Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරනවා – හිටපු කථානායක කියයි

පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් ඇතැම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිලිකුල් සහගත බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවලට අයත් මන්ත්‍රීතුමන්ලා අවධානය යොමුකල යුතු බවත් පැවසූ ජයසූරිය මහතා ඒ පිළිබඳ කතානායකතුමා දරන ස්ථාවරය පිළිබඳවත් විමසා සිටියේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹ දී අද(17)දින කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ රටේ සමාජ දේශපාලන, සංස්කෘතික හා ආර්ථික කරුණු පිලිබදව අවධානය යොමු කරන්නේ රටේත් මහජනතාවගේත් අභිවෘද්ධිය උදෙසා අප විසින් සිදුකල යුතුව ඇති ජාතික වගකීමකට උරදීමටයි. සංවිධානයක් ලෙස අපට බලය සදහා වන දේශපාලනික අරමුණු කිසිවක් නැහැ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානයක් ලෙස එදත්, අදත් එමෙන්ම හෙට දවසේත් පෙනී සිටින්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන්.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායක මහජනතාවගේ සැබෑ නියෝජනය පිළිබිඹු කරන්නේ මහජන මන්ත්‍රණ සභාවකිනි. නූතන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්හි පාර්ලිමේන්තුව මඟින් මූර්තිමත් කරන්නේ එකී මහජන නියෝජිතත්වයයි.

අප රටේ දේශපාලන විකාශය සැලකීමේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සංකේතවත් කරන්නේද මහජනතාවගේ පරමාධිපත්‍ය බලය හා රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදි ස්වභාවයයි. අපේ පාර්ලිමේන්තුවට කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදි පාලන සම්ප්‍රදායන් පෝෂණය කළ කිර්තිමත් දේශපාලඥයන් පිළිබදව මෙන්ම අපගේ පාර්ලිමේන්තු ක්‍රමය සමස්ත ලෝකයේම ගෞරවයටද අවධානයටද පාත්‍ර වී තිබේ.

මෑත යුගයේදී පාර්ලිමේන්තුවට කරන ලද බරපතලම හානිය හා අපහාසය වන්නේ පාර්ලිමේන්තුවේ පූර්ණ එකඟත්වයකින් බිහිකල මහජන උපයෝගීතා කොමිෂම අක්‍රිය කිරීම සදහා බාහිර පුද්ගලයන් විසින් උත්සහ කිරිමයි. ජනාධිපති ලේකම්ගේ උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එය අහෝසි කිරීමට තැත් කිරිමයි. එමෙන්ම එම කොමිෂමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස එකී උදවිය බලකර සිටීමයි. එවැනි උත්සහයන් දරුණු, අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වනවා පමණක් නොව විධායකයේ බලය පාර්ලිමේන්තුව වෙත අනිසි ලෙස යෙදවීමක්ද වෙනවා.

මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපනය කරන ලද පනත වෙනස් කිරිමට රජයට අවශ්‍යතාවයක් තිබුණේනම් එය කලයුතුව තිබුණේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා විධිමත් ආකාරයට එය සිදු කිරිම මඟිනුයි. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මෙවැනි නොබිනා ක්‍රියා සිදුවනවිට පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙක් ලෙස අපට ඇතිවන්නේ කනගාටුවකි. ඒ වගේම ලැජ්ජාවක්. පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් මේ රටේ සමහර ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිලිකුල් සහගතයි. මේ ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවලට අයත් මන්ත්‍රීතුමන්ලා අවධානය යොමුකල යුතුය. ඒ වගේම කතානායකතුමා ඒ පිලිබදව වන එතුමාගේ ස්ථාවරය පැහැදිලි කල යුතුව ඇතැයි ද අප විශ්වාස කරනවා.

මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපිත කරන්නේ 2002 වසරේදී ගෙනඑන ලැබූ පනතක් මඟිනුයි. එම පනත ගෙනඑනු ලැබුවේ ජනතාව වෙනුවෙනුයි. අසාධාරණ ලෙස මිල වැඩි කරලමින් ජනතාව පෙලීමට ඇති ඉඩකඩ වලක්වාලීමටයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටයි. එමෙන්ම අයුතු ලෙස මිල ගණන් ගෙවා විදුලිය මිලදී ගැනීම් මඟින් රජයට සිදු කරන අලාභයන් වලක්වාලීමටයි.

පසුගිය අවුරුදු 19 තුළ මෙම ආයතනය සිය රාජකාරිය ඉටු කලා. රටේ පිළිගත්, බුද්ධිමත් පුද්ගලයින් මේ සඳහා පත්කර තිබුණා. පසුගියදා අයින්වුණු සාමාජිකයන්ද එවැනි ගෞරවණීය කණ්ඩායමක්. එසේ හෙයින් මෙතරම් ඵලදායි ආයතනයක් විනාශ කිරිමට හේතු මොනවා ද? එය දුෂ්ඨ සිතකින් සිදුවූවක් ලෙස සමාජය දකිනවා.

අස්වුණු සාමාජිකයන් වෙනුවට නව පත්වීම් කිරීමට විධායකය බලාපොරොත්තුවන බව වාර්තා වුණා. එවැනි ක්‍රියාදාමයක් කෙරේනම් රටේ ජනතාව මෙන්ම අපද පූර්ණ වශයෙන් ඊට විරුද්ධ වෙනවා. මේක අමු අමුවේ ජනතාව රැවටීමක්. ලඟදී පත්කල කොමිෂන් සභාවලට මෙන්ම මේ සඳහාද ඔවුන් තම තමන්ගේ දේශපාලන මිත්‍රයින් පත්කර ගනීවි.

