Colombo Today Local News

සොත්ති උපාලිගේ පුතා මදිවාට දුවත් ජාවාරමේ. පාතාලයේ අලුත්ම තත්ත්වය.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පිරිසක් පසුගියදා හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත්හ. ඒ නුගේගොඩ ප‍්‍රදේශයේ දීය. එම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමේ පුවත සැලවීමත් සමගම මුළු රටම උණුසුම් වී ගියේය. ඒ අන් කිසිවක් නිසා නොව යළි සොත්ති උපාලි නමැති පාතාල මැරයාගේ නමද එම සිද්ධියත් සමග කරලියට පැමිණීම හේතුවෙනි. අත්අඩංගුවට ගත් 39 හැවිරිදි එම කාන්තාව සොත්ති උපාලිගේ එක් දියණියකි. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඒ බව දැනගත්තේ ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

 සොත්ති උපාලි

 අරඹෙවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි යනු මෙරට පාතාලයේ රජකම් කළ මහා කෙලිකාරයෙකි. සොත්ති උපාලිට දරුවන් සිව් දෙනෙකි. ඔවුන්ගෙන් දෙදෙනකු පිරිමි දරුවන් වන අතර අනෙක් දෙදෙනා ගැහැණු දරුවන්ය.

 අරඹෙවෙලගේ දොන් උපාලි රංජිත්ට සොත්ති උපාලි යන නම පටබැඳුනේ ඔහුගේ වම් අතේ වූ ආබාධයක් නිසාය. පිහි පහරකින් ලත් තුවාලයක් නිසා සොත්ති උපාලි සදාකාලික ආබාධිතයකු වුණේය.

 බොරැල්ල ගෝතමී පාර සොත්ති උපාලිගේ පාතාල රාජධානිය විය. එදා බොරැල්ල ගෝතමී පාර යන නම කී පමණින් මිනිසුන් බියට පත්වූහ. ඒ තරමටම පාතාල භීතියක් සොත්ති උපාලි පතුරුවාගෙන සිටියේය.

 දේශපාලනඥයන්ට සම්බන්ධවීම

 සොත්ති උපාලි පාතාල ලෝකය ආක‍්‍රමණය කරන්නේ රණසිංහ පේ‍්‍රමදාස මහතා අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ කාල සීමාවේදීය. සොත්ති උපාලිගේ වැඩිමහල් සොහොයුරු නැසීගිය ජනප‍්‍රිය චිත‍්‍රපට නළු විජය කුමාරතුංග මහතාගේ පක්ෂයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි. සොත්ති උපාලිගේ වැඩිමහල් සොහොයුරා ඒ හරහා එවකට සිටි ප‍්‍රබල දේශපාලනඥයන් කීප දෙනකුම සමීපව ඇසුරු කළේය.

 පේ‍්‍රමදාස යුගයේ සිටි ප‍්‍රබල දේශපාලන චරිතයක් වූ සිරිසේන කුරේ මහතා සොත්ති උපාලිව දැන හඳුනා ගන්නට ලැබෙන්නේ සිය සොහොයුරාගේ මාර්ගයෙන්ය.

ලක්ෂපතියකු වීම

 රණසිංහ පේ‍්‍රමදාස මහතා ගම්උදා උත්සවයේ පිඩලි සැපයීමේ කොන්ත‍්‍රාත්තුව සොත්ති උපාලි වෙත ලැබෙන්නේ ඒ වන විට ඔහු ගොඩන`ගාගෙන සිටි දේශපාලන බලය හරහාය.

 ගම්උදා උත්සවය සඳහා පිඩලි ලක්ෂ ගණනින් සැපයූ සොත්ති උපාලි රුපියල් පක්ෂ ගණනින් මුදල් උපයන්නට පටන් ගත්තේය. සොත්ති උපාලි මුලින් හැඳින්වූයේ පිඩලි උපාලි යන නමින්ය. එහෙත් පසුකලෙක මොහු පාතාලය ආක‍්‍රමණය කළ විට සොත්ති උපාලි යන නම පටබැඳුණේ ය.

පොලිසියෙන් සැලියුට්

සිරිසේන කුරේ ඇතුළු එවකට රජයේ ප‍්‍රබල දේශපාලනඥයන් රැසක් සමීපව ඇසුරු කළ සොත්ති උපාලි ප‍්‍රබල චරිතයක් බවට පත්ව සිටියේය. මේ පාතාල මැරයා එවකට පොලිසිය පවා තම අණසක යටතේ තබා ගැනීමට කටයුතු කළේ ඒ වන විට ගොඩන`ගාගෙන තිබූ දේශපාලන බලය ප‍්‍රයෝජනයට ගෙනය.

