පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ආරම්භයේ සිටම දමිළ ජාතික සන්ධානය බලය හිමි කර ගෙන සිටි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ “උප්පුවේලිනගර කඩවත් සතර” ප්‍රාදේශීය සභාවේ පාලන බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ආර්. ඒ. ටී. එස්. ඩී. රත්නායක මහතා ඊයේ (15) වැඩ භාර ගත්තේය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 13කින් සමන්විතව ඇති අතර “උප්පුවේලිනගර කඩවත් සතර”ප්‍රාදේශීය සභාව සඳහා හිමි මන්ත්‍රි ධුර සංඛ්‍යාව 22කි.
2018 පැවති පළාත් පාලන මැතිවරණයේදී දමිළ ජාතික සන්ධාන මන්ත්‍රී ධුර 07ක් ලබා ගනිමින් එහි බලය පිහිටුවනු ලැබීය. ප්‍රාදේශීය සභාවේ පසුගිය වාර්ෂික අයවැය ලේඛනය දෙවරක් පරාජයට පත්වීම හේතුවෙන් දමිළ ජාතික සන්ධානයට සිය බලය අහිමි වූ අතර ඊයේ පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරු බහුතරයකගේ ඡන්දය ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආර්. ඒ. ටී. එස්. ඩී. රත්නායක මහතා සභාපති ධුරයට පත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ එකමුතුවෙන් ඡන්ද 12ක් ලබාගත් අතර දමිළ සන්ධාන පාර්ශ්වයට ඡන්ද 10ක් පමණක් හිමි විය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 05 දෙනා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනාද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනාද සිය ඡන්දය භාවිත කළ අතර ඊ. පී. ඩී. පී. සංවිධානය, දමිළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවලින් ප්‍රාදේශීය සභාවට පත්ව සිටි මන්ත්‍රීවරුන් තිදෙනාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ.