Colombo Today Local News

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපති අධිකරණයට දන්වයි

තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13)දින අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පැහැරගැනීම් 2008 වසරේදී වාර්තා වී ඇති අතර එහිදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට එම නඩුව ගොනුකර තිබුණි.

තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනුකළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩු කටයුත්තේ විත්තිකරු වශයෙන් නම් කර සිටින පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.

ඒ අනුව ඒ පිළිබඳව මහාධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ අනුව මෙම නඩුකරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

Related posts

බෝම්බ සවිකර ඇති ලොරියක් හා වෑන් රථයක් කොළඹට ඇවිත්

colombotoday

“හම්බන්තොට චීනයට දෙන්නම වෙනවා.. නැතිනම් රුපියලට සොරි“ – සරත් අමුණුගම

colombotoday

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

මුසවේනිගේ 5 වන දිවුරුම්දීමට හිටපු ජනපතිට උගන්ඩාවෙන් විශේෂ ආරාධනාවක්.. යෝෂිතට යෑම තහනම්

colombotoday

කොටි සිරකරුවන්ට නිදහස.අලුත් විවස්ථාවෙන් සෙනට් සභාවක්. – රනිල්ගෙන් යාපනයේදී පොරොන්දුවක්

colombotoday

“මේ ව්‍යවස්ථාව සම්මත කළොත් රට බෙදන්න තව අඩියයි“ මහින්දගෙන් විශේෂ නිවේදනයක්

colombotoday