Colombo Today Local News

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

putin1

1917 ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව”ලෙනින්” ගොඩනැගූ ”සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය” ස්වාධීන ජනරජයන් 15 ක එකමුතුවකි. සමාජවාදී පාලන ක‍්‍රමය යටතේ සෝවියට් සංගමය (USSR) දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගත් අතර ලොව සෑම අතින්ම බලවත් රට බවට පත්වීමේ අභිලාෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග බලවත් තරගයකට පිවිසෙන ලදි. ඒ අනුව හමුදා ශක්තිය විශාල ලෙස වර්ධනය කරන ලද අතර ඉතා කෙටි කලකින් ලොව බලවත්ම ඔත්තු සේවා සංවිධානයක් බවට පත්වූ ”රාජ්‍ය ආරක්‍ෂාව සඳහා වන කමිටුව” 1954 මාර්තු 13 වන දින ආරම්භ කරන ලදි.

putin3

රාජ්‍ය ආරක්‍ෂාව සඳහා වන කමිටුව යන නමින් බොහෝ දෙනෙක් එය නොදැන සිටිනු ඇති නමුත්  ”කේ.ජී.බී.”(KGB)  යයි කියූ සැණින් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැන සිටින බවට සැක නැත. රහසිගත මෙහෙයුම් පිළිබඳ නම් දැරූ ”පක්‍ෂයට සහ මව්බිමට පක්‍ෂපාතීත්වය” තම ආදර්ශ පාඨය කරගත් සෝවියට් සංගමයේ බලවත් රහස් ඔත්තු සේවා සංවිධානය මෙම නමින් හැදින්විණි.
 
 කේ. ජී. බී. සංවිධානය ලෝකයේ බොහෝ රටවල බුද්ධි මෙහෙයුම් සිදුකළ අතර ඒ සඳහා විශේෂිත පුහුණුව ලත් බුද්ධිසේවා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ලොව පුරා රටවල සේවයේ යොදවා තිබුණි. මෙම නිලධාරීන් අතර තීක්‍ෂණ නෙතකින් සහ ශූර බුද්ධියකින් යුතු කඩිසර නිලධාරියෙකු සිටි අතර තම මාතෘ භූමිය වෙනුවෙන් ඔහු කළ බොහෝ බුද්ධි මෙහෙයුම් කිසි කලෙක අනාවරණය වූයේ නැත. අනාගතයේ දිනෙක රුසියාවේ ගමන් මග තීරණාත්මක ලෙස වෙනස් වෙනස් කරනු ලබන මොහු පිළිබඳව එදවස කිසිවෙකු අනාවැකි පළකළේ නැත.
 
 ”ව්ලැඩිමීර් ව්ලැඩිමිරොවිව් පුටින්” මෙම සුවිශේෂී පුද්ගලයාගේ නම වේ. 1975 සිට 1991 දක්වා කේ. ජී. බී. සංවිධානයේ විදේශ බුද්ධි සේවා නිලධාරියෙකු ලෙස කටයුතු කළ පුටින්ගේ ආයෝමය හස්තය අද වන විට අදෘශ්‍යමාන ලෙස ලොව පුරා පැතිරී ඇති බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ පිළිගැනීමයි.
 
 පුටින්ගේ ගොඩ නැගීම
 
 ව්ලැඩිමීර් ව්ලැඩිමිරොවිව් පුටින් 1952 ඔක්තෝම්බර් 07 වනදා සෝවියට් සංගමයට අයත් රුසියාවේ ලෙනින් ග‍්‍රෑඞ් නගරයේ (සාර් රජ සමයේ ගොඩනැංවූ ඓතිහාසික නගරයක් වූ ශාන්ත පීටර්ස්බර්ග් සමාජවාදී විප්ලවයෙන් පසු 1924 වසරේදී ලෙනින් ග‍්‍රෑඞ් ලෙස නම් කරන ලද අතර සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු 1991 වසරේ පවත්වන ලද ජනමත විචාරණයකින් අනතුරුව නැවත ශාන්ත පීටර්ස්බර්ග් ලෙස නම් කරන ලදි.* දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක බාල දරුවා ලෙස උපත ලද අතර වැඩිමහල් දරුවන් දෙදෙනා ද පිරිමි දරුවන් විය. මව වූ මාරියා ඉලමොව්නා ෂෙලොමෝවා කර්මාන්තශාලා කම්කරුවෙකු වූ අතර පියා වූ ව්ලැඩිමීර් ස්පිරිඩොනොවිච් හමුදා භටයකු වශයෙන් සේවය කරන ලදි.
 
 2018 වසරේ පැවැති ජනාධිපතිවරණය වෙනුවෙන් විකාශනය කළ ”පුටින්” නම් පැය දෙකක වාර්තා වැඩසටහනකදි පුටින් ප‍්‍රකාශ කරනු ලැබුවේ ඔහුගේ සීයා සෝවියට් දේශයේ අසහාය නායකයන් වූ ව්ලැඩිමීර් ලෙනින්ගේ සහ ජෝශප් ස්ටාලින්ගේ සූපවේදියා ලෙස කටයුතු කර ඇති බවයි.
 
 පුටින් වයස අවරුදු 12 සිට ජූඩෝ සහ සම්බෝ ආත්මාරක්‍ෂක ක‍්‍රීඩා පුහුණු වීම ආරම්භ කළේය. ඔහු ජූඩෝ කළුපටිධාරියෙකු වන අතර සම්බෝ සටන් ක‍්‍රමයේ ජාතික මට්ටමේ ප‍්‍රවීණයෙකි. (සම්බෝ යනු සෝවියට් රතු හමුදා භටයන්ගේ සටන්කාමීත්වය ඉහළ නැංවීම පිණිස ආත්මාරක්‍ෂක සටන් ක‍්‍රම කිහිපයක මූලධර්ම අනුසාරයෙන් නිර්මාණය කරන ලද සටන් ක‍්‍රමයකි.* ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුවද ඇතැම් අවස්ථාවල ඔහු සිය ජූඩෝ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. ලෙනින්ග‍්‍රෑඞ් උසස් පාසලේ (පසුව ශාන්ත පීටර්ස්බර්ග්* අධ්‍යාපනයෙන් අනතුරුව නීතිය හැදෑරීම සඳහා 1970 වසරේදී ලෙනින්ග‍්‍රෑඞ් විශ්වවිද්‍යාලය වෙත ඇතුල් වූ පුටින් 1975 නීතිය පිළිබඳ උපාධිය ලබාගන්නා ලදි. ක්‍ෂේත‍්‍ර ගණනාවක විහිදුන දක්‍ෂතා ඇති පුටින්ට ජර්මන් භාෂාව චතුර ලෙස භාවිතා කිරීමේ හැකියාවද ඇත. 1975 උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව දේශපාලනයට අත්පොත් තැබූ ඔහු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගන්නා ලදි.
 
 1983 ජූලි 28 වන දින එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වූ ලියුඞ්මිලා ඇලෙක්සැන්ඩ්‍රොව්නා පුටිනා සමග අතිනත ගත් අතර එම විවාහයෙන් ඔවුන්ට මාරියා වොරොන්ට්සෝවා සහ කැතරිනා තික්හෝනෝවා නම් දියණියන් දෙදෙනෙක් වෙති. කෙසේ වෙතත් වසර 31 ක විවාහ ජීවිතයෙන් දික්කසාද වීමට පුටින් 2014 වසරේදී කටයුතු කර ඇත. දික්කසාදයට හේතුව රුසියානු ජිම්නාස්ටික් ශූරියක වන ඇලීනා කබීවා සමග පුටින් ඇති කරගත් රහස් පේ‍්‍රම සම්බන්ධයක් බවට තොරතුරු වාර්තා වන නමුත් රුසියානු මාධ්‍ය ඒ සම්බන්ධ තොරතුරු කථාකිරීමට මැලිකමක් දක්වයි. ඇලීනා රුසියාව වෙනුවෙන් 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේදී ජිම්නාස්ටික් රන් පදක්කම හිමිකරගෙන ඇති අතර පුටින් සමග 2014 හෝ ආසන්න කාලයක රහසිගත විවාහයකට ඇතුළත්ව ඇති බවටත් 2019 වසරේදී නිවුන් දරුවන් දෙදෙනකු බිහිකර ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවන නමුත් ක්‍රෙම්ලීනය එම වාර්තා ප‍්‍රතික්ෂේප කරයි.
 
