භික්ෂූන් වහන්සේ යන්නෙහි අර්ථ නිරූපණයද ඇතුළත් විහාර, දේවාල සහ නිලමේ තනතුරු සම්බන්ධයෙන් භික්ෂූන්ට හා ගිහියන්ට අදාළව විහාර දේවාලගම් පනත සංශෝධනය කරමින් පනත් කෙටුම්පත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) කෙටුම්පතට අනුව “භික්ෂූන් වහන්සේ” යන්න අර්ථ නිරූපණය කර ඇත්තේ පිළිගත් ථෙරවාදී සම්ප්‍රදායානුගත උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක් හෝ සාමණේරයන් වහන්සේ නමක් ලෙසය.
පනත අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තිබෙන සෑම විහාරස්ථානයක්ම, දේවාලයක්ම සහ කෝවිලක්ම බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. තවද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දරන තැනැත්තාට එම ධුරය දරන කාලය අතරතුර වෙනත් දේවාලයක බස්නායක නිලමේ තනතුරක් දැරිය නොහැක.
තවද යම් දේවාලයක බස්නායක නිලමේ තනතුරක් දරන අයෙකු එම තනතුර දරන කාලය තුළ රටේ වෙනත් දේවාලයක බස්නායක නිලමේ තනතුරක් නොදැරිය යුතුය.
දියවඩන නිලමේ ධුර කාලය වසර පහකට සීමා කර ඇති අතර කිසිදු තැනැත්තෙකුට වාර තුනකට වඩා වැඩියෙන් දියවඩන නිලමේ තනතුරට තේරී පත්වීමට සුදුසුකම් නොලබති. පනත් කෙටුම්පත ක්‍රියාත්මක වන විට දියවඩන නිලමේ තනතුර දරන්නාගේ ධුර කාලය ඔහු විසින් දෙවන වරට එම ධුරයේ කටයුතු භාරගත් දින සිට අවුරුදු දහයක කාලය සඳහා පමණක් බල පැවැත්වේ.
දියවඩන නිලමේවරයකු සිය තනතුරේ බලතල හා කාර්යයන් ඉටු කිරීම පැහැර හරින්නේ නම් හෝ බුද්ධ ශාසනයට හෝ දළදා මාලිගාවට අපකීර්තියක් ගෙන දෙන ලෙස කටයුතු කරන්නේ නම් ඔහු පත් කිරීමට ඡන්දය දුන් සාමාජිකයන් බහුතරයකගේ කැමැත්ත මත පරීක්ෂණයක් පවත්වා ඔහු ධුරයෙන් ඉවත් කිරීමට හැකියාව පවතී. භික්ෂූන් වහන්සේ නමක් සිය පෞද්ගලික භාවිතය සඳහා අත්පත් කර ගත් සියලු චංචල හා නිශ්චල දේපොළ (පරම්පරාවෙන් අත්පත් කර ගත් දේපොළ හැර) එම භික්ෂූන් වහන්සේ උපැවිදි වන්නේ නම් උන්වහන්සේ වාසය කළ සිද්ධස්ථානයේ දේපළ ලෙස සලකනු ලැබේ. තවද විහාර දේවාලගම් පනත යටතේ වරදකරුවන් වන තැනැත්තන්ට මින් පෙර පනවා තිබූ දඩ මුදල් ප්‍රමාණයද මෙයින් වැඩි කර තිබේ. ඉදිරියේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීමටද නියමිතය.