Colombo Today Local News

වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැතිගෙන් ජනාධිපතිට ලිපියක්

මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා එම ලිපිය ජනාධිපතිවරයා වෙත ඊයේ (11) යවා ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හතරක් පුරප්පාඩු විය.

එම අමාත්‍යාංශවල වැඩබැලීමට පත්කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවනු ලැබීය.

එම නම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පුරප්පාඩු වී ඇති අමාත්‍යාංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් එහි වැඩබලන ඇමැතිවරුන් ලෙස පෙරේදා (10) පත් කළේය.

ඒ අනුව ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන ඇමැති වශයෙන්ද , අනෝමා ගමගේ මහත්මිය මහාමාර්ග ,මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන ඇමැති වශයෙන්ද , බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ ,දිගු කාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපාකාර සංවර්ධන හා වෘත්තිය පුහුණු වැඩබලන ඇමැති වශයෙන්ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වී තිබියදී ඒවාට වැඩබලන ඇමැතිවරුන් පත්කළ නොහැකි බවත් එය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාවට පටහැනි බවත් අගමැතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇති බවද පැවැසේ.

ඇමැතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතුව ඇතැයිද එහෙත් තමා එවැනි නිර්දේශ කිරීමක් කර නැතැයිද අගමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමකටද ලක්විය  හැකි බව අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

Related posts

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ඉල්ලා මව්පියන් පාසල් ඉදිරිපිට විරෝධතාවයක

colombotoday

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin