Colombo Today Local News

හරිනිගේ අනාගමික රාජ්‍යය ගැන හෙළිදරව්වක්

ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය විසින් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව නිර්දේශ කර ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන යෑම සදහා ජනවරමක් පතන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටයේ සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජනරැලියක් (18) කොට්ටාවේ දී අමතමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

අද මැතිවරණ ප්‍රචාරක කටයුතු වල අවසන් දිනය. අපේ අනාගත ජනාධිපති ජාතියක් අභිප්‍රේරණය කල ජාතියට වෙනසක් ගෙනත්දුන්නු දිලිත් ජයවීර මැතිතුමාගේ උපන් දිනය. රටට සුබ වෙන්න නම් දිලිත්ට සුබ විය යුතුයි.

අපි හැමෝම එක හඬින් දිලිත් ජයවීර මැතිතුමනි සුබ උපන් දිනයක් වේවා !! කියලා ප්‍රාර්ථනා කරමු.

චෞර රජා අනුර කුමරු

හොරු අල්ලනවා කියන එක තරම් පට්ට ගහපු සටන් පාඨයක් තවත් නෑ. 1977 ජේආර් බලයට ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවා ද? නෑ. අන්තිමට කලේ බලය අයුතු ලෙස භාවිතා කළා කියලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙයි ඒ ආණ්ඩුවේ සිටි ප්‍රබලම ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගෙයි ප්‍රජා අයිතිය නැති කිරීම විතරයි. ඒක දේශපාලන පලි ගැනීමක් විතරයි.

1994 චන්ද්‍රිකා මැතිණිය ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවාද? නෑ. අන්තිමට ගෙදර ගියේ චෞර රැජින වෙලා. 2015 දී සිරිසේන මැතිතුමා බලයට ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවා ද? නෑ. ආණ්ඩුව හොරු අල්ලන්න කලින් හොරු ආණ්ඩුව අල්ලා ගත්තා. ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහ බැංකු බැඳුම්කර වංචාව වුණේ ඒ ආණ්ඩුව කාලයේ තමයි.

වැදගත්ම දේ තමයි ඒ ආණ්ඩුවේ හොරු අල්ලන වැඩේ භාරව හිටියේ මාලිමාවේ ජනාධිපති අපේක්ෂක හොරු ඇල්ලීම තමන්ගේ ප්‍රධාන සටන් පාඨය කරගෙන සිටින අනුර කුමරු. අනුර කුමරු එක හොරෙක් ඇල්ලුවේ නෑ. හොරු ගැන තොරතුරු තිබෙන ෆයිල් ටික හොරකම් කරලා ගෙදර ගෙනහින් කම්බ හොරෙක් බවට පත් වුණා. හොරාගෙන් හොරකම් කරන එකාට තමයි කම්බ හොරා කියන්නේ. චන්ද්‍රිකා චෞර රැජින නම් චෞර රජා අනුර කුමරු.

සජිත් අනුර දෙන්නාම හොරු අල්ලන්නේ දැඩි නීති ගෙනැල්ලා. විශේෂ අධිකරණ පිහිටුවලා. එහෙම කළා කියලා හොරු අල්ලන්න පුළුවන් ද? 1977 දී ජේආර් කලෙත් ඕකයි. 1994 දී චන්ද්‍රිකා කලෙත් ඕකයි. හැබැයි අල්ලපු හොරෙක් නෑ. නීතියෙන් ඕක කරන්න පුළුවන් නම් අද ලංකාවේ මිනීමැරුම් නැත්තටම නැති වෙන්න ඕනි. මොකද රජ කාලේ ඉඳලම දණ්ඩ නීති සංග්‍රහයේ මිනීමැරීමට දඬුවම මරණයයි කියලා තිබෙනවා. මිනීමැරීම තහනම් කරලා මිනී මරන අයට මරණ දඬුවම දීලාත් මිනීමැරුම් නැති වෙලා ද? නැති වෙලා නෑ. හොරු ඇල්ලිල්ලත් එච්චරම තමයි.

හොරකම නැති කරන ඩිජිටල් අංකය

හොරු ඇල්ලීම වෙනුවට ඉතාම නිර්මාණශීලී අදහසක් ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා විතරයි.

හොරු නැති කරන්නේ සල්ලි නැති කරලා. මුදල් තිබෙනවා. අගය මනින රුපියල කියන ඒකකය තිබෙනවා. ඒත් කාසි නෝට්ටු නැත්තට නැති කරනවා. මුදල් ගනුදෙනුවක් කරන කොට ක්‍යුආර් කේතය භාවිතා කරලා තමන්ගේ බැංකු ගිණුමෙන් ගෙවීම ලබන කෙනාගේ බැංකු ගිණුමට මුදල් මාරු කරනවා. එතකොට හැම කෙනාගේම හැම ආදායමම එන්නේ බැංකු ගිණුමට විතරයි. නගර සභාවට ගිහිල්ලා ගෙදර සැලැස්ම අනුමත කරන්න නගරාධිපති ගානක් ඉල්ලනවා නම් නගරාධිපතිගේ ගිණුම් අංකය අපට දෙන්න වෙනවා සල්ලි දාන්න. දරුවා පාසලට ඇතුලත් කරන්න විදුහල්පති ලක්ෂ ගණනින් මුදල් ඉල්ලන කොට අපි වීරයෝ වගේ කියනවා දෙන්න සර් ගිණුම් අංකය අපි දෙන්නම් සල්ලි කියලා. ජනාධිපතිගේ ඉඳන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පියුං දක්වා සිටින කිසිම කෙනෙකුට එක රුපියලක් මිටි මොලවන්නේ නැතිව පගාව දෙන්නේ නැතිව ඕනෑම වැඩක් කර ගන්න අපට පුළුවන් වෙනවා.

මේක කරන්න පුලුවන් දෙයක් ද? ඔව් කරන්න පුළුවන්. තෙල් අර්බූදය ආවාම අපි හරි අපූරුවට ක්‍යුආර් කේතයෙන් තෙල් ගහ ගත්තේ. මේ ක්‍රමය හොඳටම ක්‍රියාත්මක වෙන්නේ අකුරු කියවීමේ හැකියාව 76%ක් වුණු ඉන්දියාවේ. ඩිජිටන් පේමන්ට් ඉන්ටර්ෆේස් නමින්. ඉන්දියාවේ මේක කරන්න පුළුවන් නම් 93%කට අකුරු කියවන්න පුළුවන් ලංකාවේ කරන්න බැරි ඇයි?

මේක කරන්න නම් සෑම කෙනෙකුටම උපතේ දීම ඩිජිටල් අංකයක් දෙන්න වෙනවා. ඒ අංකය උඩ තමයි බැංකු ගිණුම හැදෙන්නේ. බබා ඉපදුනු ගමන් අම්මා තාත්තා බබාට නමක් දෙනකොට ආණ්ඩුවෙන් අංකයක් දෙනවා. මේක තමයි හොරකම නැති කරලා හොරු නැති කරන්න තිබෙන එකම ක්‍රමය. දිලිත් කිව්වාට පස්සේ ඔන්න අනිත් අපේක්ෂකයෝත් අනන්‍ය ඩිජිටල් අංකය ගැන කතා කරනවා. ඒ පාර දිලිත් මැතිතුමා අභියෝගයක් කළා. ඔබේ වටේ ඉන්නේ දූෂිතයෝ. ඔය කවුරුවත් ඕක කිව්වාට කරන්නේ නෑ. මගේ මැතිවරණ ප්‍රකාශනයේ නවවන පිටුවේ මාස හයක් ඇතුලත අනන්‍ය ඩිජිටල් අංකය ලබා දීම සඳහන් කරලා තිබෙනවා. ඔබ ඒක කරනවා නම් දින වකවානු දෙන්න කියලා. අදින් මැතිවරණ සටන ඉවරයි. අභියෝගය භාර අරගෙන අනන්‍ය ඩිජිටල් අංකය දෙන දවසක් කියන්න කිසිම අපේක්ෂකයෙක් සමත් වෙලා නෑ. ඒ කියන්නේ ඇත්තටම දූෂණය නැති කරන්න අවංක උවමනාවක් තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමාට විතරයි කියලා මම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

ඔර්ජිනල් නම් දිලිත් තමයි

මේ මැතිවරණයේ දී මුලින්ම මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් කලේ අපි. ඒ අගෝස්තු මාසේ 10 වෙනි දා. අපි හොරු නැති කරන්න සල්ලි නැති කරනවා කිව්වාම ඒක සජිත් කොපි කරලා. අපි උපතේ දී අනන්‍ය අංකයක් දෙනවා කිව්වාම ඒක අනුර කොපි කරලා. අපි ව්‍යවසායක මනසක් හදලා ව්‍යවසායකයින් සංවර්ධනය කරනවා කිව්වාම රනිල් ඒක කොපි කලා. මේ රට ගොඩ නගන ඔරිජිනල් බඩු තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා ගාව විතරයි. දම් පාට කොල පාට ගුරු පාට හැම කඩයකම තිබෙන්නේ ඩුප්ලිකේට්. ඔරිජිනල් බඩු ඕනෑ නම් දිලිත් ජයවීර මැතිතුමාට ඡන්දය දෙන්න.

අනාගමික රාජ්‍යයකට මාලිමා හරිනිගේ නිර්දේශය

ජවිපෙ නායකයින් කියන පට්ටපල් බොරු දෙක තුනකට අද උත්තර දෙන්න ඕනි.

මාලිමාව වෙනුවෙන් පෙනී සිටින භික්ෂුන් වහන්සේලා, සිවුර කහපාට වුණත් අඳනකඩය දම්පාට භික්ෂුන් වහන්සේලා අද අනුර කුමරුගේ වේදිකාව සරසන ගමන් අනුර කුමරුට පිරිත් නූල් බඳින ගමන් අනුර කුමරුට සෙත් පිරිත් දෙසන ගමන් රටට කියනවා “බුදු දහමට ව්‍යවස්ථාවෙන් පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය මාලිමා ආණ්ඩුවකින් අහෝසි කරනවා කියලා බොරුවක් සතුරන් ප්‍රචාරය කරනවා කියලා. තරහ අවසර අපේ හාමුදුරුවනේ, බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කලේ බුදු හාමුදුරුවෝ දේශනා කළත් සත්‍යයට සහ තර්කය ගෝචර වෙනවා නම් පමණක් පිලිගන්න. බුදු හාමුදුරුවන් දේශනා කරන දේත් විමසා බලන්නේ නැතිව පිලිගන්නේ නැති අපේ හිමිවරු අනුර කුමරු කියන පමණින් පිලිගන්න බෑ නේද?

අපි මේ නිසා මේ කතාවේ ඇත්ත හොයමු. හැමෝම දන්න මාලිමා මැතිවරණ ප්‍රකාශනයේ කුප්‍රකට 230 පිටුවේ කියනවා “2015-2019 ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමි”. මේ ක්‍රියාවලියේ වැදගත්ම කොටස වුණේ, පදනම වුණේ ව්‍යවස්ථාවට අවශ්‍ය කරුණු නිර්දේශ කරන්න පත් කරපු ලාල් විජේනායක කමිටු වාර්තාව. ඒ කමිටුවේ මාලිමාව නියෝජනය කලේ මාලිමා මන්ත්‍රිනි හරිනි අමරසූරිය. මේ කමිටු වාර්තාවේ හරිනි අමරසූරිය මන්ත්‍රිතුමිය මාලිමා මන්ත්‍රිතුමිය කියනවා 14 දෙනාගෙන් දෙන්නෙක් ඇරුණු කොට අනික් හැමෝම කිව්වේ බුදු දහමට දී ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කරන්න. හරිනි නෝනා එතනින් නතරවුනේ නෑ. එතුමිය යෝජනා කරනවා මේ රට අනාගමික රාජ්‍යයක් බවට පත්කල යුතුයි. ඒ කියන්නේ බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමෙන් නතර වෙන් නැතුව බුද්ධාගමයි ආණ්ඩුවයි සියලුම ආගම් අතර කිසිම සම්බන්දයක් තියෙන්න නරකයි. ආන්ඩුවේ එක සත පහක් ආගම් වෙනුවෙන් වියදම් කරන්න බෑ. අනුර කුමරු කියන පලියට විශ්වාස කරන්න එපා නම් මම කියන පලියටත් විශ්වාස කරන්න එපා. ලාල් විජේනායක කමිටු වාර්ථාවේ 17 වෙනි පිටුවේ හරනි අමරසූරියගේ නිර්දේශය තියෙනවා. එය කුමක්ද කියලා බලල්න කියලා මම ආරාධනා කරනවා. ඒවා නොබලා කාලාම සූත්‍රය අමතක කරලා අපේ ස්වාමීන්වහන්සේලා මාලිමාව වෙනුවෙන් තව දුරටත් පෙනී හිටියොත් ඔබ වහන්සේලා දැන හෝ නොදැන පාංශුකූලය දෙමින් ඉන්නේ වසර 2,300ක් පුුරාවට අභියෝග මැද රැකුණු අපේ සම්බුද්ධ ශාසනයටයි.

දිලිත්ට රට බාරදිය යුත්තේ ඇයි ?

දිලිත් ජයවීර මැතිතුමා වැඩක් කරන්න බලය ඉල්ලන කෙනෙක් නොවේ. වැඩක් කරලා පෙන්වලා ඒක ජාතික මට්ටමෙන් කරන්න බලය ඉල්ලන කෙනෙක්. බදු ගෙවලා රාජ්‍ය ආදායමට මිලියන ගණනින් දායක වෙලා ඒක බිලියන ගණනින් වැඩි කරන්න බලය ඉල්ලන කෙනෙක්. දහ දහස් ගණනකට රැකියා දීලා ලක්ෂ ගණනකට රස්සා දෙන්න බලය ඉල්ලන්න කෙනෙක්. ඩොලර් මිලියන ගණනින් විදේශ විනිමය උපයලා ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය උපයන්න බලය ඉල්ලන්න කෙනෙක්. බුදුන් වහන්සේ කියූ විධියට තථාවාදි යතාකාරි – යථාවාදි තථාකාරි කෙනෙක්. කියන දේ කරන කරන දේ කියන කෙනෙක්. ඒ නිසා සතුටු දැයක් බිහි කරන්න දිලිත්ට රට භාර දෙන්න කියා ඉල්ලමින් මා නිහඬ වෙනවා.

– Media unit

Related posts

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday

මුලතිව් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ කොටි මුහුණු මතුවෙයි

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday

15 හැවිරිදි සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලකින් බිමට පනී

Admin

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනෙකුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday