Colombo Today Local News

සුසිල්, දයාසිරි රනිල් සමග පැටළේ.. තෙල් ටැංකි ගිවිසුමෙන් කැබිනට්ටුව යළි රත්වෙයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවැරීමට එරෙහිව කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය පළවී තිබෙනවා. දයාරිසි ජයසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත යන ඇමතිවරු අගමැතිවරයා අතර දැඩි උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුව තිබෙන අතර, අදාළ ගිවිසුම සංශෝධනය කර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා එකග වී තිබෙනවා.

“මේ ගිවිසුම ‍පොදු කරුණුවලින් සමන්විත ගිවිසුමක් විය යුතුයි. ස්වභාවික ගෑස් කර්මාන්තශාලාවක් ගැන මේ ගිවිසුමේ තිබෙනවා. නිශ්චිත කරුණු මෙහි සඳහන් වෙනවා. අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවානම් ‍පොදු කරුණු සම්බන්ධයෙන් ඇති කරගන්නා එකඟතාවයන් දක්වමින් ඒක අත්සන් කරනවානම් හොඳයි. එහෙම නැතිව නිශ්චිත කරුණු දැම්මාම තෙල් ටැංකි බදු දෙනවා කියලා කියවෙනවා. ඒක හරි නැහැ“ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා රනිල්ගේ ගිවිසුමට විරෝධය දක්වමින් ප්‍රකාශ කර ඇත.

එදා ඇමෙරිකාවට තෙල් ටැංකි දෙන්න ගියා. තෙල් ටැංකි තියාගෙන බම්බු ගහන්නද. මෙතැන තෙල් ටැංකි සිය ගාණක් තියෙනවා. මේවා දිරාපත් වෙනවා. මේවා ථූපාරාමය, අභයගිරිය වගේ වන්දනාමාන කරන්නද ඔයාලා හදන්නේ. මේවා දුන්නම මොකද වෙන්නේ රාජිත සේනාරත්න ඇමැතිවරයා ආවේගයෙන් යුතුව කතා කරන විට මංගල සමරවීරත් අදහස් දැක්වූවේය.

තෙල් සේවකයෝ වැඩ වර්ජනය කරනවා කියලා මේවා නොදී බැහැ. රටේ සංවර්ධනයට මේ සම්පත් යොදාගන්න ඕන මංගල කීවේය. අපි දන්නවා මේව කාගේ යෝජනාද කියලා. මේවා බැසිල්ගේ යෝජනා. වෙස් මුහුණු බැඳන් වැඩ කරගෙන බැසිල්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන අය අපි දන්නවා රනිල් කීවේ තරමක ආවේගයෙන් යුතුවය. එයට ප්‍රතිචාර දක්වන්න නැගී සිටියේ සුසිල්ය.

බැසිල් කියන්නේ කවුද? අපිට එයා අදාළ නැහැ. අපි තෙල් කර්මාන්තය රැකගන්න සටන් කරන කා‍ලේ බැසිල් ලංකාවේවත් හිටියේ නැහැ. අපි ලක්ෂ්මන් කදිර්ගාමර් එක්ක ඉන්දියාවට ගියපු වෙලාවේ භාරත් සමාගමට තෙල් ටැංකි දෙන්න කියලා මට බලපෑම් ආවා. ඒ වෙලාවේ ඉන්දියන් ඔයිල් එකට තුනෙන් එකක් දීලා තිබුණේ. තවත් තුනෙන් එකක් භාරත් සමාගමට දෙන්න කියලා චන්ද්‍රිකාත් බලපෑම් කළා. මේ තෙල් ටැංකිවලින් තුනෙන් දෙකක් ඉන්දියාවට ගියාම ඉන්දියාවට තෙල් සැපයුම නතර කරන්න පුළුවන්. එහෙම වුණා නම් එදා යුද්ධය කරන එකත් නතර වෙනවා. බැසිල් අපිට වැදගත් මිනිහෙක් නමෛයි සුසිල් කීවේ තදිනි.

මේ වගේ නරක චෝදනා කරන්න එපා. දැන් තියෙන අවදානම තේරුම්ගන්න දයාසිරි ජයසේකර ඇමැතිවරයාත් සංවාදයට මැදිහත් විය.

මම මේක හෙට ඉන්දියාවට ගිහින් අත්සන් කරන්න ඕන. එහෙම එකඟතාවයක් තිබෙනවා. මම ගිවිසුම අරගෙන යන්න ඕන රනිල් කීවේය.
තෙල් සංස්ථාවේ සේවකයින්ට ඊයේ රෑ දුන්න ‍පොරොන්දුව මතක නැද්ද? තෙල් ටැංකි බදු දෙන්න ගිවිසුම් අත්සන් කරන්නේ නෑ කියලා ‍පොරොන්දු වුණා මතක නැද්ද? ඒ ‍පොරොන්දුවට පිටින් ගිහින්ද මේ ගිවිසුම් අත්සන් කරන්නේ සුසිල් ඇසුවේය.

ඔව් ඔව්, තෙල් සංස්ථාවේ වර්ජනය අවසන් කළේ ඒ ‍පොරොන්දුව දීලා. මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක්. මේ ‍පොරොන්දු ඉටු කරන්න රජය බැඳී සිටිනවා. ඒවා කඩන එක වැරදියි මෛත්‍රී කතාවට එක්විය.

අපි මේවා ‍පොරොන්දු වෙලා තියෙනවා. අපි ඒ ‍පොරොන්දුව අනුව හදපු ගිවිසුමක් රනිල් කීවේය.

කවුද ආණ්ඩුව වෙනුවෙන් ඉන්දියාවට තෙල් ටැංකි දෙන්න ‍පොරොන්දු වුණේ. කවුද ආණ්ඩුව වෙනුවෙන් ‍පොරොන්දු වුණේ දයාසිරි ඇසුවේය.

ඇයි චන්දිම වීරක්කොඩියි, මලික් සමරවික්‍රමයි ඉන්දියාවේ තෙල් කර්මාන්තය ගැන සොයා බලන්න ගියා. ඒ වෙලාවේ තමයි ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් මේ ‍පොරොන්දුව අරගෙන ආවේ රනිල් කීවේ මතෛක් කැබිනට් මණ්ඩලයේ සිටි අය නොදත් කතාවක්ය. ඉන්දියාවට තෙල් ටැංකි බදු දීමට ඇතිකරගත් එකඟතාවයන් ගැන කැබිනට් මණඩලයේ බොහෝදෙනා දැනගත්තේ ඒ අවස්ථාවෙදීය.

දැන් ‍පොරොන්දු කඩලද මේක අත්සන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ඇසූහ.

එහෙම ගිවිසුමක් අත්සන් කරන්න ඕන නම් සාකච්ඡා කරලා රටට අහිතකර නොවන ගිවිසුමක් අත්සන් කරන්න මෛත්‍රී උපදෙස් දුන්නේය.

මේ ගිවිසුමේ කොතනකවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියලා කොතනකවත් නැහැ. සී.පී.සී. කියන අකුරු තුන කිසිම තැනක නෑ. ඇයි එහෙම වෙලා තියෙන්නේ සුසිල් ඇසුවේය.

ඒකට තමයි සමූහ ව්‍යාපාර කියන වචනය දාලා තියෙන්නේ රනිල් උත්තර දුන්නේය.

සමූහ ව්‍යාපාර කියලා කියන්නේ නැතිව සීපීසී කියලා දාන්න පුළුවන්නේ. එහෙම නැතිවුණාම වෙනත් සමාගමකට වුණත් මැදිහත් වෙන්න පුළුවන්නේ සුසිල් සිය සටන අතනොහැරියේය.

ඒ අනුව ගිවිසුම සංශෝධනය කර ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කර එම ගිවිසුම ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රනිල් ‍පොරොන්දු විය.

Related posts

මාළිගාවත්ත මුස්ලිම් පල්ලියේ ළිදෙන් කඩු 46 ක් ඇතුළු ආයුධ තොගයක් ගොඩ ගනී….

colombotoday

අධිකරණ නියෝග උතුරේදී අවලංගුයි.. වෙනම රාජ්‍යයක් දැනටම බිහිවෙලා !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද්‍රන් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරයි

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

හිතාමතා සිදුකල අනතුරකින් පුද්ගලයෙක් මරුට

Admin

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin