ArticlesColombo Today Local NewsHot News

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

wiml

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසැක ලෙසම දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ පරිපූර්ණ වෙනම පාලනය ස්ථාපිතකර දීමේ ව්‍යවස්ථාව බවට පත්වන බවත් එතෙක් බටහිර රටවල් සහ දෙමළ ජාතික සන්ධානය බලපෑම් සහගතව ඒ දෙස බලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

කෙළඹ 07, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණායතන ශ්‍රවණාගාරයේදී පැවැති විද්වත් කථිකාවතක ආරාධිත දෙසුම පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

අපි අද ඉන්නෙ අපේ මාතෘභූමියේ මෙතෙක් ආ ගමන් මඟේ අවසානයේ ආරම්භය ඉදිරිපිට කියලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවෙයි. සත්‍ය එය නම් එය පැහැදිලි කිරීම විනා වෙනත් විකල්පයක් අප ඉදිරිපිට නැහැ. අපේ රටේ දේශපාලන කරළිය තුළ මාතෘකා සිය දහස් ගණනක් මේ වන විට කතා වෙනවා. වැට් බදු වැඩිකිරීම, අග්‍රාමාත්‍යවරයාට මිලදී ගත්තු ප්‍රභූ ආරක්‍ෂක රථ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අතිරේකව ලබාදී ඇති වාහන, මහ බැංකු බැඳුම්කර වංචාව, කෝටි ගණන් වියදම් කරලා ඇමතිවරුන්ට ගෙන්වන නිල වාහන තොගය, ඇතැම් අමාත්‍යාංශවල සිදුවෙමින් පවතින වංචා හා දුෂණ, මෛත්‍රීපාල ජනාධිපතිවරයා හෙලිකොප්ටර එකක් වෙනුවට දෙකක් ගමන්වලට යොදා ගැනීම, ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීම හා එහි සුඛෝපභෝගී බංකරයක් තිබීම යනාදි මාතෘකා මේ අතර තිබෙනවා. මෙවැනි මාතෘකා තොගයක් එකවර කතා වෙනවා. නමුත් මේ මාතෘකා යටින් දිවෙන ක්‍රියාදාමය තේරුම් ගැනීමේ හැකියාවක් නොමැතිව සමාජය විපරීතව බලා ඉන්නවා. ඒ සමාජයේ කොටස්කරුවන් හැටියට විද්වතුන් ද වෘත්තිකයන් ද දේශපාලන ක්‍රියාකාරීන් ද භේදයකින් තොරව මේ විපරීත වාතාවරණයට මුහුණ පා සිටිනවා.

දිරවා ගන්න බැරි මාතෘකා තොගයක්

දැනගත් තොරතුරු ටිකත් දැනගැනීමට වාරණ පැනවෙන පනතක් තොරතුරු දැනගැනීමේ පනත නමින් පසුගියදා සම්මත වුණා. ඊළඟට අතුරුදහන්වූවන් සෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම පිළිබඳ ගැසට් පත්‍රයක් පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීමට නියමිතයි. පෞද්ගලික දේපළ පැය 24ක් ඇතුළත අත්පත්කර ගෙන වාණිජකරණය කරන්නේ කෙසේද? යන්න ඇතුළත් මෙගාපොලිස් පනතක් සම්මතකර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා.

ඒ වගේම යුද අපරාධ අධිකරණය ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ සමඟම තවත් මහා භයානක ක්‍රියාදාමයක් දිගේලි කිරීමට නියමිතයි. මේ මාතෘකා තොගය ජීර්ණයකර ගැනීමට නොහැකි තත්වයකට අපේ සමාජය අද පත්වෙලා තිබෙනවා. අද අපේ සමාජය තුළ සිදු නොවන දෙය තමයි මෙම මාතෘකා සියල්ල එකතැනකට ගෙන තේරුම් නොගැනීම එහෙම නැතිනම් තේරුම්කර නොදීම

අපේ සමාජය අද ආර්ථිකමය වශයෙන් බරපතළ කුණාටුවකට හසුව තිබෙනවා. රජයේ සේවකයන්ට රපියල් 10,000ක දීමනාවක් ලබා දීමට ගනු ලැබූ තීන්දුවත් සමඟ රාජ්‍ය වැයබර 33%කින් ඉහළ ගියා. ඒ 33%ක අතිරේක වැයබර සොයන්න ආණ්ඩුව බදුපිට බදු ගහලා දන්න සෙල්ලම් ඔක්කොම දානවා. රෝහලකින් ලබන සේවාවෙන්, පේරාදෙණිය මල්වත්තට ගියානම් තරුණ ජෝඩුවක් ඒ ජෝඩුවෙන්, රජයේ ආයතනයකින් ගත්තු ණයක් ගෙවා ගන්න බැරිව දඩයක් ගැහුවානම් ඒ දඩයෙන්, ලොන්ඩි්‍රයකින් ඇඳුම් ටිකක් හෝදලා, මැදගත්තානම් ඒකෙන් ආදී වශයෙන් සමාජයේ සෑම ආර්ථික සහ සේවාමය ගනුදෙනුවකදීම වැට් බද්ද වදින තත්වයක් ඇති කරලා තිබෙනවා. ඒ හින්දා වෙන්න ඇති මේ වන විට නගරවල ව්‍යාපාරිකයෝ තමන් විසින්ම තීරණය කරලා කඩසාප්පු වහන තත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. දැන් ආණ්ඩුව පෙන්වන්න හදනවා, තුණ්ඩු දීලයි කඩ වහන්නේ කියලා. නමුත් අද අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සමඟ බොහොම කුළුපගවයි ඉන්නේ.

අපූරු රාජ්‍ය වියදම් කප්පාදුව

මේ බදු පැනවීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුවයි. අද විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 7.4 සිට ඩොලර් බිලියන 05ටත් වඩා අඩුවෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා අපි මේ අසනීපයට ප්‍රතිකාර කරන්න සූදානම්. ඒත් ඊට කලින් ශ්‍රී ලංකාව විසින් කළ යුතු ප්‍රතිකර්ම කිහිපයක් තිබෙනවා කියලා. ශ්‍රී ලංකාව සිදුකළ යුතු ප්‍රතිකර්ම ලෙස ඔවුන් නිර්දේශ කරන්නේ රුපියල පා කිරීම, ඉපයිය යුතු අතිරේක ආදායමින් සැලකිය යුතු කොටසක් මහජනයාට බදු ගසා ලබා ගැනීම, රාජ්‍ය ආයතන විකුණා දැමීම හා රාජ්‍ය වියදම් කප්පාදු කිරීම යන ඒවායි. ඇමතිවරුන්ට නව වාහන ලබාදීම හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අතිරේක වාහනයක් ලබාදීම යන ඒවාට මුල්‍ය අරමුදල එපා කියන්නේ නැහැ. ඒක රාජ්‍ය වියදම් වැඩිවීමක් ලෙස ඔවුන් දකින්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අතිරේක වාහනයක් ඕනෙ නම් පක්‍ෂ නායකයාගේ නිර්දේශය අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිර්දේශය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් හැර අනෙක් මන්ත්‍රීවරුන්ට ලැබෙනවා. අතිරේක වාහනය ඕනෑ නම් ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් යන්න ඕනෙ ඒ පැත්තට. මේක තනිකරම අල්ලසක්.

මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් අපේ ආර්ථිකයට සිදු වන සුගතිය කුමක්ද? ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩුවීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීම යනාදී අහිතකර ප්‍රතිඵල රැසක් මේ නිර්දේශ මගින් සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන්නේ සංකල්පීය මුදලක්. එය විදේශ වත්කම් සංචිතය ගණන් හදද්දී වත්කමක් ලෙස එකතු කරන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන මුදල් විදේශ වත්කම් සංචිතය ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා මේ ආණ්ඩුව ඉන්දියාවෙන් පසුගිය වසරේ ලබාගත් ණය මුදල පියවීමටවත් ප්‍රමාණවත් නැහැ. විදේශ වත්කම් සංචිතය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොටස් තුනකට හෝ හතරකට වාරික වශයෙන් දෙන මුදල වෙනුවෙන් අතිවිශාල බදු බරක් ජනතාව මත පැටවීම, එමගින් ව්‍යාපාරික ස්ථාන බැඳ වැටීම, රුපියල අවප්‍රමාණය වීම මගින් සියලු සේවා හා භාණ්ඩ මිල ඉහළ යාම යන අහිතකර ප්‍රතිඵල ඇති වෙනවා. මේ සියල්ලෙන් සිදුවෙන්නේ දිනෙන් දින රටේ ආර්ථිකය බිඳ වැටීමයි.