 කේ. ජී. බී. නිලධාරියෙකු ලෙස
 
 පුටින් 1985 සිට 1990 දක්වා නැගෙනහිර ජර්මනියේ සැක්ෂෝනි පළාතේ ඩෙ‍්‍රස්ඩන් නගරයේ ඔත්තුසේවා නිලධාරියෙකු ලෙස කටයුතු කළ අතර 1989 නොවැම්බර් 9 වන දින බර්ලින් තාප්පය කඩා දැමීම ආරම්භ වීමත් සමග කේ. ජී. බී. රහස්‍ය ලිපිගොනු උද්ඝෝෂකයන් අතට පත්වීම වැළැක්වීම සඳහා ඒවා ගිනි තැබීමට කටයුතු කළ බව ”මාෂා ගෙසන්” ලියා ඇති ”පුටින්” චරිතාපදානයේ සඳහන් වේ. කේ. ජී. බී. සංවිධානයේ ලූතිනන් කර්නල් තනතුර දක්වා ගමන් කළ පුටින් 1991 අගෝස්තු 22 දින සිදුවූ සෝවියට් සංගමයේ ජනාධිපති මිහයිල් ගොර්බචොප්ට එරෙහිව සිදුවූ කුමන්ත‍්‍රණයට දින දෙකකට පෙර තනතුරෙන් ඉල්ලා අස්විය. සිය චරිතාපදානයේ ඔහු ඒ පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙසේය.”කුමන්ත‍්‍රණය ආරම්භ වූ විගස මා සිටිය යුත්තේ කුමන පැත්තේ දැයි තීරණය කිරීමට මට සිදුවිය. ජනාධිපතිවරයාට විරුද්ධ පාර්ශ්වයේ සිට ගැනීම සඳහා කේ. ජි. බී. සංවිධානය අතහැරීමේ තීරණය ගත යුතු වූ නමුත් ජීවිත කාලයම සංවිධානය වෙනුවෙන් කැපකළ මට එය පහසු කාර්යයක් වූයේ නැත.”
 
 දේශපාලනයට පිවිසීම
 
 ලෙනින්ග‍්‍රෑඞ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ඇනටෝලි සොබ්චක් ව්ලැඩිමීර් පුටින් සහ දිමිත‍්‍රි මෙද්වෙදෙව් (රුසියානු හිටපු ජනපති සහ වර්තමාන අගමැති* යන දෙදෙනාගේම ගුරුවරයා සහ පසුව උපදේශකයා විය. සොච්බක් සෝවියට් කුමන්ත‍්‍රණයේ කොටස්කරුවෙකු වූ අතර කුමන්ත‍්‍රණයේ මහ මොළකරු බොරිස් යෙල්ට්සින්ගේ සගයෙකුද විය. කේ. ජී. බී. සංවිධානයෙන් ඉල්ලා අස්වූ පුටින් සොබ්චක් සමග එක්වූ අතර බල පෙරළියෙන් අනතුරුව සොබ්චක් ලෙනින්ග‍්‍රෑඞ් නගරයේ නගරාධිපති බවට පත්වූ අතර පුටින් ඔහුගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයෙකු ලෙස පත් කරනු ලැබීය. පසුව එහි විදේශ සම්බන්ධතා කමිටුවේ ප‍්‍රධානී තනතුරට පත් පුටින්ට වානේ ගනුදෙනුවක් වෙනුවෙන් මිලියන ගණනක වංචාවක් සිදුකරන ලදැයි චෝදනා එල්ල වූ අතර සේවයෙන් පහකරන ලෙසද නිර්දේශ විය. නමුත් සොබ්චක් සමග පැවැති ප‍්‍රභල සම්බන්ධතාව හේතුවෙන් කිසිදු පියවරක් නොගන්නා ලද අතර 1994 උප නගරාධිපති ලෙස පත්කරනු ලැබීය.
 
 1996 ජුනි මාසයේදී සොබ්චක් මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව පුටින් මොස්කව් වෙත පැමිණෙන අතර ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ රජයේ ”ජනාධිපති දේපල කළමනාකරණ දෙපාර්තමේන්තුවේ” නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස පත්කරනු ලබයි. සෝවියට් සමූහාණ්ඩුවේ සහ කොමියුනිස්ට් පක්‍ෂයේ පැරණි රාජ්‍ය දේපළ රුසියානු ජනරජය වෙත පවරා ගැනීමේ ක‍්‍රියාවලියේ සැලකියයුතු කාර්ය භාරයක් පුටින් විසින් ඉටුකරනු ලැබූ අතර එම ක‍්‍රියාවලිය අතරතුර ජනාධිපති බොරිස් යෙල්ට්සින් වෙත සමීප වීමටත් ඔහුගේ විශ්වාසය දිනා ගැනීමටත් පුටින්ට හැකියාව ලැබුණි. ඒ අනුව ඉතා ඉහළ අනාගත ඉලක්කයක් කරා යන සැලසුම් සහගත ගමන වේගවත් කිරීමට පුටින් විසින් කටයුතු කරනු ලැබීය.
 
 1997 වසරේදී ජනාධිපති මාණ්ඩලික ප‍්‍රධානී ලෙසට වඩා වැදගත් තනතුරක් පුටින් වෙත ලැබුන අතර එය අනාගත නායකත්වය සඳහා ඉනිමගක් සේ විය. කෙසේ වෙතත් මේ කාල සීමාව තුළ ශාන්ත පීටර්ස්බර්ග් ඛණිජ සම්පත් විශ්වවිද්‍යාලය වෙතින් ආර්ථික විද්‍යාව සඳහා ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනයක් වෙනුවෙන් ආචාර්ය උපාධිය දිනාගැනීමට පුටින් සමත් විය.
 
 සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු කේ. ජී. බී. සංවිධානය විසුරුවාහල අතර එහි අනුප‍්‍රාප්තික සංවිධානය ලෙස බිහිකෙරුණ ෆෙඩරල් ආරක්‍ෂක සේවය :ත්‍ීඊ* හි අධ්‍යක්‍ෂවරයා ලෙස 1998 වසරේ ජූලි 25 වන දින ව්ලැඩිමීර් පුටින් පත්කිරීමට යෙල්ට්සින් ජනාධිපතිවරයා කටයුතු කරන ලදි.
 
 පශ්චාත් සෝවියට් පාලන කාලසීමාව දේශපාලනික හා ආර්ථික අර්බුද වලින් ගහන කාලයක් වූ අතර සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් තිබේ යන කියමන සනාථ කරමින් අනාගත රුසියානු නායකත්වය සඳහා මාර්ගය පූටින් වෙනුවෙන් නිරායාසයෙන්ම ගොඩ නැගෙමින් තිබෙන සෙයක් දක්නට ලැබුණි. රුසියානු ෆෙඩරල් ජනරජයේ ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රට තුළ පාලනය ඉතා දුර්වල තත්ත්වයකට පත්වූ අතර ආර්ථිකය බිංදුවට වැටී රට තුළ ආහාර හිඟය දරුණු මට්ටමට පත්ව තිබිණි. දේශපාලන අස්ථාවර භාවය හේතුවෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි තරම් දුර්වල අඩියකට රුසියාව වැටුන අතර කලෙකදී තම පරම සතුරා වූ ඇමෙරිකාවෙන් සිඟමන් යදින තත්ත්වයට රට පත්ව තිබිණි. (මෙම තත්ත්වයට බොරිස් යෙල්ට්සින්ගේ අධික බීමත්කමත් වගකීම් විරහිත භාවයත් බලපාන ලද බව දේශපාලන විචාරකයන්ගේ මතයයි* මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ 1999 අගෝස්තු මාසයේදී යෙල්ට්සින් තම අගමැති සර්ජි ස්ටැපෂින් සහ කැබිනට් මණ්ඩලය නෙරපා හැරීමට කටයුතු කළ අතර ව්ලැඩිමීර් පුටින් අගමැති ලෙස පත් කරන ලදි. ඇතැම් දේශපාලන විචාරකයන් මතුකළ අදහසක් වූයේ මෙම ක‍්‍රියාවලිය පිටුපස සිටි ප‍්‍රධාන පුද්ගලයා පුටින්ම විය යුතු බවයි. එය බොහෝ දුරට සත්‍යයට සමීප වන අතර වර්තමානයේදීත් බොරදියේ මාළු බෑමට තමන් රුසියෙක් බව පුටින් බොහෝ අවස්ථාවල ඔප්පුකර පෙන්වා ඇත.
 
 ජනාධිපති ධුරයට පත්වීම
 
 බොරිස් යෙල්ට්සින් තවදුරටත් අයහපත් සෞබ්‍ය තත්ත්වයෙන් පසුවූ අතර ඔහුට සහ පවුලට එරෙහිව දූෂණ චෝදනා ගණනාවක් එල්ල වී තිබිණි. ඒ අතර දේශපාලන ලෝකයේ අදහාගත නොහැකි සිදුවීම් සිදුවන්නේ ශ‍්‍රී ලංකාවේ පමණක් නොවන බව පසක් කරමින් හදිසියේම 1999 දෙසැම්බර් 31 වන දින යෙල්ට්සින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අගමැති ලෙස කටයුතු කළ පුටින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කෙරිණි. බැලූ බැල්මට පුටින්ගේම තවත් කූට උපක‍්‍රමයක් ලෙස සැලකිය හැකි මෙම ක‍්‍රියාව පුටින් සහ යෙල්ට්සින් අතර ඇතිකරගත් රහස් එකඟතාවයක් මත සිදුවූවක් බව නව වැඩබලන ජනාධිපතිවරයා දිවුරුම්දීමෙන් පැය කිහිපයකට පසු තහවුරු විය. වැඩබලන ජනාධිපතිවරයා ලෙස පුටින් අත්සන් කළ පලමු නියෝගය මගින් යෙල්ට්සින්ට සහ ඔහුගේ පවුලට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පරීක්‍ෂණ තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට සහතික කෙරුණු අතර ඒ අනුව සිය ජීවිතයේ අවසාන කාලය සපිරි ගෙදරක ගෙවීමට සිදුවිය හැකිව තිබූ යෙල්ට්සින්ට සුවදායී විශ‍්‍රාම දිවියකට හිමිකම ලැබුනි. අවසානයේදී තම ඉලක්කය සපුරාගත් කාර්යක්‍ෂම ඔත්තු සේවා නිලධාරියා යළි අත නොහරින සේ රුසියාවේ බලය ආයෝමය හස්තයකින් ග‍්‍රහණය කර ගත්තේය.
 
 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රකාර 2000 ජුනි මාසයේදී නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුව තිබූ අතර පැවති දේශපාලන තත්ත්වය සලකා බැලූ පුටින් තරගය තමන්ට වාසි පිණිස මාස කිහිපයක් ඉදිරියට ගැනීමට තීරණය කරන ලදි. ඒ අනුව 2000 මාර්තු මාසයේදී ජනාධිපතිවරණය පවත්වන ලද අතර ප‍්‍රතිඵලය වූයේ පුටින් 53% ක ඡුන්ද ප‍්‍රතිශතයකින් ජයග‍්‍රහණය කිරීමයි.
 
 පුටින් රුසියාවේ පාලන බලය අතට ගන්නා විට රුසියාව දේශපාලනික මෙන්ම ආර්ථික වශයෙන්ද අර්බුද රාශියකට මැදිව තිබිණි. චෙච්නියාව වෙනම රාජ්‍යයක් බවට පත්වීම සඳහා සන්නද්ධ අරගලයක නිරතව සිටි අතර රුසියානු ආණ්ඩුවට චෙච්නියානු අර්බුදය විසඳනු තබා තම හමුදා භටයන්ගේ මාසික වැටුප පවා ගෙවා ගත නොහැකි දුර්වල ආර්ථික තත්ත්වයකට පත්ව තිබිණි. ප‍්‍රධාන වශයෙන් මෙම අර්බුද (චෙච්නියා සහ ආර්ථික අර්බුදය* වලට මුහුණදෙන ආකාරය මත පුටින්ගේ ඉදිරි ගමන සිදුවීම හෝ කඩා වැටීම සිදුවීමට ඉඩ තිබුණි.
 
 පුටින්ගේ ඉදිරි ගමනට බාධා කිරීම පිණිස විරුද්ධවාදීන් විසින් ශාන්ත පීටර්ස්බර්ග් නගර කාර්ය මණ්ඩලයේ වංචා දූෂණ සම්බන්ධයෙන් පුටින්ට එරෙහි චෝදනා නව වටයකින් ඉදිරියට ගෙනා අතර 2002 වසරේදී අත්සන් කළ නියෝගයක් මගින් තමන්ට එරෙහි නියෝග ඉල්ලා අස්කරගන්නට සැලැස්වීම පිළිබඳවද ඔහු බොහෝ විවේචනයන්ට ලක්විය.
 
 තම වෘත්තීමය නිපුනතාව රාජ්‍ය පාලනයේදීද ප‍්‍රකට කළ පුටින් කෙටි කලක් තුළ කඩා වැටුණ ආර්ථිකය නිවැරදි මාවතට ගැනීමට සමත්වූ අතර 2003 වසරේදී චෙච්නියාව සඳහා ජනමත විචාරණයක් පවත්වා එහි වැඩි කැමැත්ත මත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් චෙච්නියාව රුසියාවේ කොටසක් බවට පත්කර ගැනීමට සමත් විය.
 
 දෙවන වරටත් ජනපති පුටුවට
 
 2004 වර්ෂයේදී නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණි. පුටින් දෙවන වරටද ධුරය දැරීම සඳහා අපේක්‍ෂා කළ අතර ආර්ථිකය නිවැරදි මාවතට ගැනීම සහ ජාතික ආරක්‍ෂාව සවිමත් කිරීම ආදී කාරණා බොහොමයක් පුටින්ට වාසිදායක ලෙස තිබුණ නමුත් 2002 ඔක්තෝබර් 23 වන දින මොස්කව් රඟහලකදී චෙච්නියානු කැරලිකරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගත් 850 පමණ වන පිරිස බේරා ගැනීමට පුටින්ගේ අණ පරිදි ක‍්‍රියාත්මක කළ මෙහෙයුමෙන් ප‍්‍රාණ ඇපකරුවන් 175 – 250 ක පමණ පිරිසක් මරණයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබීම සහ තමන්ට එරෙහි දූෂණ චෝදනා යටපත් කිරීම පිණිස බලය පාවිච්චි කිරීම ආදී චෝදනා විපක්‍ෂ ක‍්‍රියාකාරීන් බලවත් ලෙස මතු කරන ලදි. කෙසේ වෙතත් පුටින් 71% ක ප‍්‍රතිශතයකින් තම ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.
 