 ඇතැම් උසස් පොලිස් නිලධාරීහු එදා සොත්ති උපාලි දුටු විට අසුනෙන් නැ`ගිට සැලියුට් ගසන තත්ත්වයට පත්ව සිටියහ. සොත්ති උපාලි සිය දරුවන් සමග පදිංචිව සිටියේ බොරැල්ල ගෝතමී පාරේය. ඔහු නිතරම බොරැල්ල පොලිසියට යන්නට එන්නට පුරුදුව සිටියේය. එවකට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සොත්ති උපාලිට සැලකුවේ පොලිස්පතිවරයාටත් වඩා ඉහළ ගෞරවයක් ලබා දෙමින්ය. (මේ ස්ථානාධිපතිවරයා පසු කලෙක නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ‍්‍රාම ගියේය.)

 එදින සොත්ති උපාලි බොරැල්ල පොලිසිය වෙත එන විට සැලියුට් ගසා ඔහු පිළිගෙන ස්ථානාධිපතිවරයාගේ නිල අසුනේ ඉඳ ගැනීමට ලබා දෙන්නට තරම් මේ උසස් නිලධාරීහු නිවට නියාලූ තත්ත්වයට පත්ව සිටියහ.

කළු බළල්ලූ

 ඒ වන විට සොත්ති උපාලි පාතාල කල්ලියක් බිහිකරගෙන සිටියේය. ඊට දේශපාලන රැකවරණය මෙන්ම ඉහළ පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදයද නොඅඩුව ලැබී තිබුණේය. මාළු නිහාල්” චීනා” රංගනාත් කරුණාරත්න (එස්.එෆ්. රංග)” ගාත් සෝමේ ඇතුළු නමගිය අපරාධකරුවන් රැසක් මේ පාතාල කල්ලියට එක්ව සිටියහ.

එදා සොත්ති උපාලිගේ ප‍්‍රධානම ප‍්‍රතිවාදීන් වූයේ නාවල නිහාල්” නොයෙල් අමරසිංහගේ නායකත්වයෙන් සැදුම්ලත් පාතාල කල්ලියෙන්ය. චින්තක අමරසිංහ” ධම්මික අමරසිංහ” කළු අජිත් ඇතුළු එවකට නමගිය අපරාධකරුවන් රැසක් මේ පාතාල කල්ලිය වටා එක්ව සිටියහ.

 නොයෙල් අමරසිංහ ප‍්‍රමුඛ පාතාල කල්ලිය සිය රාජධානිය පිහිටුවා ගෙන සිටියේ රාජගිරිය ඔබේසේකරපුරයේය. බොරැල්ල ගෝතමී පාර සිය රජදහන කරගෙන සිටි සොත්ති උපාලි නිතර නිතර රාජගිරිය ඔබේසේකරපුරයට ප‍්‍රහාර එල්ල කළහ.

 කළු බළල්ලූ නමැති සන්නද්ධ කණ්ඩායම් එදා බිහිව තිබුණේය. රාජ්‍ය අනුග‍්‍රහය ලැබූ සන්නද්ධ කණ්ඩායමක් එදා සොත්ති උපාලි විසින් මෙහෙය වූවේය. මේ නාඳුනන සන්නද්ධ කණ්ඩායම හරහා රටේ ඝාතනය කළ අහිංසක මිනිසුන් ගණන කොපමණ දැයි කිව නොහැක.

ප‍්‍රධාන ආදායම් මාර්ග

soththi2

සොත්ති උපාලිලා නාවල නිහාල්ලා මෙරට පාතාලයේ රජකම් කළ කාලසීමාවේ හෙරොයින්” කොකේන් අසීස්” අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරට ආක‍්‍රමණය කර තිබුණේ නැත. එදා රට පුරා ව්‍යාප්තව තිබුණේ කසිප්පු ජාවාරම සහ ගංජා ජාවාරමයි.