බටහිර උවමනාව

ඒ අනුව පැහැදිලියි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන බෙහෙත බීපුවාම විදේශ වත්කම් සංචිතය ස්ථාවර වෙන්නෙත් නැහැ. රටේ ආර්ථිකය මේ තියෙන තත්වයෙන් ඉහළට යන්නෙත් නැහැ කියලා. එමගින් ලැබෙන එකම දෙය තමයි මේ පාලනතන්ත්‍රයට රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා කිසියම් මුදලක් ලැබීම. මේ ආර්ථික උපායමාර්ගය මගින් සිදුවෙන්නේ මේ රටේ ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍රවීම පමණයි. ඒක තමයි බටහිරට ඕනෙ.

එදා බටහිර රටවල් උත්සාහ කළේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යොදාගෙන ශ්‍රී ලංකා රාජ්‍යය බෙලහීන කිරීමට, අසමත් රාජ්‍යයක් බවට පත් කිරීමට හා යුද්ධ කිරීමට නොව පාන් කියා ගැනීමටවත් බැරි රාජ්‍යයක් බවට පත් කිරීමටයි. අවසානයේ ශ්‍රී ලංකා රාජ්‍යය දෙකඩකර සියලු අන්තවාදයන් විසින් කැබලිකරණය කරන ලද රාජ්‍යයක් බවට පත් කිරීමටයි. එමගින් මේ රට එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ උපායමාර්ගික තිප්පොළක් බවට පත්වීමට නියමිතව තිබුණා. ඒ උත්සාහය මිලිටරිමය ලෙස පරාජයට පත් කෙරුණා. අද එල්.ටී.ටී.ඊය ආයුධ සන්නද්ධ ත්‍රස්ත ව්‍යාපාරයක් ලෙසට භෞතිකව නොපැවතියත් ඒ වැඬේම තමයි යළිත් බටහිර බලවතුන් ශ්‍රී ලංකාව තුළ සිදු කරන්න හදන්නේ. රාජ්‍යය අරාජික කොට අස්ථාවර කිරීම, අසමත් රාජ්‍යයක් බවට පත් කිරීම හා අවසානයේ කැබලිකොට එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල උපායමාර්ගික තිප්පොළ බවට පත් කිරීම කියන වැඬේම තමයි කරන්න හදන්නේ.

අද රාජ්‍යය දෙපලු වන මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය

එල්ටීටීඊය තියාගෙන ඒ වැඬේ කරනකොට ඒක සජීවීව පෙනුණා. මලකඳන් ගොඩ ගැහෙනවා, එල්ටීටීඊය වෙනුවෙන් බටහිර රටවල් පඬුරු පාක්කුඩම් පුදනවා, සෝල්හයිම්ලා එනවා. සටන් විරාම ගිවිසුම් ගහනවා, සුනාමි සහන මණ්ඩල දෙන්න යනවා, කොටි පොලිසි, උසාවි හැදෙනවා ආදී ජවනිකා එදා සිදු වන බව ජනතාව දැක්කා. එතකොට අපට භෞතිකව පෙනුණා රාජ්‍යය දෙපලු වෙමින් තිබේ කියලා. නමුත් අද මේ ක්‍රියාවලිය සිදු වන්නේ ඉතාමත් සියුම්ව. උවමනාව ඒකයි. නමුත් සිදුවන ආකාරය වෙනස්.

රට ආර්ථික වශයෙන් අස්ථාවර කිරීම

අද මේ ක්‍රියාවලිය සිදු වන ආකාරය කුමක්ද? දවසින් දවස අපේ රටේ ආර්ථිකය බෙලහීන කරමින් තිබෙනවා. ඕනෑම රටක ආර්ථිකය බෙලහීන කළාම ඒ රට පාන් කියා ගන්නවත් බැරි තත්වයකට ඇද වැටෙනවා. නූතන යුගයේ යම් රාජ්‍යයක් අත්පත්කර ගැනීමට අවශ්‍ය නම් ඒ රාජ්‍යයේ ආර්ථිකමය විභවයන් සම්පූර්ණයෙන්ම දුර්වල කොට දැමීම අත්‍යවශ්‍ය කාරණයක්. වික්‍රමසිංහ මහත්තයා වොක්ස්වැගන් සිහින මැව්වාට අද ප්‍රායෝගිකව සිදු වන දේ තමයි කොටස් වෙළඳපොළින් පමණක් විදේශ ආයෝජකයන් රුපියල් බිලියන 05කට අධික මුදලක් යළි රැගෙන යාම.

අද බටහිර බලවතුන් සිදු කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ පාලනය සමඟ එකතු වෙලා රටේ ආර්ථිකයේ කොඳු නාරටිය කඩා දැමීම. මේ පාලනයට මෛත්‍රීපාල සිරිසේන නම ඈදුවාට වැඩක් නැහැ. සිදුවන දේවල් එතුමා දැනගන්නෙත් පත්තරෙන්. එදා මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ජනාධිපති ජනාධිපති ලෙසත් අගමැති අගමැති ලෙසත් කටයුතු කළා. අද අගමැති -ජනාධිපති ලෙසත් ජනාධිපති අගමැති ලෙසත් කටයුතු කරනවා. සරලව කිව්වොත් එදා මහින්ද රාජපක්‍ෂ වගේ රනිල් වික්‍රමසිංහත්, දි.මූ. ජයරත්න වගේ මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒක ප්‍රශ්නයක් නොවෙයි. මේ ලැබුණු දේ සැපයි කියලා එතමා නිහඬව ඉන්නවා.

කොත්තු රොටී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

රාජ්‍යය ආර්ථික වශයෙන් අස්ථාවරවීම අද ඉතා ශීඝ්‍රයෙන් සිදු වෙනවා. එහෙමනම් ඊළඟට සිදු විය යුත්තේ කුමක්ද? රාජ්‍යය දේශපාලනමය වශයෙන් අස්ථාවර කිරීම. රාජ්‍යය දේශපාලනමය වශයෙන් අස්ථාවර කරන්නේ කෙසේද? දැන් කොත්තු රොටියක් පිළියෙල වෙනවා වගේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළියෙල වෙනවා. හැම උප කමිටුවකටම කියා තිබෙනවා, සති 10යි දෙන්නේ. ඊට කලින් තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. දැන් ඒ සති 10න් 04ක් ගෙවිලා ඉවරයි. තව සති 06යි තියෙන්නේ. කඩිමුඩියේ ඒ වැඬේ කෙරෙනවා.

ලාල් විජේනායක කමිටුවේ අපූරු නිර්දේශ

ඒ අතරේ රට වටේ රවුම් ගහලා ලාල් විජේනායක කමිටුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් විය යුතු නිර්දේශ කියලා වාර්තාවකුත් නිකුත් කරලා තිබෙනවා. ඒ නිර්දේශ අතරේ තිබෙනවා සමලිංගික සේවනය නීත්‍යනුකූල කළ යුතුයි කියන නිර්දේශයත්. ඊළඟට එහි තිබෙනවා බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය ඉවත්කළ යුතුයි කියන නිර්දේශය. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි කියලයි කියන්නේ. බුද්ධාගමට දැනට පවතින ස්ථානය ලැබී තිබෙන්නේ ඓතිහාසිකව. එහෙම නැතිව කවුරුන් හෝ රිදී බන්දේසියක තබා දුන් දෙයක් නොවෙයි. ඒ හින්දා තමයි 1978 ජේ.ආර්. ජයවර්ධන හදපු ව්‍යවස්ථාවටත් ඒ කරුණ ඇතුළත් වුණේ.

අලුත් ජාතික ගීතයක් හදලා භාෂා දෙකකින් ගායනා කිරීම, ජාතික කොඩිය අලුතෙන් නිර්මාණය කිරීම, ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයකු වනවා වෙනුවට මහ ඇමතිවරයාගේ නියෝජිතයකු බවට පත් කිරීම හෙවත් පළාත් සභාව රාජ්‍යයේ මුදුනත් සමඟ තිබෙන සම්බන්ධතාව ඉවත් කිරීම වැනි නිර්දේශ එහි ඇතුළත්. අද එවැනි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් සමාජගත කරලා තිබෙනවා.

අතිශය භයානක නව ව්‍යවස්ථාවක්

තව සති 06කින් පමණ ඉහත කී උප කමිටුවල වාර්තා අගමැති ප්‍රමුඛ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මෙහෙයුම් කමිටුව තිබෙන්නේ නමට පමණයි. අවසානයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හදනු ලබන්නේ අගමැතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තෝරා ගනු ලැබූ නිලධාරීන් පිරිසක්. මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමති කටු සූප්පු කරන අයගේ සහාය අවශ්‍ය වන නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සුවපහසු ලෙස ඉන්න තැනක් මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත තුළ තිබේවි. ඒ වගේම මේකට සුජාතභාවය ඇති කරන්න කේවල ඡන්ද ක්‍රමය පිළිබඳ වගන්තිත් ඇතුළත් වේවි. මේ විදියට සරුව පිත්තල මායාවක් මවලා අතිශය භයානක ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාදාමයක් තමයි මේ සිදුවෙමින් පවතින්නේ. ඇත්තටම ගත්තොත් මේ නව ව්‍යවස්ථාව හදලා ඉවරයි. ඔය කමිටු ශාලාවල වෙන්නේ මේ නව ව්‍යවස්ථාවට සුජාතභාවය ලබාදීමේ මෙහෙයුමක් පමණයි.
ඊළම හදලාම දෙනවා

මේ ව්‍යවස්ථාව කවරාකාරයේ එකක්ද? දෙමළ ජාතික සන්ධානය කෙළ හලමින් බලා ඉන්නේ මේ නව ව්‍යවස්ථාව රැගෙන එනතුරුයි. බටහිර රටවල් බලපෑම් සහගතව බලා සිටින්නේ මේ ව්‍යවස්ථාව සම්මත වනතුරුයි. මෙම ව්‍යවස්ථාව නිසැක ලෙසම යුද්ධ කරලා දෙමළ බෙදුම්වාදයට දිනා ගන්න බැරි වුණු පරිපූර්ණ වෙනම පාලනය ස්ථාපිතකර ගැනීමේ ව්‍යවස්ථාව බවට පත් වෙනවා. දෙමළ ඊළම හදා ගන්න ඕනෑනම් මේ ව්‍යවස්ථාවෙන් 80%ක් එක හදලා දෙනවා. ඉතිරි 20% භාවිතාවෙන් ලබා ගන්නවා. ඒ විතරක් නොවෙයි, වෙනත් ජාතිවාදී අන්තවාදයන් කුළුගැන්වෙනසුලු ප්‍රතිපාදන මේ නව ව්‍යවස්ථාවට ඇතුළත් වෙනවා. ලාල් විජේනායක කමිටු වාර්තාවේ තිබෙනවා. උත්තරීතර වන්නේ ව්‍යවස්ථාවයි කියලා. ඒ අනුව උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි ආයතන වන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය නොවෙයි ව්‍යවස්ථාවයි. මේ උත්තරීතර ව්‍යවස්ථාව මේ රාජ්‍යය කැබැලිකරණය කරන ව්‍යවස්ථාවක් බවට පත්වේවි.

ජාතියේ ඉරණම තීරණය කරන ප්‍රස්තූත මාතෘකෘව

මේක තමයි ජාතියේ ඉරණම තීරණය කරන ප්‍රස්තුත මාතෘකාව. නමුත් ජනතා විමුක්ති පෙරමුණ අද මේ ගැන කතා කරන්නේ නැහැ. අවසාන සටනේදී 27,000ක් දිවි පුදලා, 23000ක් අතපය අහිමිකරගෙන රැකගත්තු රට, බටහිරට, එල්ටීටීඊයට ඕනෑ වුණු විදියට බෙදලා දෙන ව්‍යවස්ථාව ගැන, වික්‍රමසිංහ මහත්තයා කියන විදියට අලුත් යුගයට එනම් මේ රට ගල් යුගයට රැගෙන යන ව්‍යවස්ථාව ගැන ජවිපෙ එක වචනයක් කතා කරන්නේ නැහැ. මේ ව්‍යවස්ථාවෙන් ජාතිවාදී බල මධ්‍යගතකරණයකට යනවා. ජාතිවාදී තත්වයන්ට පිළිගැනීම ලබා දෙනවා. මෙවැනි අන්තවාදී, ජාතිවාදී බල බෙදීමක් සහිත ව්‍යවස්ථාවක් රැගෙන ඇවිත් ඊට සමගාමීව මෙතෙක් කවර බාධා මැද වුවත් සහජීවනයෙන් කටයුතු කළ සිංහල සමාජයත් , අන්තවාදී ජාතිවාදී තැනකට මේ අය විසින් ඇද දමනවා. බටහිර ඔත්තුසේවා ලෝකයේ ඇතැම් රටවලට සිදුකර ඇති දේවල් හොඳින් අධ්‍යයනය කළොත් විතරයි මේ අතිශය භයානක මෙහෙයුම තේරුම් ගැනීමට හැකි වන්නේ. මානවීය ගුණාංග කීතු කීතු කොට වනසමින්, අවිචාරවත්, පිළිකුල් කටයුතු, මෘග ලේ වගුරුවා ගැනීමක් කරා අවසානයේදී අපේ සමාජය ඇද ගෙන යනවා. ලොරියේ ඉස්සරහ ගහලා, තියෙන්නේ බුදු සරණයි කියලා. නමුත් පිටිපස්සේ ඉන්නේ මරන්න ගෙනයන හරක්. ඒ වගේ තමයි, මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ සහජීවන බෝඞ් එක ගහලා. නමුත් එමගින් සිදුවන්නේ මුළු මහත් ලාංකේය සමාජය ජාතිකත්ව වශයෙන් බෙදුණු මෘග, මිනීමරු ගැටුමකට ඇද දැමීම. ඒක තමයි බටහිරට උවමනා. ආර්ථික වශයෙන් රට බෙලහීන වෙන්න ඕනෙ. ජාතිකත්ව බෙදීම් තීව්‍ර කරන්න ඕනෙ. හැම පැත්තකම බලය අන්තවාදී කල්ලි අතට ලබලා දෙන්න ඕනෙ. ඒ අන්තවාදී කල්ලි විසින් සපයා දී තිබෙන විෂය මූලික තත්වය භාවිතා කොට එකිනෙකා මරා ගන්න ඕනෙ. ඒ මරා ගැනිල්ල පාලනය කරන්න බැරි හමුදාවක් බවට ශ්‍රි ලංකා හමුදාව පත් කරන්න ඕනෙ. හමුදාවේ අවි බලය අඩු කරන්න ඕනෙ. ඒකත් දැන් ඉටු වෙනවානේ. සාලාව අවි ගබඩාව පිපුරුවානේ. ඒ වගේම හමුදාව ප්‍රමාණාත්මකව අඩු කරන්න ඕනෙ. උපායමාර්ගිකව වැදගත් ස්ථානවල හමුදාව රැදී සිටීම නතර කරන්න ඕනෙ. හමුදාවේ ඉන්න විරුවන්ව ඒ වන විට නඩු අහලා හිරේ දමා තිබෙන්න ඕනෙ. මේක තමයි සම්පූර්ණ න්‍යාය පත්‍රය. මේ ලේ වැකි මෘග, අශිෂ්ට අනාගතය, ජාතිය ඉදිරියේ නිර්මාණය කිරීමයි අද සිදු වෙමින් පවතින්නේ. අපේ අනාගත පරම්පරාවට අපි භූක්ති විදි අයිතීන් ටිකවත් භූක්ති විඳීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව අහිමි කරන්නයි මේ යන්නේ. මේ ප්‍රධාන ප්‍රශ්නය වෙත සමාජයේ අවධානය යොමුවීම වැළැක්වීම තමයි අද රතු කල්ලිය කරන්නේ. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ භාරදී ඇති කොන්ත්‍රාත්තුව වී තිබෙන්නේ එයයි. කේන්ද්‍රීය මාතෘකාව වෙත සමාජ සංවාදය නාභිගත වීම වළක්වනු, අතන මෙතැන තිබෙන ප්‍රශ්න වෙත සමාජයේ අවධානය යොමු කරනු, කියලයි ඔවුන්ට උපදෙස් ලැබී තිබෙන්නේ.

කළ යුත්තේ කුමක්ද?

අපි මෙතැනදී කළ යුත්තේ කුමක්ද? තීරණාත්මක ප්‍රස්තුත මාතෘකාව වෙතම සමාජ සංවාදය නාභිගත කරන්න ඕනෙ. එට්කා ගිවිසුම එන්නෙත් මෙහි කොටසක් ලෙසම තමයි. මේ කැඩුණු බිඳුණු රාජ්‍යය අනෙක් පැත්තෙන් ඉන්දියාවේ 30වැනි ප්‍රාන්තය බවටත් පත්වේවි. ඒක හරියට අර ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වාගේ තියේවි. එට්කා ගිවිසුම ආවාම මෙරට වෘත්තිකයන්ට කරන්න දෙයක් නැති වෙනවා. ඔවුන් රට හැර යනවා. අවසානයේදී මේ රට දඩබිමක් බවට පත් වෙනවා. මේ දඩබිම හදන්න බැලුවේ පිරබාහරන්ගේ අවි බලයෙන්. මේ මුළු පින්තූරය නොදකින ජාතියකට මේ ව්‍යසනයෙන් ගැලවෙන්න පුළුවන් වේවිද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට භාර දී ඇත්තේ මේ ව්‍යසනයේ නිර්මාතෘ බවට පත් වෙන්න. ඔහු ඉතාමත් නිර්දය මනසකින් යුතුව ඊට සූදානමින් සිටිනවා. ඔහු තොරතුරු දැන ගැනීමේ පනත වැනි පනත් ගෙනවිල්ලා හදන්නේ ඊට අවශ්‍ය පසුබිම.

ජනමතවිචාරණය ජයගන්න හදන හැටි

මේ ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට ජනමතවිචාරණයකට යන්න වෙනවා. දකුණේ සමාජයේ මේකට කැමැත්ත අඩු නිසා ඒ අඩු වන ඡන්ද ප්‍රමාණය හොයන්න ඕනෙ. ඒකටත් දැන් පාර්ලිමේන්තුව තුළ විගඩමක් ක්‍රියාත්මක වෙනවා, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය ලබාදීම කියලා. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය ලබා දුන්නාම එතැන දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ප්‍රමාණය වැඩියි. ප්‍රතිශතයක් විදියට කියන්න අපට තවම බැරි වුණත් ඒ ප්‍රමාණය අතිශය වැඩියි. ඒ වගේම ඉන්දියාවේ අවතැන් කඳවුරුවල ඉන්න අයටත් ඡන්ද බලය දෙනවා. එවිට ඡන්දදායකයන් නොවන අයත් ඇවිත් ඡන්දය දමාවි. ජනමතවිචාරණය මේ අය මොන විදියකින් හරි දිනාගත්තොත් ඒක එකම අවිය බවට පත්කර ගෙන ව්‍යසනයේ ඉතිරි ක්‍රියාමාර්ගත් ක්‍රියාත්මක කරාවි. එට්කා ගිවිසුම, යුද අපරාධ අධිකරණය ආදී සියලු ක්‍රියාමාර්ග මේ අය බුලට් ටේ්‍රන් එකක් වගේ ඉදිරියට ගෙන යන්නයි සැලසුම් කරලා තියෙන්නේ. අපි අද මේ පාපී මහා මෙහෙයුම ඉදිරිපිට ඇස් වහ ගෙනයි ඉන්නේ.

විද්වත් වෘත්තික ප්‍රජාවට ගෞරවනීය ඇරයුමක්!

විද්වත් වෘත්තික ප්‍රජාවට අද තිබෙන වගකීම කුමක්ද? කේන්ද්‍රීය මාතෘකාව වෙත සමාජ සංවාදය නාභිගත කිරීම. අවාසනාව වන්නේ අපේ විද්වත් වෘත්තිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් රාජ්‍ය නොවන සංවිධාන මාෆියාව විසින් ගොදුරුකර ගෙන තිබීම. නමුත් එයට ගොදුරු නොවූ විශිෂ්ට කොදු නාරටි තිබෙන ගෞරවනීය විද්වත් වෘත්තික ප්‍රජාවක් අපේ රටේ සිටිනවා. ඒ විශිෂ්ට කොදු නාරටි තිබෙන විද්වත් වෘත්තික ප්‍රජාව පළමු කොටම මේ සිදුවෙමින් පවතින ව්‍යසනය ගැඹුරින් අවබෝධකර ගත යුතුයි. ඉන් අනතුරුව එම ව්‍යසනයෙන් මේ රට බේරා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට සාමුහිකව අත්වැල් බැඳ ගත යුතුයි. මේ මාතෘභූමිය අහිමි වුවහොත් අපට කිසිවක් නැති බව තරයේ මතක තබා ගත යුතුයි
මෙම අවස්ථාවට මහාචාර්ය ක්‍ෂණිකා හිඹුරේගම මහත්මිය, නීතිඥ කපිල ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

Admin

තොණ්ඩාමන් ආවොත් අපි යනවා.. දිගම්බරම්ගෙන් ආණ්ඩුවට රතු එළි

colombotoday

ඉතිහාසයේ වැඩිම ළමා අපචාර හා හිංසා නඩු ප්‍රමාණයට නීතිපති උපදෙස් දී අවසන් – නඩු ගණන 12,968

colombotoday

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

colombotoday