20 වැනි සංශෝධනය අනුව පසුගියදා පාර්ලිමේන්තු සභාව විසින් පත්කල පුද්ගයින් අතර පවතින ආණ්ඩුව වෙනුවෙන් පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වූ හා නිරත වන පුද්ගලයින්ද බොහෝ දෙනෙක් සිටිනබව මහජනතාව හොඳින් දන්නා කරුණක්. මේ පත්විම් ගැන ජනතාව තුළ දැඩි විරෝධයක් ඇති බව රජයේ බලධාරීන් තේරුම් ගතයුතුයි.

පාර්ලිමේන්තු සභාව හිතුවක්කාර ලෙස විපක්‍ෂයේ සාමාජිකයින්ගේද විරෝධය නොතකා පක්‍ෂග්‍රාහි දේශපාලන පත්විම් කරන්නේ නම් ඔවුන්ට තවදුරටත් සදාචාරාත්මක ලෙස එහි සාමාජිකයන් ලෙස රැඳී සිටිමට හැකිද යන්න ගැනත් ජනතාව අතර මතයක් ගොඩනැගෙමින් තිබෙනවා.

18 වැනි සංශෝධනය මඟිනුත් මෙවැනි ඒකාධිකාර පත්විම් කරන විට එදා සිටි මන්ත්‍රී සාමාජිකයන් දෙදෙනෙකු එම සභාවෙන් ඉවත්වු බවත් අපට සිහිවෙනවා. සමාජයේ පොදු මතයත්, සංවිධානයක් ලෙස අපේ මතයත් වනුයේ පැවැති මහජන උපයෝගීතා කොමිෂම හා එහි හිටපු සාමාජිකයන්ගේ කිසිම වෙනසක් සිදු නොවිය යුතුබවයි. මෙම කරුණ පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන්ගේ අවධානයට යොමු කිරිමට කැමතියි. මෙහිදි ඔවුන් සිය හෘද සාක්ෂිය අනුව එඩිතරව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙනවා.

මීට කලිනුත් සඳහන් කළ ආකාරයට මහජනතාව අවදියෙන් සිටින බව රජය තේරුම් ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.ජනතාවගේ බුද්ධියට නිගා නොකරන ලෙස අප නැවත නැවතත් බලධාරීන්ට කියනවා.

අපි ස්වාධීන ආයතනයක්. අපි හඬ නඟන්නේ 19 වැනි සංශෝධනයෙන් බලගැන්වූ 20 වැනි සංශෝධනයෙන් විනාශ වුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීම සඳහායි.ගෞරවණීය සෝභිත හිමිපාණන් වහන්සේ විසින් උතුම් පරමාර්ථ ඇතිව ආරම්භ කළ මේ වැඩ පිළිවෙල කවර බාධක ආවත් අප හෙට දවසේත් රට වෙනුවෙන් ක්‍රියාවට නගනවා. නමුත් එහිදී මේ රටේ ප්‍රධාන ධාරාවේ බොහෝ මාධ්‍යවල සහය අපට නොලැබෙන බව පෙනී යනවා.

සමහර ප්‍රධානපෙලේ පුවත්පත් හා විද්‍යුත් නාලිකා වල ඕනෑකමින්ම මහා සංඝරත්නයේ සහ අනෙකුත් කොටස් වල අදහස් හා විවේචන මාතෘභූමියට කෙතරම් වැදගත් වුවත් පළකරන්නේ නැහැ. සෝභිත මහනාහිමියන් ජීවත්ව වැඩසිටින අවධියේත් සාධාරණ සමාජයක් ඇති කිරීමට පෙරමුණ ගැනීමේදී මෙම සිදුවීම් එලෙසින්ම අත්දැකීමට සිදු වුණා.

ඒ ගැන විශේෂයෙන්ම මේ රටේ මහා සංඝ රත්නය ප්‍රමුඛ දැනුවත් ප්‍රජාව අපගෙන් විමසනවා. උන්වහන්සේලා කිහිප වතාවක්ම මේ පිළිබඳව කණගාටුවෙන් කතා කළා.අප ඒ ගැන විමසීමේදී මාධ්‍යවේදීන් අපට කියන්නේ ඉහල තීන්දු තීරණ පිලිබදව වගකීමක් ඔවුන්ට ගත නොහැකි බවයි. ඒ කෙසේ නමුත් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සතු වගකීම රට වෙනුවෙන් අප ඉටු කරනවා.

Related posts

ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි..

colombotoday

“උතුරේ ජනතාවට හමුදාව ශක්තියක්..අපි නිරතුරුවම ජනතාව සමගයි” විග්නේෂ්වරන්ට හමුදාවෙන් පිළිතුරු

colombotoday

ආපදා සහන දෙන්න, ජාත්‍යන්තර සමුළුවක් කැදවා ආධාර ඉල්ලන්න යයි !

colombotoday

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

තවත් බුද්ධි අංශ විරුවෙකුගේ දෑතට මාංචු

colombotoday

මහ නාහිමි ශ්‍රී දේහය අස්ගිරියට වැඩවමති.. අවසන් කටයුතු ඉරිදා

colombotoday