 එම ජාවාරම් ද එතරම් විශාල වශයෙන් මුදල් ඉපයීමට හැකියාවක් නොතිබූ ජාවාරම් නිසා සොත්ති උපාලි නාවල නිහාල් වැනි පාතාලයේ අංක එකේ මැරයන් ඒවාට සම්බන්ධ වී සිටියේ නැත. මොවුන් වැඩි වශයෙන් කළේ කුලියට මිනී මැරීම” මහා පරිමාණයෙන් කප්පම් ගැනීම” ධනවත් පුද්ගලයන් සතු වතුපිටි ඉඩකඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම වැනි අපරාධයන්ය.

 සොත්ති උපාලි එදා ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලට හිස එසවීමට ඉඩ ලබා දුන්නේ නැත. තමන්ට එරෙහිවන ඕනෑම එකකු දෙවරක් නොසිතාම පරලොව යැවීමට සොත්ති උපාලි ප‍්‍රමුඛ පාතාල කල්ලිය කටයුතු කළහ. මේ සියලූ ඝාතන හඳුනා නොගත් ඝාතනයන්ගේ ලැයිස්තුවලට එක්වුණා හැරෙන්නට ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු වුණේ නැත.

ළමයා චරිතයට පණ පෙවීම

 රණසිංහ පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාවේ මේ කවුද මොනවද කරන්නේ යනුවෙන් සටහන් කළ පෝස්ටරයක් එක රැයකදී රට පුරා අලවා තිබුණේය. මේ පුළුල් ප‍්‍රචාරය ගෙන ගියේ එවකට රජය විසින්ය. මේ පෝස්ටරය එක රැයකදී මුළු රට පුරා ඇලවීමේ කාර්ය භාරගෙන තිබුණේ සොත්ති උපාලිය. පෝස්ටර් ව්‍යාපාරය අතිශය සාර්ථක විය.

 මේ ආකාරයේ එවකට රජයේ බොහෝ කොන්ත‍්‍රාත් ක‍්‍රියාත්මක කළේ සොත්ති උපාලි විසින්ය. එවකට රජයේ බොහෝ ප‍්‍රබල දේශපාලනඥයන් සොත්ති උපාලිට කතා කළේ ‘ළමයා. කියාය. ඔවුන් බොහෝ අපරාධ කරගත්තේ ළමයා හරහාය.

බලය බිඳ වැටීම

 රණසිංහ පේ‍්‍රමදාස මහතා ඝාතනයට ලක්වීමෙන් පසු සොත්ති උපාලිගේ බලය මුළුමණින්ම බිඳ වැටුණේය. ඞී. බී. විජේතුංග රාජ්‍ය පාලන සමය වන විට සොත්ති උපාලි තටු බිඳුණු කුරුල්ලකු බවට පත්ව සිටියේය.

 තමන් සිදුකළ අපරාධ කීපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි සොත්ති උපාලි නැවත බොරැල්ල ගෝතමී පාරට එන්නේ නිකමෙකු ලෙසය. ඔහුට තිබූ පාතාල බලය ඒ වන විට තිබුණේ නැත. සුඛෝපභෝගී යාන වාහන” පොලිසියෙන් ලැබුණු ගෞරව ආචාර දේශපාලනඥයන් දැක්වූ සුහදශීලීභාවය එදා අහිමිව තිබුණේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පත්වීමෙන් පසු සොත්ති උපාලි අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටියේය. තම විරුද්ධවාදීන් ධම්මික අමරසිංහ” නාවල නිහාල්” කඩුවෙල වසන්ත වැනි පාතාල නායකයන් ඒ වන විට කරලියට පැමිණ සිටියහ.

ඝාතනයට ලක්වීම

 ධම්මික අමරසිංහ” චන්ද්‍රිකා රජයේ ප‍්‍රබලම අමාත්‍යවරයකුගේ සමීපතම ගෝලයා බවට පත්ව සිටියේය. තම පවුල් ජීවිත විනාශ කර දැමූ සොත්ති උපාලි ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් සකස් කරන්නට වූහ.

 සොත්ති උපාලි ඝාතනය කිරීම සඳහා වැඩිම උනන්දුවෙන් කටයුතු කළේ කඩුවෙල වසන්තය. කඩුවෙල වසන්තගේ සොහොයුරා වූ උපාලි වසර කීපයකට උඩදී සොත්ති උපාලි ඇතුළු පාතාල කල්ලිය විසින් වෙඩිතබා මරාදමා තිබුණේය. තම සොහොයුරා ඝාතනය කිරීමේ වෛරය පිරිමසා ගැනීමේ සටනට කඩුවෙල වසන්ත එක්ව සිටියේය. යුද හමුදා විශේෂ බළකායෙන් පලා ආ සෙබළකු කඩුවෙල වසන්තගේ කල්ලියට සම්බන්ධ වී සිටියේය. අජිත් නමැති මේ හමුදා සෙබළා දක්ෂ වෙඩික්කාරයෙකු විය.

 සොත්ති උපාලි මරා දැමීම සඳහා වූ කොන්ත‍්‍රාත්තුව කඩුවෙල වසන්ත ලබා දුන්නේ අජිත්ටය.

 බලය අහිමි වීම නිසා ඒ වන විට සොත්ති උපාලි අවලංගු කාසියක් බවට පත්ව සිටියේය. එදා ආරක්ෂකයන් පිරිවරා ගෙන අති සුඛෝපභෝගී වාහනවල ගමන් බිමන් ගිය සොත්ති උපාලි ඒ වන විට බස් රථවල යන තත්ත්වයට පත්ව සිටියේය.

 අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීමට සොත්ති උපාලි පැමිණෙන බව කඩුවෙල වසන්තට තොරතුරක් ලැබිණ. වසන්ත තම කල්ලියේ සිටින දක්ෂතම වෙඩික්කරුවා වූ අජිත් කැඳවා සොත්ති උපාලිගේ අවසන් බුහුමන් දක්වන ලෙස උපදෙස් දුන්නේය.

 අජිත් ඇතුළු කඩුවෙල වසන්තගේ ගෝලබාලයන් හත්අට දෙනකු පිළියන්දල ප‍්‍රදේශය වෙත ගියහ. ඒ වන විට සොත්ති උපාලි පිළියන්දලදී කොළඹ බලා යන මගී බස් රථයක නැ`ග සිටියේ අධිකරණය වෙත යන බලාපොරොත්තු ඇතිවය. බස් රථයට කඩා වැදුණු කඩුවෙල වසන්තගේ ගෝලබාලයන් සොත්ති උපාලිට පහරදී බස් රථයෙන් බිමට ඇද දැමූහ. පසුව ඔවුන් සොත්ති උපාලි වෑන් රථයක දමාගෙන පිළියන්දල බෝකුන්දර ප‍්‍රදේශයේ සොහොන් පිටියක් වෙත රැගෙන ආහ.

 ඒ වන විට කඩුවෙල වසන්තගේ ගෝල බාලයන් අතින් දරුණු ලෙස පහර කෑමට ලක්ව සිටි සොත්ති උපාලි අතීතය මෙනෙහි කරමින් සිටියේය.

 තමන් අතින් කොයි තරම් අහිංසකයන් පිරිසක් ඝාතනය වුණේ දැයි සොත්ති උපාලිට සිතුනා නිසැකය. තමන් කළ අපරාධ රියසක මෙන් තමන් පසුපස එන බව සොත්ති උපාලි සිතුවා විය යුතුය. දැඩි ලෙස පහරකෑමට ලක්ව සිහියක් පතක් නොමැතිව සිටි සොත්ති උපාලි සොහොන් පිටියට ඇද දැමූ කඩුවෙල වසන්තගේ ගෝලබාලයන් ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගියහ.

 වසර ගණනක් තිස්සේ පාතාලයේ රජු ලෙස කිරුළු පැළඳ සිටි සොත්ති උපාලි අවසානයේ නිකම්ම නිකම් යාචකයකු ලෙස බෝකුන්දර කනත්තේදී අවසන් ගමන් ගියේ ඒ ආකාරයටය.

 සොත්ති උපාලි ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ දරුවන් සිව් දෙනා සහ බිරිඳ අසරණ වූහ. ඔවුන්ට ජීවත්වීමට පවා හරිහමන් ආදායම් මාර්ගයක් තිබුණේ නැත. එය එසේ වුවද එකළ සොත්ති උපාලිගේ දරුවන් සිවුදෙනා අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ පිහිටි ජනප‍්‍රිය පාසල්වලයි. එහෙත් ඔහුන් කිසිවකුත් නිසි අධ්‍යාපනයක් ලැබුවේ නැත. ඒ මන්දයත් නිතරම ඔවුන් දුටුවේ තම පියාගේ මැරකම්ය. එම මැරකම් වල ආභාෂය ලත් සොත්ති උපාලිගේ දරුවන්ද පියාගේ අඩි පාරේ යෑමට පටන් ගත්හ.

