Colombo Today Local News

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

අමාත්‍ය ධුරවලින් පසුගියදා ඉවත් වූ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරු හතරදෙනෙක් යළි එම අමාත්‍යාංශවලම ඊයේ (29 වැනිදා) දිවුරුම් දුන්හ.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේදී ඊයේ එසේ දිවුරුම් දුන්නේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු, රාජ්‍ය අමාත්‍යවරයකු සහ නියෝජ්‍ය ඇමැතිවරයෙකි. 

කර්මාන්ත හා වානිජ කටයුතු, දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන කැබිනට් ඇමැති ලෙස රිෂාඞ් බදියුදීන් මහතා ද, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති ලෙස රවුෆ් හකීම් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යාංශවල දිවුරුම් දුන්හ.

කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ලෙස අමීර් අලි මහතා ද, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස අබ්දුල්ලා මහරුෆ් මහතා ද දිවුරුම් දුන් අනෙක් ඇමැතිවරු වෙති.

පාස්කු ප්‍රහාරයට රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා සම්බන්ධ යැයි ද ඒ නිසා ඔහු ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් විවාදයට ගැනීමට ද නියමිතව තිබිණි.

පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්‍ෂණවලට සහය ලබා දීමක් ලෙස රිෂාඞ් ඇමැතිවරයා සහ පාර්ලිමේන්තුවේ ඇමැති ධුර දැරූ සියලු මුස්ලිම් ඇමැතිවරු ජුනි මස 03 වැනිදා එම අමාත්‍යාංශ ධුරවලින් ඉවත් වූහ.

එසේ ධුර වලින් ඉවත් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 9 දෙනාගෙන් දෙදෙනෙක් වූ කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන අය පසුගිය ජුනි 23 වැනිදා යළි තමන් දැරූ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ.

ඉතිරි මුස්ලිම් ඇමැතිවරුන් 7 දෙනාට ද යළි ඔවුන් දැරූ අමාත්‍යාංශ ධුර ලබා දෙන ලෙසට නිර්දේශ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පසුගිය 24 වැනිදා දැනුම් දුන් බව වාර්තා විය.

එම මන්ත්‍රීවරුන් පෙරේදා (28 වැනිදා) අගමැතිවරයා හමුවී ඇමැති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව ඊයේ ඔවුන් නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ කළ සාකච්ඡා අවසානයේ යළි ඇමැති ධුර භාර ගැනීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරයාට අයත් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී එම ඇමැතිවරුන් හතරදෙනා යළි ඇමැති ධුර භාර ගැනීම ඊයේ රාත්‍රියේදී සිදු කෙරිණි.

කෙසේ වෙතත් අමාත්‍ය ධුර වලින් ඉවත් වූ තවත් ඇමැතිවරුන් තුන්දෙනකු මෙතෙක් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට කටයුතු කර නැත.

එම ඇමැතිවරුන් තිදෙනා වන්නේ ෆයිසාල් කාසිම්, අලිසහීර් මව්ලානා සහ එම්. එච්. එම්. ෆාරිස් යන අය වෙති.

Related posts

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

Admin

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

colombotoday

මොහාන් ලාල් ග්‍රේරු නව රජයට එක්වේ.

colombotoday

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday