌වල පුතා කොළඹ ත්‍රස්‌තවාදීන්ගෙන් බේර ගන්න කැපවෙලා හිටියේ.
එදා මගේ පුතා ඇතුළු බුද්ධි අංහ රණවිරුවන් එහෙම කැපවී කටයුතු කළ නිසා කොටින්ගේ බෝම්බවලින් බේරුණේ රටේ ජනතාවගේ ජීවිත.
“යුද්දේ ඉවර වුණාට පස්‌සේ මගේ පුතාව නැගෙනහිර පළාතට මාරු කරලා තිබුණා. එයා අවුරුදු දෙක තුනක් එහෙ රාජකාරි කරද්දී ආයෙත් ගාල්ලට මාරු කළා. ඔය ඉන්න අතරෙදී තමයි කීත් නොයාර් කියන මාධ්‍යවේදියාව පැහැරගෙන ගිහින් පහර දුන්නයි කියලා පොලිසිය මගේ පුතා එක්‌ක තවත් රණවිරු දරුවන් පිරිසක් අත්අඩංගුවට ගත්තේ.
2017 පෙබරවාරි 14 වැනිදා පුතාගේ තාත්තගේ දානේ කටයුතු ගෙදර තිබුණා. පුතා ඒකට ඇවිත් ගියාට පස්‌සේ 18 වැනිදා අත්අඩංගුවට අරගත්තා. එතන ඉඳන් සීඅයිඩී එක අපිට දුන්න වධ අනන්තයි, අප්‍රමාණයි. මුළු පවුලම ගෙන්නලා ප්‍රශ්න කළා. උසාවිවලදී ෆෝන්වලින් හොරෙන් අපේ පිංතූර ගත්තා. ඒවට අපි විරුද්ධ වුණහම විමර්ශනවලට බාධා කරනවා කියලා අපිට චෝදනා එල්ල කළා.
“අපිට ගමේ පාරක බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති කළා. ගමේ මිනිස්‌සුන්ගේ මුහුණ බලලා කතා කරන්න බැරි තත්ත්වයක් ඇති කළා. ඔවුන් හැම තැනදීම කටයුතු කළේ මගේ පුතා එක්‌ක අත්අඩංගුවට ගත්ත රණවිරුවන්ගේ පවුල්වල වෛරක්‌කාරයෝ වගේ. හැම පවුලකම අය ගෙන්නලා ප්‍රශ්න කරන්න ඕනේ කියලා රස්‌තියාදු කෙරෙව්වා. අපි මේ අසාධාරණය ගැන ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඉඳන් සියලුම බලධාරීන්ට ලි�තව දැනුම් දුන්නත් කිසිම පිහිටක් ලැබුණේ නැහැ.
“අද මගේ පුතා වගේම එයත් එක්‌ක සිරගත කරපු රණවිරුවන්ට සිටින්නේ පුංචි දරුපැටවුන්. මේ හැම රණවිරුවෙක්‌ගෙම වැටුප පවා අත්හිටුවලා තිබෙන්නේ. මේ නිසා සියලුම දරුපවුල් ගත කරන්නේ ඉතාම කණගාටුදායක ජීවිතයක්. ඔවුන්ට කාගෙන්වත් පිහිටක් නැහැ. හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නේ.
“මගේ පුතා ඇතුළු රණවිරුවන් මේ විදිහට සිරගත කරලා ඉන්න අතරේ දැන් ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරු කියන්නේ අහන්ඩත් අප්‍රසන්න කතා. මගේ පුතා ඇතුළු විරුවන් රට වෙනුවෙන් කැප වෙලා යුද්ධ කෙරුවේ මේ දේශපාලනඥයන්ට විතරක් නෙමේ අද ඉන්න පරපුරට වගේම අනාගතයේ මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ටත් බියෙක් සැකෙන් තොරව ඉන්න පුළුවන් රටක් හදන්න.
“ඒත් සමහර ආණ්‌ඩුවේ දේශපාලනඥයන් අද මේ රණවිරුවෝ ගැන කතා කරන්නේ සියලු දේ අමතක කරලා. මනුෂ්‍යත්වයටත් නිගා වන අන්දමටයි ඔවුන් කතා කරන්නේ. මේ නිසා රණවිරුවන්ගේ අම්මාවරුන්ට සිදුවෙලා තිබෙන්නේ රට වෙනුවෙන් දරුවෙක් හමුදාවට දුන්නු වරදට හඬා වැළපෙමින් ජීවත් වෙන්න. බිරින්දැවරුන්ගේ ඉරණමත් ඒක. දරුවන්ටත් ඒ ටිකම තමයි.
“ඒ නිසා මම අම්මා කෙනෙක් විදිහට සිරගත කරලා ඉන්න සියලුම රණවිරුවන්ගේ දරුපවුල් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ මේ රණවිරුවන්ට එරෙහිව චෝදනා තිබෙන්වා නම් දිගින් දිගටම වෛරී විදිහට කෙරෙන සිරගත කිරීම නතර කරලා ඔවුන්ට නඩු පවරලා නිදහස් කර ඒ නඩු විභාග කරන්න කියන ඉල්ලීමයි..”
ජනාධිපතිවරයාගෙන් ඇය කළ මේ ඉල්ලීමත් සමඟ කැප්පෙටිපොළ පරපුරේ මේ වීර මාතාව තමන්ගේ කතාව නතර කළාය. එහෙත් ඒ අවසානයට ළඟා වන විට ඇය තුළ තිබුණේ තම පුතු ඇතුළු සියලු විරුවන්ට අත්ව තිබෙන ඉරණම හමුවේ ඇතිවූ වේදනාවක් සමඟ මුසුවූ පසුතැවීමක් බවද සඳහන් කළ යුතුය. ඇතැම්විට හමුදාවට දරුවකු ලබාදීමේ පසුතැවීම දැන් ඇය තුළ වනවාද විය හැකිය.
මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා බුද්ධි බළකායේ රණවිරුවන් මුලින්ම අත්අඩංගුවට ගත්තේ මාධ්‍යවේදී කීත් නොයාර්ව පැහැරගෙන ගොස් පහරදුන්නේ යෑයි චෝදනා කරමිනි. එහෙත් මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ට පහර දුන්නේ සීඅයිඩීය අත්අඩංගුවට ගත් පිරිස නොවේ යෑයි ප්‍රසිද්ධියේ විදෙස් මාධ්‍යයකට පවසා තිබූ මාධ්‍යවේදී කීත් නොයාර් හඳුනාගැනීමේ පෙරෙට්‌ටුව සඳහා මෙරටට ඒම ප්‍රතික්‍ෂේප කර තිබිණි.
එහිදී ගල්කිස්‌ස අධිකරණය මේ විරුවන්ට ඇප ලබා දුන් අතර ඒ සමඟම සීඅයිඩීය කළේ ඔවුන්ව මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ යෑයි කියමින් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමය. එහිදී හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවට ඉදිරිපත් වූ උපාලි තෙන්නකෝන් මහතා මේ විරුවන් කිසිවකුත් හඳුනා නොගත්තෙන් ඔවුන්ට ඇප නියම විය. එසේ ඇප ලැබීමත් සමඟ මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දුන්නේත් මේ විරුන්ම යෑයි කියමින් ඔවුන්ව කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදීත් සියලු දෙනාට ඇප ලැබිණ. එහෙත් ඒ සමඟම සිදු වූයේ කීත් නොයාර් සිද්ධියට ගල්කිස්‌ස අධිකරණය මේ රණවිරුවන්ට ඇප දුන් අන්දම වැරදි යෑයි පවසමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට කළ කරුණු දැක්‌වීමකට අනුව ඔවුන්ගේ ඇප අවලංගු වීමය.
මේ අනුව බලන කල මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත් මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස සම්බන්ධයෑයි කියමින් සීඅයිඩීය හෙට දිනයේ මොවුන්ට තවත් චෝදනාවක් එල්ල කරන්නට බොහෝ දුරට ඉඩ ඇත. එය ස්‌ථිර වශයෙන්ම සිදු වන්නටද බැරි නැත. ඉහත සිද්ධීන් දෙස බැලීමේදී ලසන්ත ඝාතන චෝදනාවත් මේ විරුවන්ට එල්ල නොවෙතියි කියන්නට කාට හෝ හැකියාවක් තිබේද?
බලධරයනි, පවතින සත්‍ය තත්ත්වය මෙය නම් රට බේරාගත් රණවිරුවන්ට සීඅයිඩීය අසාධාරණයක් කරන්නේ යෑයි වීර කැප්පෙටිපොළ පරපුරේ ඒ අම්මා කියන කතාව ලෙහෙසියෙන් බැහැර කළ හැකිද?
මෙහිදී හිටුප හමුදාපති වත්මන් ඇමැති සරත් ෆොන්සේකා පිළිබඳවද යමක් සඳහන් කළ යුතුය. ඒ කීත් නොයාර් පැහැර ගැනීම ඇතුළු මෙකී සිදුවීම් පෙළ හමුවේ තමන් දැරූ හමුදාපතිකමද අමතක කළ හේ පසුගිය දිනවල අමුතු කතා රැසක් ප්‍රසිද්ධියේ කී නිසාය. ඔහු සිය ප්‍රකාශ තුළින් Rජු ඉලක්‌කය ගෙන තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂටය.
එහෙත් ඔහු එසේ ගෝඨාභ රාජපක්‍ෂට ඉල්ක්‌කය ගනිද්දී කීත් නොයාර්ට පහරදීම ඇතුළු අපරාධ සිදුවූ කාලයේ රටේ එක්‌තරා ප්‍රබල හමුදා ප්‍රධානියකු සමීපයේ සිටියේ යෑයි කියන මාධ්‍ය ගිරවකුගේ බයිලා කීමක්‌ද එකල අපට වාර්තා විය.
කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන් දවසේ කොළඹ ෆ්‍රෙස් ක්‌ලබ් එක හෙවත් මාධ්‍ය අවන්හලට පැමිණ පදම වැඩිවී “කොහොමද අපේ ලොක්‌කගේ වැඩ” යෑයි කියමින් මේ මාධ්‍ය ගිරවා කටමැත දෙඩවූ බවද ඒ දිනවල මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කතාබහට ලක් විය. ඉතින් රණවිරුවන් හිරේ දැමීම පසෙක තබා මේ මාධ්‍ය ගිරවා සෙව්වේ නම් සියලු අපරාධවල සුළමුල සොයා ගැනීමට සීඅයිඩීයට හැකි නොවන්නේද?
එසේම එල්ටිටීඊය පරාජය කිරීමේදී මේ රටේ පැවතියේ ආලපාලු බුද්ධි අංශයක් නොවීය. බුද්ධි අංශවල සිටියේ අති දක්‍ෂයෝමය. එහෙයින් එකල සිදුවූ මේ අපරාධ පිළිබඳ යම් යම් දේ ඇතැම් බුද්ධි නිලධාරීන් දැන සිටින්නටද බැරි නැත.
එහෙයින් අද ජීආර් වෛරය හමුවේ ඇතැමුන් කියන බයිලා සමඟ දේශපාලන වුවමනාවන් අනුව ගෝඨාභය කොටු කරන්නට අකුරු දෙක ඉල්ලා සීඅයිඩීය රණවිරුවන් හිරේ දමද්දී කවුරුන් විසින් හෝ නිකමටවත් කට ඇරියොත් රෙදි ගැලවෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂගේ නොව කවුරුත් නොසිතන සමහර කලවැද්දන්ගේ වියහැකි බවද අවසන් වශයෙන් සටහන් කළ යුතුය.
දිවයින – සමන් ගමගේ