බාල දියණිය

 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ සොත්ති උපාලිගේ එම දියණිය කලක සිට හෙරොයින් ජාවාරමට සම්බන්ධ තැනැත්තියකි.

 එම නිසා කලක සිට ඇය ගැන පොලිස් නිලධාරීහු ඇස ගසා ගෙන සිටියහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පසුගිය 19 වැනිදා නුගේගොඩ ප‍්‍රදේශයේ දී එම නිලධාරීහු ඇයව අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගනිද්දී හෙරොයින් ග‍්‍රෑම් කිහිපයක් ඇය සන්තකයේ තිබුණ.

 පසුව ඇයගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී තවත් පුද්ගලයන් දෙදෙනකු මෙයට සම්බන්ධ බව දැනගන්නට ලැබුණ. ඒ අනුව එම පුද්ගලයන් දෙදෙනාව ද මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. ඒ කඩුවෙල හා තලංගම ප‍්‍රදේශයේදීය.

 කඩුවෙල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 29 හැවිරිදි තරුණයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ දී ඔහුගේ නිවසේ තිබී රුපියල් කෝටි 6 කට ආසන්න මුදලක් සොයා ගැනීමට හැකිවිය. තලංගම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට පත් වූ තරුණයාගේ නිවසේ තිබේ හෙරොයින් ග‍්‍රෑම් 300 කට අධික ප‍්‍රමාණයක් එම නිලධාරීහු සොයාගත්හ.

 එලෙස අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 6 කට අධික මුදල හෙරොයින් විකුණා ඉපයූ මුදල් බවට අනාවරණය විය. වැඩිදුර සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ මෙම හෙරොයින් ඩුබායි රාජ්‍යයේ සිට මෙරට එවන්නේ අත්අඩංගුවට පත්වූ සොත්ති උපාලිගේ දියණියගේ ස්වාමිපුරුෂයා බවයි. ඔහු නමින් සංජුය.

 කලක් මෙරට හෙරොයින් ජාවාරමේ නිරතව සිටි ඔහු පොලිස් ඇසට වැලි ගසමින් ඩුබායි රාජ්‍යය බලා පැන යන්නේ දැනට වසර ගණනකට පෙරයි. එලෙස පැන ගොස් සිටින ඔහු මෙලෙස හෙරොයින් ජාවාරම සිදුකරයි.

වැඩිමහල් දියණිය

 මියගිය සොත්ති උපාලි නමැත්තාගේ වැඩිමල් දියණිය හෙරොයින් පැකට් පහක් සමග දැනට වසර 2 කට පමණ පෙරදී බණ්ඩාරගම පොලිසියේ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. කාන්තාවක් හෙරොයින් විකිණීමේ යෙදී සිටින බවට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැලමිල්ල ප‍්‍රදේශයේ නිවසක් වටලා ඇය අත්අඩංගුවට ගත් බවත් ඇගේ හැට්ටය අස්සේ හෙරොයින් පැකට් පහක් සඟවා තිබුණු බවටත් අනාවරණය විය.

 එකල 46 හැවිරිදි සැකකාරිය තිදරු මවක වන අතර ඇගේ සැමියාද හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී පොලිසියට අසුවී රිමාන්ඞ් බාරයේ පසුවන අයකු බවටද හෙළිවිය.

වැඩිමහල් පුතු

 කොළඹ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සොත්ති උපාලිගේ වැඩිමහල් පුතු වන ලක්ෂිත පනාන්දු හෙරොයින් සමග අත්අඩංගුවට ගන්නෙ පසුගිය වසරේදීය. ඒ මොරටුමුල්ල ප‍්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් මොහොතේ දී රුපියල් කෝටි තුනකට ආසන්න හෙරොයින් ප‍්‍රමාණයක් ඔහු සන්තකයේ තිබුණ.

Divaina

Related posts

” පළිබෝධනාශක තහනම ඉවත් කළ ගැසට් නිවේදනය බල රහිත කරනවා “

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේදී කියයි

colombotoday

“ජනතාව ඔබට ඡන්දය දුන්නේ රට බෙදන්න නෙවෙයි“ – ගැටඹේ නාහිමි ජනපතිට ලියයි

colombotoday

බුදු දහමට අපහාස කලාට “තව්හීද් ජමාත්“ සැපැතැම්බර් 8 යළිත් උසාවියට

colombotoday

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට දැඩි සංචරණ සීමා

colombotoday

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday