Colombo Today Local News

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන වගකීම් පැහැර හැරලා.. කොමිසමේ දී වු හෙළිදරව්ව

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අනුගමනය කළ දැඩි වගකීම් විරහිත ක්‍රියා කලාපය, ප්‍රහාරය වළක්වා නොගැනීමට හේතු වී ඇති බව හිටපු ප්‍රමුඛ පෙළේ බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (1)දිනයේදී ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අනාවරණය වුයේ, ලද බුද්ධි තොරතුරට අදාළව නිලන්ත ජයවර්ධන මහතා නිසි ඉදිරි පියවර නොගැනීම සහ එම තොරතුර පිළිබඳ හමුදා බුද්ධි ප්‍රධානීන් දැනුවත් නොකිරීම ප්‍රහාරය වළක්වා නොගැනීමට හේතු වී ඇති බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පසුගිය සතියේ දින දෙකක් සාක්ෂි ලබාදුන් හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා වැඩිදුර සාක්ෂි විමසීම සඳහා ඊයේ (1) දින යලි ජනාධිපති කොමිසමට කැදවා තිබුණි.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් ඉදිරිපත් කළ බුද්ධි ලේඛනයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ සාක්ෂිකරු සඳහන් කළේ
“සුන්නත් වල් ජමාත්” නැමැති අන්තවාදී මුස්ලිම් සංවිධානය සමග නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි සමීප සම්බන්ධතා පවත්වා ඇති බවය.

පාස්කු ප්‍රහාරය එල්ලවන වකවානුවේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ, අධ්‍යක්ෂක ලෙස සිටි තමන්ට ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දුරකතන ඇමතුමක් ලබාදුන් බව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ පවසා තිබුණද, ඔහු ප්‍රහාරයට පෙර කිසිදු අවස්ථාවක තමන් ඇමතුවේ නැති බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

කෙසේවෙතත් භූමිය තුළ සක්‍රීය බුද්ධි අධ්‍යයනයන්හි නිරත වී සිටි යුද හමුදා බුද්ධි අංශ විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මලාව එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 05 දෙනෙකු අන්තවාදයට නැඹුරු වී සිටි බව ඒ වන විටත් තහවුරු කරගෙන තිබු අතර ඔවුන්ගේ නම්, රැඳී සිටින ස්ථාන ආදී පැහැදිලි තොරතුරු ප්‍රහාරයට පෙර තමන් සතුව පැවති බව සාක්ෂිකරු අනාවරණය කළේය.

එවැනි වතාවරණයක් තුළ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා විසින් තමන් ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුර පිළිබඳ යුද හමුදා බුද්ධි අංශ දැනුවත් කිරීමට එකදු පියවරක් හෝ ගත්තේ නම් ත්‍රස්තවාදීන් හඹාගෙන ගොස් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට පැහැදිලි ඉඩකඩක් පැවති බව හෙතෙම පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලකයින් කිනම් හෝ හේතුවක් මත ජාතික ආරක්ෂාව හෑල්ලුවට ලක්කළද යුද හමුදාව යනු රටේ ආරක්ෂාව සෑම විටම පුමුඛත්වයෙහි ලා කටයුතු කරන්නන් වන බැවින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පෙර බුද්ධි තොරතුර පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක, හමුදා ප්‍රධානීන් දැනුවත් නොකිරීම ප්‍රබල වගකීම් පැහැර හැරීමක් බවය.

මෙහිදී ජනාධිපති කොමිසම විසින් සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වු පසු එවකට රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා හරින ලෙස හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේද යන්නය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අමතා සැකකරුවෙකු සම්බන්ධයෙන් විමසීමක් කර තිබු බවය.

එහිදී හිටපු යුද හමුදාපතිවරයා තමන් අමතා නමක් සඳහන් කර අත්අඩංගුවට ගැනීමක් කළේදැයි විමසු බවත්, එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බව තහවුරු කිරීමෙන් පසු දිගටම කරගෙන යන්න යනුවෙන් උපදෙස් දුන් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දෙහිවල ප්‍රදේශයේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු මෙම අවස්ථාව වන විටද ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ අත්අඩංගුවේ පසුවන බවය.

Related posts

මහින්දට සභාපතිකම දෙනතුරු ශ්‍රීලනිපයෙන් නාමයෝජනා එපා! හිටපු පුංචි මන්ත්‍රීන් 1400ක් දැඩි තීරණයක

colombotoday

ඊනියා මාධ්‍යවේදීන්ට එන්ජීඕකාරයන් ලොකු වුණාට ජාතිය රකින ඥානසාර හිමියන්ව රටට වටිනවා

colombotoday

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday

විදුරු කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණය ගැන සැකයක්

Admin

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin