ලංකාව ඉංග‍්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙසට භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථාවේ මේ මුස්ලිම් සමාජය හඳුන්වන ලද්දේ මහමදාගම්කාරයන් වශයෙනි. උඩරට ගිවිසුමේ කිසිම තැනක ඔවුන් ගැන සඳහනක් නොතිබුණී. නමුත් මුහුදුබඩ පළාත්වල සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුව වර්ෂ 1806 දී ඔවුන් වෙනුවෙන් මහමදාගම්කාරයන් ගේ විවාහ හා දේපළ නීතිය යනුවෙන් ගැසට්ටුවක් පළ කර තිබේ. උඩරට පළාත්වල නොතිබූ මුහුදුබඩ පළාත්වල පැනවෙන වෙනම නීතියකට මෙලෙස අවතීරණ වූයේ ඇයිද යන්න සලකා බැලිය යුතුය. මෙහි ආරම්භය වූයේ ලන්දේසීන් සමග 1766 දී සිංහල රදළවරු විසින් අත්සන් කරන ගිවිසුමයි. රට පුරා ඉඩම්වලින් ගව්වක ප‍්‍රමාණයක් අත් හැර ලන්දේසී කොම්පඤ්ඤයට පරිහරණයට දීමට එම ගිවිසුමෙන් එකඟ වූයේ කීර්ති ශ‍්‍රී රාජසිංහට සහ රදළවරුන්ට එරෙහිව සිංහල කුමාරයකු පහතරට සිට ගැසූ කැරැල්ලක් හේතුවෙනි. කෙසේ වෙතත් මේ පවරා දීම නිසා ලන්දේසීන් සිය බලතල යටතේ මුහුදු බඩ පළාත්වල සිටි වැසියන්ට නීති පැනවීමට මෙන්ම ඉඩම් ප‍්‍රදානය කිරීමට පටන් ගත්හ. වෙසෙසින්ම මේ අවදියේ බේරුවල ප‍්‍රදේශයේ වරාය ආශ‍්‍රිතව සිටි සංක‍්‍රමණික මහමදාගම්කාරයන්ට ලන්දේසි තෝම්බු මගින් රාජකාරි ඉඩම් ප‍්‍රදානයක් දක්නට ලැබිණ. වර්ෂ 1799 දී සිය බලකොටු සියල්ල ලන්දේසීන් විසින් ඉංග‍්‍රීසීන්ට පැවරූ අවස්ථාවේ දී 1766 සිට අනුගමනය කරන ලද පරිපාලන ක‍්‍රමවේද සියල්ල එලෙසම අනුගමනයට අදාළ ප‍්‍රකාශනයක් ඉංග‍්‍රීසීන් නිකුත් කළහ. වර්ෂ 1800 න් පසු ඇඳි සිතියම් සියල්ල නිර්මාණය වන්නේ මේ බෙදීම් ඔස්සේය. විශේෂයෙන්ම ඉංග‍්‍රීසීන් ලංකාව පළාත් පහකට බෙදා දක්වන කල්හි මේ බෙදීම ප‍්‍රයෝජනයට ගත්හ. පෙර සඳහන් කළ 1806 මහමදාගම් කාරයන්ගේ නීති එන්නේ මේ පසුබිම තුළය. මෙය 1852 අංක 08, 1881 අංක 02, 1888 අංක 20, 1910 අංක 20, 1912 අංක 09, 1918 අංක 05, 1922 අංක 09 සහ වශයෙන් මේ නීති සංශෝධනය වී ඇත. අනතුරුව 1931 අංක 10 මුස්ලිම් වකුෆ් පනත (1962 අංක 21 එහිම සංශෝධනයි) ආදී වශයෙන් මුස්ලිම් නීති සංග‍්‍රහ වන්නේ ලංකාවට නිදහස ලැබීම හා ස්වාධීන රාජ්‍ය පාලනයක් යන රීතිය ද සැලකිල්ලට නොගනිමිනි. 1926 දී රැජිනට එරෙහිව මිස්කින් උම්මා නම් නඩුවේ (එන්.එල්. ආර්.330) දී මුස්ලිම් නීතිවලට ඉඩ ලබා දිය යුතු යැයි බර්ට‍්‍රම් සහ ජයවර්ධන නම් විනිසුරුවරුන් දෙදෙන තීන්දුවක් දී ඇත. මේ තත්ත්වය මත 1951 දී ක්වාසි අධිකරණ පිහිටුවීම පිණිස පනතක් මගින් නීති සංග‍්‍රහ කර ඇත.
සිංහල රජ දවස ලංකාවේ වෙනම මුස්ලිම් නීති හෝ දෙමළ නීති සංග‍්‍රහ නොකෙරුණි. රටේ වූයේ එකම රාජ නීතියයි. මහමදාගම්කාරයන් සහ දෙමළ වානිජයන් විටින් විට ලංකාවට පැමිණි අතර රටේ නීති පිළිගන්නා අයට රජු රාජකාරියක් භාර දුන්හ. ඒ සිංහල සංස්කෘතියට අනුගතව වැඩ කිරීමේ කොන්දේසි මතයි. හුළං බද්ද මඩිගේ රාජකාරිය ඔවුන්ට පැවරූ එක් සේවාවක් විය.(තවලම් මගින් පුවක් ගෙන යෑම, ලූණු සැපයීම) මේ සේවාව සඳහා සිංහලයන් උදෙසා කරන ලෙසම රාජකාරියට කුඩා ඉඩම් පවරා දුන්හ. මහනුවර අස්ගිරිය ගෙඩිගේ විහාරය සතුව තිබෙන ඉඩකඩම්වල තෙල් සැපයීමේ සේවාව වර්ෂ 1824 දී මුස්ලිම් පිරිසකට භාර දී තිබෙන්නේ රාජකාරියට යටත්වයි. අද ගෙඩිගේට නුදුරුව මීනක්කම් පල්ලිය අටවා තිබෙන්නේ මෙලෙස රාජකාරි නිසා හිමි වූ ඉඩම්වලයි. සෙනරත් රජුගේ කාලයේ දී තමන්ට එරෙහිව පැමිණි දේශීය බලවේග පරාජයට පත් කිරීම අරභයා මුස්ලිම් පිරිස් යොදා ගෙන ඇත. ඒ නැගෙනහිර පළාතේ පදිංචි කරවීමෙනි. ඔවුන්ට ද පාරම්පරිකව සිංහල සංස්කෘතියට අනුගත වන ලෙසට නියෝග ලැබුණ ද පසුව මෙම ප‍්‍රදේශය සිංහල රාජ්‍ය පාලනයෙන් ගිලිහී යෑම නිසා මුස්ලිම් ජනතාව සිංහලයන් ගෙන් වෙන් වීමට පටන් ගත්හ. 1818 ජාතික විමුක්ති අරගලයෙන් පසු ඉංග‍්‍රීසීන් විසින් නිකුත් කරන ලද රාජඥාව අනුව ප‍්‍රථමවරට මරක්කලයන් ගැන සඳහනක් ඇතුළත් වී ඇත. එහිදී ඔවුන් විදේශිකයන් ලෙසට වර්ග කිරීම ද විශේෂයකි.
හැටේ දශකයේ සිට වර්ෂ 2000 දක්වා කාලය ගතහොත් පාර්ලිමේන්තුව විසින් මුස්ලිම් ජනතාවට අවශ්‍ය නීති රීති විශාල ප‍්‍රමාණයක් සම්මත කොට දී ඇත. 1990 දී සහාබ්දීන් නමැති අයගේ වාර්තාවක් අනුව හිටපු අධිකරණ ඇමැති ආතාවුද සෙනෙවිරත්න විසින් කති උසාවි පනස් අටක් පිහිටුවීමට රජයේ මුදල් මිලියන තිස් අටක් වැය කර ඇත. මේ නිසා අප තේරුම් ගත යුත්තේ ඉස්ලාම් ආගම මේ රටේ ප‍්‍රමුඛස්ථානයට පත් වූ තරමේ පිළිගැන්මකට ලක්ව ඇති ආකාරයයි. නමුත් සිංහල නීති කිසිවක් නැවත භාවිතයට ගැනීමට ලංකාවේ පාර්ලිමේන්තුව කිසි විටක උත්සාහ ගෙන නොමැත. පැරණි සෙල් ලිපිවල පවතින නීති සන්නස්වල පවතින නීති විශාල ප‍්‍රමාණයක් ගැන මූලාශ‍්‍රවලින් හෙළි වන බව ඉතිහාසඥයන් පවසති. විශේෂයෙන් මාඝාතය සඳහා පැනවූ නීති. විහාර පරිපාලනයට අදාළ නීති, ශාසනික විනය නීති ගැන පැනවූ රීති සංග‍්‍රහ කර ගැනීමට පවා පාලකයන්ට නොහැකි වී තිබේ. 1931 බෞද්ධ විහාර ගම් දේවාල ගම් පනත ඇති කරන ලද්දේ ශාසනික දියුණුව අපේක්ෂාවෙන් නොවේ. බෞද්ධයන් අතර බේද ඇති කොට ශාසනික පරිහානිය සිදු කෙරෙන පරිද්දෙනි. දියවඩන නිලමේ පත් කිරීමට දිසාපතිවරුන්ගේ ඡුන්දය යොදා ගැනීම එක් ක‍්‍රමයකි. ඒවා නිසා අල්ලසට දූෂණයට ඉඩ කඩ සලසා දී තිබේ.
පසුගිය අප‍්‍රියෙල් 21 දින පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනයාගේ මේ හිතුවක්කාර නීති ගැන සමාජයේ විශාල කතාබහක් ඇති විය. විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ වසා අඳින බුර්කාව මුස්ලිම් විවාහ නීතිය සහ කාති උසාවිවල නඩු තීන්දු ගැන බලවත් විරෝධයක් එල්ල විය. මුස්ලිම් කාන්තාවන් කීප දෙනෙකු අතින්ම මෙම විරෝධය එල්ල වීම විශේෂයෙකි. ආණ්ඩුව තේරීම් කාරක සභා පත් කොට දින සති ගණන කල් මරමින් සැබෑ ප‍්‍රශ්නය අද වෙන විට යටපත් කොට ඇත. වෛද්‍ය ෂාෆිගේ සිද්ධියට එදිරිව ඉදිරිපත් වූ වෛද්‍යවරුන් සහ නීතිඥයන්ට බලපෑම් එල්ල වූයේ ෂාෆිගෙන් පමණක් නොවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් ද වරින් වර වෛද්‍යවරුන් අමතමින් සාක්ෂි දීම නැවැත්වීමට තර්ජනය කළ අවස්ථා තිබේ. මේ අතර මුස්ලිම් විවාහ හා දේපළ නීතිය සංශෝධනය කිරීමට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයෙන් ඉදිරිපත් වූ යෝජනාවල තිබෙන්නේ විවාහ විය යුතු වයස 18 ක් කිරීම පමණකි. එය ද කාතිවරයාගේ අභිමතය පරිදි වෙනස් කළ හැකිය.
මේ අතර මද්‍රසා පාසල් නීතිගත කරලීමට ද ආණ්ඩුව ඉතා සූක්ෂමව කැස කවමින් තිබේ. මේ මද්‍රසා පාසල් 1600 ක්ට වඩා රටපුරා ලියාපදිංචි කර ඇත්තේ මුස්ලිම් ආගමික අමාත්‍යාංශය මගිනි. දැන් මේ පාසල් නීතිගත කරලීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත්ව තිබෙන අතර ඊට ඇමැතිවරුන්ගේ අදහස් විමසා තිබේ. සිංහලයන්ගේ ප‍්‍රශ්න කෙසේ වෙතත් මෙවැනි බරපතල නීති රීති ගැන අබමල් රේණුවක වත් අවබෝධයක් නැති ඇමැතිවරු මේ මද්‍රසාව නීති ගත කොට අධ්‍යාපන අමාත්‍යාංශයට එක් කරගත යුතු බවට යෝජනා කර ඇත. ජනාධිපතිවරයා පවා මේ ගැන බරපතලව සිතා නැත. ඔහු ද කල්පනා කරනවා ඇත්තේ ඒවා රජය හරහා අධීක්ෂණය කළහොත් ප‍්‍රශ්නය අහවර වනවා කියාය. නමුත් මද්‍රසා හරහා ඉගැන්වෙන ඉස්ලාම් මූලධර්මවාදය ෂරියා නීතිය ලංකාවට අනවශ්‍ය අරාබි භාෂාව වැනි දේ මගින් සිදු වන්නේ ලංකාවේ සංස්කෘතියෙන් වෙන් වූ පිරිසක් බිහි වීමයි. එසේම ඉස්ලාමීය විද්‍යාව යනුවෙන් තවත් කුණු හරුපයක් ඉගැන්වේ. (ලෝකය කැරකෙන බව උගන්වා තිබෙන්නේ කුරාණයේ බව මේ විද්‍යාවේ උගැන්වේ.) මේ නිසා මුස්ලිම් තරුණ පරම්පරාව සිංහලයන් ගෙන් වියුක්ත මූලධර්මවාදී පිරිසක් වීමට තිබෙන ඉඩකඩ විශාලය.
යම් කිසි පනතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නම් ඒ අමාත්‍යංශයේ විෂය සීමාව ඉක්මවා නොයා යුතු බවට නීතියක් තිබේ. එසේ නොමැති අවස්ථාවකදී එම විෂය පථය හිමි අදාළ අමාත්‍යංශය සමග එක්කාසු වී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ යුතුය. මෙහිදී එලෙස සිදු වී නැත. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම ද සොරගෙන හිතුවක්කාරයට කටයුතු කර තිබෙන්නේ වත්මන් අගමැතිවරයා මුස්ලිම් ආගමට ප‍්‍රමුඛතාවය පිරිනමන නිසා විය හැකිය. මූලධර්මවාදී වැඩ කොට ත‍්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන හිස්බුල්ලා වැන්නවුන් සිය මධ්‍යම කාරක සභාවට එක් කරගන්නා ජනාධිපතිවරයාට ද බෞද්ධයන්ට වඩා මුස්ලිම් ප‍්‍රජාව වැදගත් වී තිබේ. මද්‍රසා පාසල්වල දිනපතා කෙරෙන ඉගැන්වීම් නිසා රටේ තිබෙන පොදු අධ්‍යාපන ක‍්‍රමය ඒ හා ගැටෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම නිසා කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් කළ යුත්තේ මේ පනත ගෙන ඒමට විරුද්ධ වීමයි.
Divaina