 2008 දක්වා පැවැති දෙවන ධුර කාලය තුළ තම ආයෝමය නායකත්වය ප‍්‍රදර්ශනය කළ පුටින් රුසියාව නැවතත් ස්ථාවර තත්ත්වට ගෙන එමින්
 
 අහිමිවීගිය ලෝක බලවතෙකුගේ තත්ත්වය නැවත
 
 ලබාගැනීමට කටයුතු කළ නමුත් දේශපාලන පලිගැනීම්, වංචා, දූෂණය ඉහළ යෑම සහ මාධ්‍යවේදීන් ඝාතනය ආදී කාරණා සම්බන්ධයෙන් පුටින් පාලනයට බරපතළ චෝදනා එල්ල විය.
 
 ලෝකයට නව දේශපාලන ආදර්ශයක්
 
 රුසියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයෙකුට අඛණ්ඩව දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැක. ඒ අනුව පුටින් සිය දෙවන ධුර කාලයෙන් අනතුරුව විශ‍්‍රාම ලැබිය යුතුය. එසේ නමුත් පළපුරුදු ඔත්තුසේවා නිලධාරියා එය පිළිගැනීමට කැමැත්තක් දැක්වූයේ නැත. ඔහු එතෙක් ලෝකයට නුහුරු නැවුම් ක‍්‍රියාමාර්ගයකින් බලය දැරීමට සැලසුම් කරන ලදි.
 
 ඒ අනුව තම විශ්වවිද්‍යාල සගයෙක් සහ දීර්ඝකාලීන මිත‍්‍රයෙකු වන දිමිත‍්‍රි මෙද්විඩෙව් සමග බලය හුවමාරු කර ගැනීමේ ක‍්‍රියාවලියකට සැලසුම් කරන ලදි. අනතුරුව 2008 ජනාධිපතිවරණයට දිමිත‍්‍රි මෙද්විඩෙව් ඉදිරිපත් කරන ලද අතර පුටින්ගේ විවෘත සැලසුම් සහ අනුග‍්‍රහය මත ඔහු ජනාධිපතිවරයා බවට පත්වූ අතර පුටින් අගමැති ධුරයට පත්කෙරිණි. 2008 සිට 2012 දක්වා රුසියානු ජනාධිපතිවරයා ලෙස දිමිත‍්‍රි මෙද්විඩෙව් නාමිකව කටයුතු කළ නමුත් සැබෑ ලෙසම රට පාලනය කරනු ලැබුවේ අගමැති පුටින් විසින් බවට සැකයක් නැත. මෙම කාලසීමාව තුළ රුසියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක් කරලීමට කටයුතු කරනු ලැබූ අතර වසර 4 ක්ව තිබූ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කිරීම පුටින්ගේ පැවැත්මට වාසිදායක ලෙස සිදුකර ගැනීමට ඔහු සූක්‍ෂම විය.
 
 පුටින්ගේ පුනරාගමනය
 

 මේ අනුව 2012 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා නැවත ඉදිරිපත් වීමට පුටින්ට හැකියාව ලැබුන අතර එයින් 63.6% ක ප‍්‍රතිශතයකින් ජයග‍්‍රහණය තහවුරු කරගත් පුටින් 2018 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් 76% ප‍්‍රතිශතයකින් ජයග‍්‍රහණය ලබා 2024 දක්වා බලයේ රැුඳී සිටීමට නියමිතය. මෙම කාලය තුළ රුසියාව නැවතත් ලෝක බලවතෙකුගේ තත්ත්වයට ගෙන ආ ඔහු ලෝක බලතුලනය සමබර කළේය. ආර්ථිකමය හා හමුදාමය යන දෙඅංශයෙන්ම ඇමෙරිකාවට අභියෝග කළ හැකි මට්ටමට රුසියාව දියුණු කළ ව්ලැඩිමීර් පුටින් ෆොර්බ්ස් සඟරාව විසින් 2013 වසරේ සිට අඛණ්ඩව වසර 4 ක් ලොව බලවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇත. 2018 වසරේ පුටින් චීන ජනාධිපති වරයාට පමණක් දෙවැනි වෙමින් ලොව දෙවන බලවත්ම පුද්ගලයා ලෙසට නම් කෙරී ඇත.
 
 1991 දී සෝවියට් සංගමය බිඳ දැමීම සඳහා ඇරෙිකානු සී. අයි. ඒ. සංවිධානයේ මැදිහත්වීම හේතු වූ බවට චෝදනා කෙරුණ අතර ඉන් වසර 15 කට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ මැතිවරණයට රුසියානු බුද්ධි අංශවල මැදිහත්වීමක් සිදුව ඇති බවට බරපතළ චෝදනා ඇමෙරිකා පාර්ශ්වයෙන් එල්ල විය. මෙම චෝදනාවද දෛවෝපගතය. වසර 15 රුසියාව පාලනය කළ පුටින්ගේ හැකියාව පිළිබඳව තවත් කවර කථාද? ඇමෙරිකාවේ සිට උතුරු කොරියාව දක්වාද ඉරානයේ සිට සිරියාව දක්වාද ලොව සතර අත පුටින්ගේ සහ රුසියාවේ දැවැන්ත සෙවනැල්ල අද වන විට පැතිරී ඇත.
 
 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පුටින්ට හැකියාවක් නොමැත්තේ ව්‍යවස්ථානුකූලව අඛණ්ඩව තුන්වරක් ජනාධිපති ධුරය දැරීමට ඔහුට හැකියාවක් නොමැති හෙයිනි. මේ හේතුවෙන් අඛණ්ඩව බලය රඳවා ගැනීම පිණිස 2008 දී සිදුකළ ආකාරයේ දේශපාලන උපක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට පුටින් මේ දිනවල සැලසුම් කරමින් සිටින බවට ඉඟි දැන් පලවෙමින් ඇත. එකී සැලසුමේ පියවරක් ලෙස
 
 පසුගිය 15 වන දින අගමැති දිමිත‍්‍රි මෙද්විඩෙව් ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ අතර ජනාධිපතිවරයාගේ අනාගත අපේක්‍ෂාවන්ට පහසුකම් සැලසීම පිණිස රජය ඉල්ලා අස්වන බව අගමැතිවරයා විසින් නිවේදනය කෙරිණි. නව අගමැතිවරයා ලෙස පුටින්ගේ තවත් සමීපතමයෙකු වන ෆෙඩරල් බදු අයකිරීමේ සේවයේ අධ්‍යක්‍ෂ වරයා ලෙස කටයුතු කළ මිකායිල් මිෂුෂ්ටින් පත් කරනු ලැබීය.
 
 ජනාධිපති ධුරයේ බලතල පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා වෙත පැවරෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ අදහස් රුසියානු බලධාරීන් මෙන්ම ජනාධිපතිවරයා වෙතින්ද පලවන අතර ඒ අනුව 2024 න් පසුව නැවත වතාවක් අගමැති පුටුවේ වාඩිවීමට
 
 කැස කවන 67 හැවිරිදි රුසියානු ජනාධිපතිවරයා 2024 වන විට ජනාධිපති ධුරයේ බලතල සහිත අගමැති ධුරයක් නිර්මාණය කර ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දුර්වල විපක්‍ෂයක කෙඳිරිලි හඬ හැරෙන්නට සැලකිය යුතු ප‍්‍රතිරෝධයක් දකින්නට නොමැති තත්ත්වයක් තුළ පුටින්ගේ මෙම නව පිම්මද සාර්ථක නොවීමට ඉඩක් නැත.

Related posts

ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන චම්පික රණවක දැන් කියන කතාව

colombotoday

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

colombotoday

තෙල් තොගය ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්

colombotoday

බන්ධනාගාර නියාමක හෙරොයින් එක්ක මාට්ටු

Admin

බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Admin

කථානායක දේශපාලන කුමන්ත්‍රණවලට යොදා ගැනීමට විරෝධය දක්වනවා – දිනේෂ් ගුණවර්ධන

colombotoday