Colombo Today Local Newsfeatured

මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. – රිෂාඩ්ගෙන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුලත් කල අවස්ථාවේදී සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය ඉකුත් 15 වැනිදා තමන්ට බැණ, මරණීය තර්ජනය කළැයි නව මැගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ප්‍රියංග ඉඳුනිල් පුපුලේවෙල මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව, පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළව වෛද්‍යවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මෙන්ම වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබූ අතර, පසුව පොලිස් බලප්‍රදේශයට අනුව බොරැල්ල පොලිසියට ද ඊයේ (21) මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

බොරැල්ල පොලිසියේ පැමිණිල්ලට අදාළව විමර්ශන පොලිස්පතිවරයාගේ නියමයෙන් තම කොට්ඨාසයට බාරගෙන සිද්ධියට අදාළව පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

“තමුසේ දන්නේ නැද්ද මම මෙතැනට ආවේ මොනවා කරල ද කියලා. ඒ වගේම තමයි මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්, පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගේ කාර් එකයි අළු වෙලා තියෙයි. ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක්, ළමයින්ට තාත්තා කෙනෙක් තමයි නැති වෙන්නේ. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්” යැයි සඳහන් කරමින් සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය බැණ තර්ජනය කළ බවට වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තමන් ඉකුත් 15 වැනිදා බන්ධනාගාර ඩිස්පැන්සරියේදී රැඳවියන් සඳහා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී යම් තැනැත්තකු අනවසරෙන්, බලහත්කාරයෙන් එම කාමරයට ඇතුළු වී ඇති බවත්, අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහු කැඳවන බැවින් වහාම පිටතට යන ලෙසට ඒ අවස්ථාවේදී තමන් එම තැනැත්තාට පැවැසූ බවත් පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

තමන් එසේ පැවැසුව ද කාමරයෙන් පිටතට නොගිය එම තැනැත්තා, “ඔයා මහා ලොකු දොස්තර කෙනෙක් ද මට මෙහෙම කතා කරන්නේ. තමුන්ට වඩා ලොකු දොස්තරලා මම මෙහේ අඳුරනවා. මාව පරීක්ෂා කරන්න එන මගේ යාළු දොස්තරලා, බන්ධනාගාර නිලධාරීනුත් ඉවත් කරලා තමයි මට කතා කරන්නේ. ඒගොල්ලෝ මගෙන් අහනවා මට මොනවා ද ඕනෑ, නීතියට පිටින් හරි ඕනෑ උදව්වක් කරන්නම් කියලා. උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්. මගේ වැඩ කරගන්න තමුසේ ඕනෑ නැහැ.” යනුවෙන් තමාට බණිමින් සිටි බව පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතැනින් පලයන් ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්” යනුවෙන් ද කියමින් තමාට තර්ජනාත්මකව හා අපහාසාත්මකව බැණ වදිමින් ආවේගශීලීව හැසිරුණු මෙම තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව තමන් දැන නොසිටි බව ද වෛද්‍යවරයා විසින් කරනු ලැබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පවසයි.

බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළ රිෂාඩ් බදියුදීන් යන අය එලෙස හැසිරෙන අවස්ථාවේදී රැඳවියකු සහ බන්ධනාගාර නිලධාරියකු ද එහි සිටි බවත්, ඔහුගේ තර්ජනාත්මක බැණ වැදීම ඇසී බන්ධනාගාර නිලධාරීන් තවත් තිදෙනකු ද ඩිස්පැන්සරිය තුළට පැමිණ සැකකාර හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගිය බවත් වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ දක්වා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

සැකකාර හිටපු අමාත්‍යවරයා එම අවස්ථාවේදී තමාට තර්ජනාත්මකව බැණ වැදී මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් තමාට දැඩි ලැජ්ජාවක්, පිළිකුලක් මෙන්ම දැඩි මරණ බයක් ද ඇති වූ බවත්, මෙම සිද්ධිය ප්‍රතිකාර සඳහා පැමිණ සිටි රැඳවියන් ද බලාගෙන සිටි බවත් සඳහන් කර ඇති පැමිණිලිකාර වෛද්‍යවරයා, තමාගේ මෙන්ම තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පැමිණිල්ල කරන බවත් සඳහන් කර ඇති බව පොලිසිය කියයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිතුමාට ද කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (22) කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගෙන ඇත.

සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණ නියෝග ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ මැගසින් බන්ධනාගාරයට අද (22) ගොස් ඇත.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Related posts

ව්‍යාපාරික හිතවතාට බදු සහන දෙන්න රවී ගෙනා යෝජනාවට කැබිනට් විරෝධය !!

colombotoday

කිළිනොච්චියේ යුද ස්මාරක ඉවත් කරන්න.. ද්‍රවිඩ සන්ධානයෙන් යෝජනාවක්

colombotoday

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

පෑනක් ගේන්න කඩේට ගිය දැරිය මුහුණු පොතෙන් හමුවූ පෙම්වතා සමග ගහක් උඩ පැළක

colombotoday

2017 නොබෙල් සාම තෑග්ගට ජනපති මෛත්‍රීගේ නම යෝජනා වෙයි !

colombotoday