අද අපි නිදහස සමරන්නෙමු. ඒ නිදහස ජාතියක් වශයෙන් අපට කොතරම් වටිනවාදැයි ඔබ දන්නවාද…? ඒ බව හරියටම දැනගන්නට නම් බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් මේ නිදහස ලබා ගන්නට කලියෙන් අපේ රටේ මිනිසුන් මුහුණ දුන් ගැහැට ගැන දැන සිටිය යුතුය. එනිසා එදා බ්‍රිතාන්‍ය පාලනයට නතුව අපේ රටත් අපේ රටේ මිනිසුනුත් විදි තාඩන පීඩන වලින් අංශුමාත්‍රයක් පමණක් මෙහි සටහන් කරමි.
මේ එක පරිච්ඡේදය කියවූ විට “අවීචියේ කප් දහසත්, වහල් කමේ එක දවසෙත්, වෙනසක් නැති බව….“ කියා එදා එස්. මහින්ද හිමියන් කවියෙන් කී කතාව බොරුවක් නොවන බව ඔබට සිතෙනු ඇත.
1815දී බ්‍රිතාන්‍යයන් උඩරට ගිවිසුම අත්සන් කොට අපේ රටේ පාලනය බාරගත්තේ බුදු දහමටත්, බුදු දහම හා බැදුනු මේ රටේ වැසියන්ගේ ජනජීවිතයට හා සංස්කෘතියටත් ආරක්ෂාවත් ගෞරවයත් ලබා දෙන පොරොන්දුව පිටය. එහෙත් මෙරටේ පාලනය තමන් අතට නතුකරගෙන වැඩි කල් යන්නට මත්තෙන්ම ඉංග්‍රිසින්ට ඒ පොරොන්දුව අමතක විය.
තමන් යටතේ පාලනය වන මෙරට වැසියන්ගේ යහපත සැලසීම පසෙක තබා බ්‍රිතාන්‍යයේ වැසියන් මෙහි ගෙන්වා අපේ රටින් අක්කර දහස් ගනන් අයිති කොට ගෙන ඒවායේ කෝපිත් තේත් වවන්නට පටන් ගත්හ. ඒ වැවිලි කර්මාන්තයට යටවී අපේ මිනිසුන්ගේ ගොවි බිම් අහිමි වී ගියේය. එසේ යන එන මං නැති කළ අපේ මිනිසුන්ව තමන්ගේ මහ මැදුරු වල දාසයන් කරගන්නටත්, තමන්ගේ වතු වල කම්කරුවන් කරගන්නටත් බි්‍රතාන්‍යයන් කටයුතු කළහ. මෙසේ අපේ පොළවේ සරුසාර බව සූරා කමින් නිහඩ නොවුණු බ්‍රිතාන්‍යයන් අපේ රටේ වටිනා සම්පත්ද කොල්ලකාගෙන තම රටට ගෙන ගියහ. රටේ වටිනා කෞතුක උරුමයන්, රන් රිදී මුතු මැණික් මතු නොව අපේ සිංහල මිනිසුන්ගේ පාරම්පරික දැනුම සටහන් කොට තැබූ පුස්කොල පොත් දහස් ගණනක් පවා අපෙන් පැහැරගෙන තම රටට ගෙන ගියහ.
මේ සියල්ල කර අවසන අපේ රටේ මිනිස්සුන්ගෙන් අසාධාරණ ලෙස බදු අයකරගන්නටත් ඔවුහු කටයුතු කළහ. 1848 දී ටොරින්ටන් සාමි විසින් පනවන්නට යෙදුනේ අපේ රටේ වැසියන් උපන්තේකට අසාවත් නැති බදු වර්ගය. තුවක්කු බද්ද, බලු බද්ද, පාර බද්ද, ඔරු බද්ද, කඩ බද්ද, කරත්ත බද්ද වැනි බදු වර්ග අපේ රටේ මිනිසුන්ට පැනවිණ. ඔවුන් තුවක්කු බද්ද පැනවූයේ තමන්ගේ පාලනයෙන් පීඩනයට පත් වෙන ජනතාව අවි අතට ගනිතැයි බියෙනි. තුවක්කුවකට බදු ගෙවීම දරා ගන්නට බැරි නිසා මිනිස්සු තුවක්කු ගෙන ගොස් ආණ්ඩුවට බාර දුන්හ. පාර බද්ද මිනිසුන්ව වඩාත් පීඩාවට පත් කළ බද්දයි. මේ රටේ වෙසෙන මිනිසුන්ගෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට සේවය කරන ඉහල නිලධාරීන් හැරෙන්නට අවුරුදු දහ අටත් හැටත් අතර වයසේ සිටින අනෙක් හැම පිරිමි කෙනෙකුම සතියකට දවස් හයක් අනිවාර්යෙයන්ම පාරේ වැඩ කළ යුතු විය. එසේ වැඩ කරන්නට නොහැකි නම් අවුරුද්දකට සිලිම් තුනක මුදලක බද්දක් ආණ්ඩුවට ගෙවා පාරේ වැඩ කිරීමෙන් නිදහස් වෙන්නට හැකිය. පාර බද්ද ගෙවිය නොහැකි නම් භික්ෂුන් වහන්සේලා පවා පාරේ කම්කරු වැඩ කළ යුතු විය. මේ නිසා පීඩාවට පත් වුණු අපේ රටේ දුප්පත් ජනතාවට දුක් විදීම හැරෙන්නට වෙන විකල්පයක් තිබුණේ නැත. වෙනකක් තබා ගෙදරක බල්ලෙක් ඇති කරනවාට පවා ඉංග්‍රීසි ආණ්ඩුවට බද්දක් ගෙවිය යුතු විය.
මේ සියලු පීඩා ඇති කරන අතරේම බුදු සසුනටත් අත තබන්නට ඔවුහු පසුබට නොවූහ. අවුරුදු දහස් ගණනක් අපේ රටේ මිනිසුන් අඛන්ඩව පවත්වාගෙන ආ දලදා පෙරහැරද නවත්වා දමන්නට බ්‍රිතාන්‍ය පාලකයින් කටයුතු කොට තිබිණ. මේ එදා අපේ රටේ මිනිසුන් යටහත් රාජ්‍යයක වැසියන් ලෙස ලැබූ ගැහැට වලින් අල්පයක් පමණකි.
අද අප මේ නිදහස ලබා සිටින්නේ එතරම් අමිහිරි යුගයකිනි. එනිසා අද අප විදින මේ නිදහස අපට කොතරම් වටින්නේදැයි තක්සේරු කළ නොහැකිය. අප එය සැමරිය යුතුය. මේ අමිල නිදහස සමරද්දී මේ නිදහස අපට ලබා දෙන්නට ජීවිත පිදූ සටන් කළ මිනිසුන් අප විසින් අමතක කළ යුතු නැත.
නිදහස් රටක් ලෙස, නිදහස් ජාතියක් ලෙස අප නිරන්තරයෙන් පින් පෙත් දෙමින් සිහිපත් කළ යුතු වූ අපට නිදහස ලබා දෙන්නට පෙරමුණ ගත් අපේ මුතුන්මිත්තන් අතරින් කිහිප දෙනෙකු ගැන මෙහි සටහන් කොට තබමි.
යටත් ජාතියක්ව උන් අපට නිදහස ලබා දෙන්නට පළමු පියවර තැබුවේ වීර පුරන් අප්පුය. ඉංග්‍රිසි පාලනයෙන් අපේ මිනිසුන්ට කළ තාඩන පීඩන ඉවසන්නටම බැරි තැන ඊට එරෙහිව ඔහු නොබියව පෙනී උන්නේය. ඉංග්‍රිසින්ට පමණක් නොව ඉංග්‍රිසි පාලකයින්ට ගැතිකම් කළ ස්වදේශීය මුලාදෑනින්ට පවා පුරන්අප්පු මහත් අභියෝගයක් විය. ඉංග්‍රිසි ආණ්ඩුව විසින් තම ආදායම් තර කරගන්නට මෙරට සිංහල මිනිසුන්ට පැනවූ අසාධාරණ බදු වලට එරෙහිව කතා කළ පුරන් අප්පු ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගසන්නට සිංහල තරුණයන් රැස් කර සංවිධානය කරන්නටත්, ඒ තරුණයින්ට අවි පුහුණුව ලබා දෙන්නටත් මූලිකත්වය ගත්තේය. තමන්ට අවනත නොවන, පුරන් අප්පුව ඉංග්‍රීසි ආණ්ඩුවට මහත් හිසරදයක් විය. එනිසා බි්‍රතාන්‍ය ආණ්ඩු විසින් විවිධ බොරු චෝදනා මවමින් වරින් වර පුරන් අප්පුව අත් අඩංගුවට ගෙන සිරගත කරන්නට කටයුතු කළේය. වරෙක මෙසේ අත් අඩංගුවට ගෙන නඩු පැවරූ විටෙක බි්‍රතාන්‍ය ජාතික විනිසුරු වරයාට පුරන් අප්පු අභියෝග කළේ “උඹ අපේ සිංහල රට වනසන තවත් එක පර සුද්දෙක් විතරයි.. උඹලාගෙ නීතියට සිංහල අපි යටත් වෙන්නෙ නෑ.. අපේ සිංහල රට තව දුරටත් කොල්ල කන්න අපි උඹලට ඉඩ තියන්නෙ නෑ..“ කියමින් උසාවියේදීම මහ හඩින් විනිසුරුට දොස් පවරමිනි.
ඒ අභියෝගය අනුවම පුරන් අප්පු බි්‍රතාන්‍ය පාලනයෙන් අපේ රට මුදවා ගන්නට සිය පණ දෙවෙනි කොට සටන් කළේය. මාතලේ කැරැල්ල වැනි බිහිසුණු මහ සටන් මෙහෙයවමින් පුරන් අප්පු දැක්වූ අතිදක්ෂ රණශූර බව නිසාම සිංහලේ වැසියන් විසින් ඔහුව 1848 ජූලි විසිහය වෙනිදා “වලිසිංහ රජ්ජුරුවෝ“ හෙවත් කන්ද උඩරට රජ්ජුරුවෝ ලෙස කිරුලු පලන්දවනු ලැබිණ.
නිදහස් සටනට සේනා සංවිධානය කරන්නට භික්ෂුන් වහන්සේලාගේ උදව් ගන්නට පුරන් අප්පු කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මාතලේ වැනි හැම පලාතකම පන්සලක් ගානේ ඇවිද්දේය. පුරන් අප්පු විසින් ඉංග්‍රීසි පාලකයන්ට එරෙහිව කරන සටන් ඉංග්‍රීසි පාලකයන්ට මහත් හිසරදයක් වූ බැවින් ඔවුහු පුරන් අප්පුව අල්ලන්නට සැලසුම් සකස් කළහ. පුරන් අප්පු ගැන හරි ආරංචියක් ලබා දෙන අයෙකුට පවුම් දහයක තෑග්ගක් දෙන බවට දැන්වීම් ප්‍රසිද්ධ කළහ. ඉංග්‍රීසි ආණ්ඩුවට ගැතිකම් කළ ජාතිද්‍රෝහියෙකු වූ උඩුනුවර ආරච්චිල පුරන් අප්පු ගැන ඔත්තුව ඉංග්‍රීසි ආණ්ඩුවට ලබා දී ඔවුන්ගෙන් තෑගි මුදල් ලබා ගත්තේය.
අපේම පාවා දෙන්නන් නිසා 1848 අගෝස්තු දෙවෙනිදා පුරන් අප්පුව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අල්ලා ගනු ලැබිණ. වික්ටෝරියා අධිරාජිණියට එරෙහිව කැරලි ගැසීම හා උඩරට රජු වශයෙන් පෙනී සිටීම යන චෝදනා මත ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පුරන් අප්පුට එරෙහිව නඩු පවරන ලදී. මේ චෝදනාවලට පුරන් අප්පු වීරයා දුන්නේ අපූරු උත්තරයකි.
“ඔව්.. මම උඩරට රජු තමයි. මගේ නහර වල දුවන්නේ රාජකීය ලේ.. මගේ ජනතාව එඩිතරව නිවැරදිව උන්නා නම් මේ රාජ්‍යය අද මගෙයි.“
පුරන්අප්පුගේ මේ ප්‍රකාශය එහි උන් ඉංග්‍රීසි නිලධාරින්ට ගැසූ අතුල් පහරක් මෙන් විය. මේ ප්‍රකාශයෙන් කිපුණු අගවිනිසුරු වරයා විසින් එසැණින්ම පුරන් අප්පුට මරණ දඩුවම නියම කළේය. එයින් දින හයකට පසු 1848 අගෝස්තු අට වෙනි දින ඔහුව බෝගම්බර පිටියේදී වෙඩි තබා මරා දමන්නට තීරණය කෙරිණ. ඒ තීරණයට අනුව බෝගම්බර පිට්ටනියේදී සුද්දාගේ තුවක්කු වල වෙඩි උණ්ඩයට ලක් වෙන්නට මොහොතකට පුරන් අප්පු අභීතව එහි රැස්ව උන් අයව ඇමතුවේය.
“මම දුක්වෙන්නේ මට මරණ දඩුවම ලැබුණු එක ගැන නෙවෙයි.. මං මැරෙන්නට කලින් මේ රට පර සුද්දන්ගෙන් නිදහස් කරගන්නට බැරි වුණ එකටයි.. මගේ අම්මාට මං වගේ තව පුත්තු හතර දෙනෙක් උන්නා නම් මේ සුදු ගෙරියන් අපේ සිංහල දේශයෙන් පන්නා දමනවා නියතයි..“ කියා ඔහු අවසන් වරට සිංහ නාද කළේය.
වෙඩි පහරවල් දොලහක්ම එක පිට එක එල්ල වෙද්දීත් මේ සිංහල වීරයා පුරන් අප්පු නොසැලී අභීතව සිටගෙන උන්නේය. දහතුන්වෙනි වෙඩි පහරේදී හෙතෙම අවසන් හුස්ම හෙලීය.
අපේ නිදහස් සටනට උරදුන් තවත් අමරණීය විරුවෙකි වීර මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව. 1815දී ඉංග්‍රීසින් විසින් මෙරට පාලනය බාරගත් පසුව මොනරවිල කැප්පෙටිපොල නිලමේ තුමාව ඌව පලාතේ මහදිසාව කරවනු ලැබිණ. 1815න් පසු ඉංග්‍රීසි පාලකයන්ගේ සහ ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරීන්ගේ නොපනත්කම් දිනෙන් දින වැඩිවෙන්නට විය. වෙල්ලස්සේ ජනතාවගේ ඉඩකඩම්, වගාබිම් කොල්ල කමින්, හරකා බාන මරා මස් කමින්, සිංහල යුවතියන් ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපිටදීම දූෂණය කරමින්, පුංචි සිංහල දරුවන් මරා දමමින් ඉංග්‍රීසි පාලකයෝ උඩරට සිංහල ජනතාවට දැඩි සේ පීඩා කළහ. මේ පීඩාවන්ට එරෙහිව ඌව වෙල්ලස්ස සිංහල මිනිසුන් විසින් කැරලි ගසන්නට පටන් ගත් විට ඒ කැරැල්ල මැඩ පවත්වන්නට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් යවනු ලැබුවේ කැප්පෙටිපොල මහ දිසාවේවය. ඉංග්‍රීසි හමුදාවත් රැගෙන කැරැල්ල මැඩ පවත්වන්නට 1817 නොවැම්බර් පලමුවෙනිදා ආ කැප්පෙටිපොල මහනිලමේ තුමාට කොහු කුඹුරේ රටේ රාල, පිළිමතලව්වේ මහාධිකාරම, මඩුගල්ලේ දිසාව ඇතුලු සිංහල කැරලි නායකයන්ව අලුපොතදී මුණ ගැසිණ. සිංහල රට බේරා ගන්නට තමන් හා එකතු වෙන ලෙස ඒ කැරලි නායකයන් විසින් මොනරවිල කැප්පෙටිපොල මහ නිලමේ තුමාටද ආරාධනා කරන ලදී.
මේ තමන්ගේ රටට තමන්ව අවශ්‍යයම මොහොත යැයි සිතූ මොනරවිල කැප්පෙටිපොල මහ නිලමේ තුමා තමන් සමග ආ ඉංග්‍රීසින්ගේ හමුදාව නිරුපද්‍රිතව ආපසු හරවා යැව්වේ ඔවුන්ගේ ආයුධත් සමගමය.
ඒ “උඹලාගේම ආයුධ වලින් උඹලාට පහර දීම සිංහල අපිට මදිකමක්.“ කියා සිංහලයින්ගේ අභිමානයද සමගය.
කැප්පෙටිපොල නිලමේ නිසා ඔහුට හිතවත් තුන් දහසක් පමණ පිරිසක් නිදහස් සටනට එක් වුණු බව කියවෙයි. එතැන් සිට මේ රට නිදහස් කරගන්නට කැරැල්ලට නායකත්වය දුන් මේ සිංහලේ සටන් පෙරමුණේ අසහාය නායකයා පසු කලෙකදී ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත් වූයේද සිංහල ඔත්තු කරුවෙකුගේම පාවාදීම හේතුවෙනි. ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාව යටතේ මේ වීරයාව 1818 නොවැම්බර් මස විසි හයවෙනිදා බෝගම්බර පිට්ටනියේදී එල්ලා මරන්නට නියම විය. එහෙත් එල්ලා මැරීම සිංහලයන්ගේ දඩුවම් ක්‍රමයක් නොවේ යැයි කී කැප්පෙටිපොල නිලමේ තුමා සිංහල රජ සිරිතට අනුව තමාගේ හිස ගසා මරා දමන ලෙස ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහුගේ හිස ගසා මරා දමන්නට අවසර ලැබිණ. ඔහු එදා මරණයට මුහුණ දුන්නේ අදටත් අපට ආඩම්බරයෙන් සිහිපත් කළ හැකි මතකයක්ද ඉතිරි කොට තබමිනි.
ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීම හා සිංහලයින්ගේ නිදහස වෙනුවෙන් සටන් වැදීම වරදක් යැයි පිලිගෙන ඒ වරදට ඉංග්‍රීසින්ගෙන් සමාව ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ තමා කළේ කළ යුතු නිවැරදිම දේ බවයි.
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නට පෙර අවසාන මොහොතේදී බෝගම්බර පිටියේදීම දලදා මාලිගාව දෙසට හැරී තෙරුවන් වැද දලදා වහන්සේට නමස්කාර කොට තමන්ගේ ගෙල සිදින්නට කඩු පත අත දරාගෙන බලා සිටින ගහලයාට පවා පින්පෙත් අනුමෝදන් කොට සන්සුන් සිතින් මරණයට සූදානම් වුණු ඔහු වධකයාගේ දංගෙඩියට හිස තැබුවේ “මම ධම්මපදයේ ගාථාවක් කියනවා. ඒ ගාථාව අවසන් වී අරහං යන පදය කියද්දීම මගේ බෙල්ලේ මෙන්න මෙතැනට කොටාපන්.“ යැයි ගහලයාටද අණ දෙමිනි. මරණ මංචකයේදීත් ඔහු දැක්වූ මේ විස්මයජනක නිර්භීත බව නිසා බි්‍රතාන්‍ය පාලකයන් පවා මවිතයට පත්ව බලා උන්හ. ඒ නිසාම ඔහුගේ හිස ගසා දැමීමෙන් පසුව ඔහුගේ හිස්කබල එංගලන්තයට ගෙන යන්නට ඉංග්‍රිසින් කටයුතු කළහ. මේ හිස්කබල පරික්ෂා කළ එඩින්බරෝ කපාල වස්තු පරික්ෂණ සමාජය පවසා සිටියේ කැප්පෙටිපොල මහ නිලමේ තුමා ඉතා කලාතුරකින් පහල වන දුර්ලභ රණ ශූරයෙකු බවය.
ඉංග්‍රිසින්ට එරෙහිව සිංහලයින්ගේ නිදහස වෙනුවෙන් සටන් කළ තවත් අභීත සිංහල නායකයෙකි බූටෑවේ රටේ රාල. වෙල්ලස්සේ කැරැල්ල මැඩ පවත්වන්නට ආ ඌවේ දිසාපති සිල්වෙස්ටර් විල්සන්ට අභියෝග කරමින් ඔහු බූටෑවේ රටේ රාල කියා සිටියේ
“මිතුරන් ලෙසින් නුඹලා සමග සාකච්ඡා කරන්නට අපට උවමනාවක් නැත. එසේම සතුරන් ලෙසින් උඹලාට මුහුණ දෙන්නට අපට බයකුත් නැත.“ කියාය. පසුව මෙම ඉංග්‍රීසි දිසාපතිවරයා මරා දමමින් ඉංග්‍රීසි හමුදාවත් බියපත් කරවමින් සිංහල කැරැල්ලේ පෙරමුණ ගන්නට බූටෑවේ රටේ රාල කටයුතු කළේය. බූටෑවේ රටේ රාලගේ නිරභීත භාවය කොතරම්දැයි කිවහොත් ඔහුගේ නම ඇසූ පමණින්ම ඌවේ සිංහලයන් කැරැල්ලට එක් වූ බව සදහන්ය. බූටෑවේ රටේ රාල විසින් ඌව පෙරමුණේ සටන් මෙහෙයවීම ඉංග්‍රීසි ආණ්ඩුවට කොතරම් දැඩි හිසරදයක් වූයේදැයි කිවහොත් ඉංග්‍රිසි ආණ්ඩුව විසින් සිංහල පාවාදෙන්නන්ම යොදවාගෙන බූටෑවේ රටේ රාලව අත් අඩංගුවට ගත්තේය. ඉන්පසු 1818.10.20 වන දින ඉංග්‍රීසි රජයට එරෙහිව කැරලි ගැසීමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා මරා දමනු ලැබිණ.
ගොංගාලේගොඩ බණ්ඩා, කිවුලෙගෙදර මොහොට්ටාල, මඩුගල්ලේ නිලමේ, පිලිමතලව්වේ නිලමේ, ඇල්ලෙපොල නිලමේ, අරඹේපොල ලොකු මොහොට්ටාල වැනි විරුවන්ද අපේ රටේ නිදහස වෙනුවෙන් අමිල මෙහෙයක් කර ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ අයය. ඔවුන්වද මේ අයුරින්ම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කෲර ලෙස මරා දමන්නට යෙදිණ.
මත්තේගොඩ හිටපු දිසාව,කුරුකොහු ගම කිරි බණ්ඩා, කොහු කුඹුරේ රටේ රාල, දන් ගොමුවේ මොහොට්ටාල, කපු වැල්ලේ රටේ රාල වැනි තවත් සිය ගනන් අපේ වීරයෝ අපේ නිදහස වෙනුවෙන් සටන් කළ වරදට සිංහලේ සිරකරුවන් ලෙස මෙරට හා විදෙස් රට වල සිර ගෙවල් වල මියෙන තුරා දුක් වින්දාහ.
මෙසේ නම්ගම් සදහන් නොවුණද, මිය ගිය තැනක් දවසක් ගැන සදහනක් නොවුනද මේ නිදහස අපට ලබා දෙන්නට ලේ දහදිය හෙලූ තවත් විරුවන් දහස් ගණනක් අපේ සිංහලේ ඉතිහාසයේ වෙති.
අප අද මේ භුක්ති විදින්නේ ඔවුන් එදා කළ කැපවීමේ ප්‍රතිඵලයයි. එනිසා අප නිදහස සමරන අද දවසේ ඔවුන්වද ආඩම්බරයෙන් ගෞරවයෙන් මතක් කිරීම අපගේ යුතුකමය.
එසේම, මේ බිම රැක ගන්නට අභීතව සටන් වැදුණු මුතුන් මිත්තන්ගේම වර්තමාන පරම්පරාවට ඔවුන්ගේ ඉතිහාසයේ කතාව කියා දීමද අපගේ යුතුකමය.
අතීතයේ පටන්ම මේ දක්වාම අපේ මවුබිම අප වෙනුවෙන් රැක ගන්නට සටන් කළ විරුවන් දහස් ගණනකගේ ලේ දහදිය කා වැදුනු මේ පොලවේ පස් පිඩකට පවා ගරු කරන්නටත්, තවත් අනාගත පරපුරක් වෙනුවෙන් මේ බිමේ නිවහල් බව රැක ගන්නටත් අප අපගේ දරුවන්ට කියා දිය යුතුය.
නිම්මි මුදිතා හේරත්