ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ මහා විහරයේ විහාරාධිපති, ගේතර්ස්බර්ග් හි ලයන් ඔෆ් විස්ඩම් හෙවත් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානයේ අධිපති,මහරගම සිරි වජිරඥාන ධර්මායතනය හා තදනුබද්ධ විහාරයන්හි විහාරාධිපති, උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝනායක, ජනවිජය පදනමේ සභාපති ශ්‍රී ධර්මරක්ෂිත වංශධ්වජ අතිපූජනීය වන්දනීය මහරගම ධම්මසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුපින්බර දිවියේ හැත්තෑ පස්වන (75)වන ජන්ම දිනය අගෝස්තු මස 25 වන දිනට යෙදී තිබෙනවා.
ඊට සමගාමීව උන්වහන්සේගේ උත්තරීතර පැවිදි දිවියට වසර 65 ක්ද සපිරේ.
ඒ මංගල සම්මත කාරණාවන් අළලා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානපති කාර්‍යාලය හා වොෂින්ටන් බෞද්ධ විහාරයේ දායක සභාව ඇතුළු පිරිස මුල් වී නාහිමියන්ව උත්සවශ්‍රීයෙන් ඇගයීමට හා ආශිර්වාද කරන්නට කටයුතු සංවිධානය කොට ඇත.
ඒ අනුව මේමස 25 වන දින ගේතර්ස්බර්ග් හි. ලයන් ඔෆ් විස්ඩම් භාවනා මධ්‍යස්ථානයේදි 75 නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක් පිරිණැමීමටත් එදින උදෑසන උන්වහන්සේගේ උතුම් පැවිදි දිවියේ උත්කෘෂ්ට සසුන් මෙහෙවර අගයමින් ඇගයීමේ උත්සව සභාවක්ද පැවත්වීමට කටයුතු සූදානම්ව තිබෙනවා.
ශ්‍රී ලාංකීය සසුන් කෙතේ නිකැළල්ව විරාජමාන වූ බෝධිසත්ව ගුණෝපේත මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමි, අම්පිටියේ රාහුල නාහිමි හා ගංගොඩවිල සෝම ස්වාමින්‍ද්‍රයන් වහ්න්සේලා ආදි සංඝශෝභන යති පරපුරේ වත්මන් යති සලකකුණ වන අතිපූජනීය මහරගම ධම්මසිරි නාහිමියන් පිළිබදව තදුරටත් සැකෙවින් තබන සටහනයි මේ.
මහරගම ගුරු විද්‍යාලය අසල නිවසක දිවි ගෙවූ දේශීය සර්වාංග වෛද්‍යවරයකු මෙන් ම ගොවියෙකු වූ හබරගමු රාළලාගේ බස්තියන් දරණියගල මහතා හා හබරගමුරාළලාගේ ජොසලින් පීරිස් යන දම්පතීන්ට දාව 1949 අගෝස්තු 25 වන දින ගුණදාස දැරණියගල නම් වූ පින්වත් කුමරුවා මෙලොව උපත ලබනුයේ දරුවන් හත්දෙනෙකුගේ පවුලේ බාලයා ලෙසිනි.
ගුණදාස දරුවා උපත ලැබීම ට දෙමසක ට පෙර තම පියතුමන් පරලොව සැපත් වුව ද, එම අඩුව නොදැනෙන්නට තම මව්තුමිය හා සහෝදර සහෝදරියන් පිරිස වග බලා ගත්හ. මහරගම බුවනෙකබා විදුහලේ මුල් ගුරුතුමන් වූ ඩයස් මහතා හා පන්තිභාර වූ සුගුණපාල මහතාගේ සෙවනේ අකුරු කළ ගුණදාස දරුවා කුඩා අවධියේ සිට මනා ස්මෘති ශක්තියකින් යුතු විය. එයට හේතු පාදක වූ තවත් කරුණක් නම් පාසල මෙන් ම නිවස ද පත පොත පරිශීලනය කරන අධ්‍යාපන පරිසරයකින් යුතු වීම ය. පාසලෙන් ඉගෙන ගන්නා දෙයට අමතරව පන්සල් පොත් ද තම මවගේ මග පෙන්වීම යටතේ වාචෝද්ගත කිරීමට හැකියාවක් ඔහුට ලැබිණ.
කුඩා කල සිට ම ඉංගී‍්‍රසි අධ්‍යාපනයටද ඇල්මක් ඔහු තුළින් ප්‍රකට විය. රත්නා පියදාස පවුල පහන්කුඹුර පවුල,දෙගම්බඩ පවුල හා අමරතුංග පවුල යන පවුල්වල සාමාජිකයින්ගේ හා ඥාතීන්ගේ ඇසුර ද ඔහු වෙත නොඅඩුව ලැබිණ. මේ හේතුව නිසා කුඩා කල සිට ම සමාජශීලී අයෙකු බවට පත්විය.
බහ තෝරන වයසේ සිට බුදු දහමට නැඹුරු වූ ස්වභාවය ක්‍රමයෙන් ඔහු තුළින් පිළිබිඹු විය. තම නිවස අසල වූ විහාරස්ථානයේ මංගල හිමියන්ගෙන් දහම් පාසල් අධ්‍යාපනය ලද මෙම දරුවා සෑම ඉරුදිනක ම පවුලේ සැම සමග මහරගම ධර්මායතනයේ පැවැත්වෙන සවස මල් පූජාවට හා දහම් දෙසුමට සහභාගී වීම පුරුද්දක් කර ගත්තේ ය. විහාරස්ථානයට පැමිණෙන සෑම අවස්ථාවක දී ම චීවරය තම ජීවිතයට සමීප බවක් ද පිරිත් හඬ සංසාරගත පුරුදු මුදුන්පත් වීම නිසා පෙර ඇසූ පුරුදු ස්වභාවයක් ද ගෙන දුන්නේ ය.
මේ සියල්ලෙහි අවසන් ඵලය වූයේ පැවිදි වීම ට සිත්වීම යි. මෙසේ දහවන වියට ළඟාවන විට ඔහු ගිහිගෙදර තවදුරටත් රඳවා ගත නොහැකි බවක් මතුවන්නට විය. කිසිවෙකුටත් නොදන්වා ගෙදරින් නික්මීමට කිහිපවිටක් උත්සාහ දැරීමේ ප්‍රතිඵලය මත තම දරුවා සසුනට පූජා කිරීමට මව තම හිත හදා ගත්තා ය.
1959 වසරේ අවසන් දිනය ගුණදාස දරුවාට මහත් අස්වැසිල්ලක් ගෙනදුන් දිනයක් විය. ඒ ඔහු විහාරස්ථානයට භාරදුන් දිනය යි. චාලි නම් වලව්ව සසුනට පූජා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මහරගම ධර්මායතනය එවකට භාරව වැඩ සිටියේ අම්පිටියේ රාහුල හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ භාරයේ සිටි මෙම දරුවා පුරා හය මසක කාලයක් පැවිදි වීමට සුදුසුකම් ලබනු පිණිස පිරිය යුතු වත් පිළිවෙත් හා උගතමනා බණ දහම් ඉතා සතුටින් ප්‍රගුණ කරන ලද්දේ ය. වළස්ගල පුණ්ණජී මයුරවංශ, ගල්වැවේ ඥානතිලක, වැලිගම ඥානරතන යන මහ තෙරවරුන් වහන්සේලාගේ ධර්ම ශාස්ත්‍රඥානය හා ජයසේන ද සිල්වා මහතාගේ ඉංගී‍්‍රසි ඥානය ද ස්වකීය වර්ධනයට ඉවහල් විය.
මෙම කුමරුවා සැමගේ ආශීර්වාදය මත 1960 ජූනි හයවන දින අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, අම්පිටියේ රාහුල නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් වැලිගම ඥානරතන නා හිමිපාණන් වහන්සේ මඟින් මහරගම ධම්මසිරි නාමයෙන් උතුම් වූ ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් විය. මෙම සාමණේරයන් වහන්සේ විහාරයේ, පිරිවෙනෙහි පැවිද්දෙකු විසින් උගත යුතු ධර්ම ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ අතර කවිකලාවට ද ඇල්මක් දැක්වීය. පිරිවෙන් පටිපාටියෙන් වූ සියලු විභාග උසස් අයුරින් සමත් වූ අතර ධර්මායතනය මගින් පිරිනමනු ලබන ඉංගී‍්‍රසි භාෂාව වෙනුවෙන් වූ ත්‍යාගයට ද හිමිකම් දැරීය. බණ දහම් කීමෙහි දක්ෂ පක්ෂකම් දැරූ මුන්වහන්සේ 1971 දී වැලිගම පැලෑන උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා සීලයේ පිහිටු වීය.
උපසම්පදාව සමග තම ගුරු හිමියන්ගේ උපදෙස් මත මහරගම ධම්මසිරි හිමිපාණෝ අනුරාධපුර වජිරඥාන විහාරයේ භාරකාරත්වයට පත්ව, තත් ප්‍රාදේශීය දායක කාරකාදීන්ගේ ලෞකික ලෝකෝත්තර සැප සාධනයෙහිලා උත්සාහවත් විය. දුෂ්කර වූ පළාතක, තම ආගමික කාර්යභාරය නොපිරිහෙළා ඉටු කිරීමට උන්වහන්සේ දිනපතා වන්දනාමාන කිරීමට පුරුදු වූ අනුරාධපුර විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට හා ආශිර්වාදය නිතැතින් හේතු වීය. එම යුගයේ දී උන්වහන්සේට රාජකීය පණ්ඩිත වැයිහේනේ පඤ්ඤාලෝක නාහිමියන්ගේ ඇසුර නිතර ලැබීම තම ධර්ම ශාස්ත්‍රීය කටයුතු මනාව කරගැනීමට රුකුලක් වීය.
වසර කිහිපයක් අනුරාධපුර වැඩ සිටි මහරගම ධම්මසිරි හිමියන් හට නැවත මහරගම ධර්මායතනයට වැඩම කරන්නට සිදුවිය. ඒ සඳහා හේතු පාදක වන්නේ එහි විහාරාධිකාරීත්වය දැරූ අම්පිටියේ රාහුලාභිධාන ගුරු හිමියන් බවුන් වැඩීම සඳහා වනගත වීම නිසා විහාරස්ථානයේ පරිපාලන කටයුතු භාර ගැනීම ට සිදුවීම ය. ගුරුහිමියන් වනගත වීමට පෙර තමා හට පැවසූ දෙය අදවනවිටත් උන්වහන්සේ ගරු කරන, සිත්හි රඳා පවතින හා අනුගමනය කරන ඔවදනක් ව පවතී.එනම් ‘දායකයින් නොපෙළා සිව්පසය ලබාගෙන ඔවුන්ගේ දෙලොව වැඩ පිණිස කටයුතු කළ යුතු ය.” යන්නයි.
එය තරයේ සිත්හි රඳවා මඩිහේ මහ නාහිමිගේ උපදෙස් මත මහරගම ධර්මායතනය වසර දොළහක් පුරාවට පරිපාලනය කළ අතර එම සේවාව ප්‍රශස්ථ විය. තත් පාරිවේණික අවශ්‍යතා සම්පූර්ණ කිරීම දායක කාරකාදීන්ගේ කුදුමහත් ආගමික කටයුතු සිදුකර දීම, මහරගම ගුරු විද්‍යාල සිසුන් සඳහා බුද්ධ ධර්මය ඉගැන්වීම ආදිය එහිලා වැදගත්කොට සැලකිය හැකි ය.
ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර 1966 දී පැවැත් වූ වෙසක් පොහොය ආගමික වැඩසටහනින් පසුව මඩිහේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ආරම්භ කරන්නට යෙදුන ඇමරිකාවේ පළමු ශ්‍රී ලාංකික විහාරස්ථානය වූ වොෂින්ටන් බෞද්ධ විහාරයට වැඩම කරවීමේ භාග්‍ය 1987 දී ධම්මසිරි හිමියන්ට උදාවීය. එහිදී එම විහාරයේ පළමුව ලේකම් ධූරය හොබවමින් වැඩ සිටි උන්වහන්සේ එවක එහි විහාරාධිපතිව වැඩ සිටි හේනේපොල ගුණරතන නා හිමියන් බටහිර වර්ජිනියාවේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ පූර්ණකාලීන සේවය සඳහා නික්ම වැඩි හෙයින් 1988 දී වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපතිත්වයට පත්විය.
බටහිර රටක ධර්ම ප්‍රචාරය සිදු කිරීම ඉතා පහසු කාර්යයක් නොවන්නේ ඒ සඳහා මනා භාෂාමය හා ධර්ම ශාස්ත්‍රීය දැනුමත් සේම මනා ආකල්ප සංවර්ධනයක් තිබිය යුතු නිසාවෙනි. ඉහත කී සුදුසුකම් කුඩා අවධියේ සිටම සපුරා තිබූ මහරගම ධම්මසිරි නාහිමියෝ එදා සිට මේ දක්වා උසස් කාර්යභාරය ඉටු කරමින් පවතී.
ශ්‍රී ලාංකික හා ඇමරිකානු ජාතිකයින් ඇතුළත්ව දායක පිරිස් වෙත ලෞකික ලෝකෝත්තර දියුණුව උදෙසා උන්වහන්සේගේ නායකත්වය සැලසේ. ශ්‍රී ලාංකික අනන්‍යතාවය හා ථේරවාදී සම්ප්‍රදාය රකිමින් ඒ කරනා සේවාව ප්‍රශස්ථය. බොහෝ විශ්වවිද්‍යාල හා පාසල් දරුවන් භාවනා වැඩසටහන් සඳහා තෝරා ගනුයේ වොෂින්ටන් බෞද්ධ විහාරය යි. වොෂින්ටන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් උදෙසා වත් සිරිත් පුහුණු කරමින් දහමට හුරුකරවීම සඳහා විහාරස්ථ දහම් පාසල මහඟු කාර්ය භාරයක් සිදු කරයි.
ලාංකික භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසකට මේ වන තාක් ඇමරිකාවට වැඩමවීමට හා එරට ධර්මප්‍රචාර කටයුතු සඳහා ඉඩහසර ලබාදීමට උන්වහන්සේ ගත් උත්සාහය අමිල ය. ආගන්තුක සත්කාරයෙහි දක්වන නිහතමානී බවද කැපී පෙනෙන ලක්ෂණ අතර වේ. මහරගම ධර්මායතනයේ විහාරාධිකාරීත්වය දරමින් තමන්ගේ දැක්ම පවත්වාගෙන යාම සඳහා දක්ෂ පක්ෂත්වයෙන් යුතු පැවිදි ශිෂ්‍ය පිරිසක් ගුණ නැණ බෙලෙන් යුතුව නිර්මාණය කිරීම හා ඒ සඳහා මග පෙන්වීම ද අගය කළ යුත්තකි.
මේ උතුම් සේවාවන් ඇගයීමක් ලෙස අමරපුර මහා නිකාය මඟින් 1994 දී උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් ද උන්වහන්සේ පිදුම් ලැබූහ. චිරාත් කාලයක් සම්බුදු සසුන ලොව පුරා රඳවන්නට ශක්තිය හා ධෛර්යය තෙරුවන් සරණින් ලැබේවායි අපි පතමු.