Colombo Today Local News

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

රනිල් වික්‍රමසිංහ මහතා ජීවිතේට අගමැති ලෙස පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම අගමැති ධුරයට යෝජනා වුවහොත් ඔහුවද අගමැති ලෙස පත් නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද විදේශීය මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරන්නට හේතුවූ කාරනා ජනාධිපතිවරයා විදේශ මාධ්‍යවේදීන් හමුවේ දීර්ඝ ලෙස පැහැදිලි කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා දීමට හේතු වූ කාරණා ගැන සඳහන් කරද්දී ‘‘ මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වවා. ඔහු එය පිළිගත්තේ නෑ. ‘‘ යැයි ද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර අලුත් අගමැතිවරයකු පත් කිරීමේදී තමාගේ පළමු කැමැත්ත තිබුණේ කතානායක කරු ජයසූරිය මහතාට බවත්, දෙවැනි කැමැත්ත තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඔවුන් අගමැති ධුරය භාර නොගත් නිසා මහින්ද රාජපක්ෂ මහතා පත් කළ බවත් ජනාධිපතිවරයා කීවේය.

‘‘ඇයි මම දෙන්නෙකුගේ පස්සේ ගියානේ. ඒ දෙන්නම බෑ කිව්වානේ. ඒ දෙන්නා බෑ කිව්වට පස්සේ වෙන කෙනෙක් ඇත්තෙම නෑ.‘‘ යැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

අගමැති ඉවත් කිරීම, අලුත් අගමැති පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසිරුවාහැරීම නීත්‍යනුකූලව සිදු කළ බවත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කළත් අගමැති ඉවත් කිරීම සහ වෙනත් අගමැතිවරයකු පත් කිරීම අධිකරණයේ දී අභියෝගයට ලක් කර නැති බවත් ජනාධිපතිවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීම ගැන කතා කළ ජනාධිපතිවරයා ‘‘ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල ඡන්දය ගැනීමේ ක්‍රම තුනක් තිබෙනවා.

පළවෙනි එක ශබ්දය අනුව ගැනීම. දෙවැනි එක මන්ත්‍රීවරුන්ගේ නම කතා කරලා යර්ස්, නෝ කියලා කැමතිද නැද්ද කියලා ගන්න එක. ඊළඟට ඉලෙට්‍රෝනික් සිස්ටම් එක. ආණ්ඩුවක් වෙනස් කිරීම වැඩි බරපතල දේකදි නිකං හායි කියලා හඬ අනුව නෙමෙයි නමින් හෝ ඉලෙට්‍රෝනික් සිස්ටම් එකෙන් ඉදිරිපත් කරන්න කියලයි මම ඔවුන්ට යෝජනා කළේ. ඔවුන් පෙරේදා ඉලෙට්‍රෝනික් සිස්ටම් එකට ඡන්දය පැවැත්තුවා.

මම කතානායක ඇතුළු මන්ත්‍රීවරුන්ට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට පාර්ලිමේන්තුවේ බහුතරය මම පිළිගන්න කෙනෙක්. බහුතරය විනිවිද භාවයෙන් යුතු වෙන්න ඕනා. ‘‘ යැයි සඳහන් කළේය.

‘‘පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරීම දැඩි සේ පිළිකුල් කරනවා. මොන පක්ෂයේද කියන එක නෙමෙයි කවුරු වුණත් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම වැරදි. ‘‘ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා රැසක් එල්ල කර දැන් ඔහු අගමැති ලෙස පත් කිරීම ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය. ‘‘අපි හැම වෙලාවෙම අතීතයේ චෝදනා ගැන කතා කළොත් ලෝකයේ කිසිම දේශපාලනඥයෙකුට එකතු වෙන්න බෑ. 1956 ඉඳන්ම අපේ රටේ සන්ධාන ආණ්ඩු තියෙනවා. ඒ එකතු වුණ අයත් ඊට කලින් අසමගි වෙලා හිටපු අය. දේශපාලන නායකයො දේශපාලන පක්ෂ නායකයන් එකතු වෙලා තියෙන්නේ ඒ ලබපු අත්දැකීම් එක්ක එතනින් එහාට අලුත් වැඩපිළිවෙලක් එක්ක යන්නේ කොහොමද කියලා.  ‘‘

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ කළැයි කියන දූෂණ අක්‍රමිකතා සහ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන විමසද්දී ජනාධිපතිවරයා මෙසේ කීවේය. ‘‘ ඒවට වග කියන්න ඕනා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අධිකරණය, සීඅයිඩිය, පොලිසිය ඔක්කොම තිබ්බේ එක්සත් ජාතික පක්ෂය යටතේ. ජනාධිපතිවරයා වුවත් සම්මුතිය අනුව අනිත් ඒවට ඇඟිලි නොගැසීමේ එකඟතාවක් තිබුණා.‘‘ එම චෝදනාව එජාපයෙන් කරන්නේ ජනාධිපතිවරයාට බව කී විට ජනාධිපතිවරයා මෙසේ කීවේය.  ‘‘එහෙනම් ඒ කාලේ ඔප්පු කරන්න තිබ්බානේ. ඒකට එයාලට කොන්ද පන තිබ්බේ නැද්ද? ඒ සියල්ලට රනිල් වික්‍රමසිංහ මහතා සහ සාගල රත්නායක මහතා වගකිව යුතුයි.‘‘

Related posts

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

colombotoday

මහින්දව රහසේ හමුවූ නි.ඇමති අරුන්දිකට ආණ්ඩුවෙන් ලෙඩක් !

colombotoday

රංජන් අධිකරණයට ගෙනඑයි

colombotoday

බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

colombotoday

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

පුන්නක්කු මිලත් නගී.. කිරි දෙනුන් සීරුවෙන්.. කිරි ගොවීන් අවුලෙන් !

colombotoday