Colombo Today Local News

MCC ගිවිසුම ගැන එදා විපක්ෂයේ සිටියදී දැරූ ස්ථාවරයේම අදත් සිටිනවා – නීතිඥ උදය ගම්මන්පිල

MCC ගිවිසුම ගැන එදා විපක්ෂයේ සිටියදී දැරූ ස්ථාවරයේම අදත් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී MCC ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය

MCC ගිවිසුම ගැන දැන් මොකද්ද තත්වය ?

පිළිතුර

එම ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. අප හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන් වන්නේ.

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ. රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එදා විපක්ෂයේ සිටි ස්ථාවරයේමයි අප අදත් සිටින්නේ. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා. නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක.

ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝදයකුත් නැහැ.

ප්‍රශ්නය

70%ක් ‍ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් වෙනවා නම් ඉතිරි 30% සඳහා වෙනත් ව්‍යාපෘතියක් කිරීම සඳහා ඔබතුමන්ලා යෝජනාවක් ගෙන ආවේ නැද්ද ?

පිළිතුර

ඇමරිකාව කියනවා නම් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කිරීම අත්‍යවශ්‍යයි අනිත් මුදලුත් ලබාදීම සඳහා කියලා අප වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කිරීමෙන් වැඩක් නැහැ.

ප්‍රශ්නය

ඔය යෝජනා දෙකම නැතුව යන්නට බැරිද ?

පිළිතුර

ඒ අය දෙකම ඕනේ කියනවා නම් අප කියන්නේ මොකුත් එපා කියලයි. එය තමයි අපේ ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘතියේ අරමුදල් විතරක් දෙන්න. සතුටු සිතින් පින් දීලා බාරගන්නට අපි ලැහැස්තියි. නමුත් දෙකම කෙරෙන්නට ඕනෑ කියන ස්ථාවරයේ ඇමෙරිකාව ඉන්නවා නම්, මුකුත් එපා කියන ස්ථාවරයට අපට යන්න සිදු වෙනවා.

ප්‍රශ්නය

ඇමරිකාව කියන්නේ ප්‍රබල රටක්. මේ නිසා ඇමරිකාවත් තරහ කරගන්නට වෙයිද ?

පිළිතුර

අප තරහ කර ගන්නේ නැහැ. අපි විකල්පයක් ඉදිරිපත් කර තියෙනවා. ඉතින් ඒ විකල්පය පිළිගන්නේ නැතුව මේකම ඕනේ කියනවා නම් අපට තේරුම් ගන්නට වෙනවා මෙහි යටි අරමුණක් තියෙනවා කියලා. ඇමරිකාව පමණක් නොවෙයි සියලුම බලගතුයැයි සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න එපා කියද්දී තමයි අප කොටි ත්‍රස්තවාදය පරාජය කරලා ඔබයි මමයි භුක්තිවිදින සාමය ලැබිලා තිබෙන්නේ. බටහිර රටවල් තරහවීමේ පිරිවැයක් තියෙනවා. බටහිර රටවල් යාළු කරගෙන ඉන්නට පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික ඔවුන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්නට වෙනවා. අන්තවාදය දැක්කම අහක බලාගෙන ඉන්න වෙනවා. එහෙම කරන එකද හොඳ බටහිර රටවල සිත් රිදිලා හරි අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්‍රශ්නය ජනතාව ඉදිරියේ තියෙද්දි, බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව ලක්ෂ 13 කට වඩා වැඩියි ඡන්දයකින් පරාජය කරලා ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ අපව සතුටු කරලා තියන්න කියලා.

Related posts

වචනවලට රැවටී මව්බිමට දෝහී නොවන්න.. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වන්න

colombotoday

කීත් නොයාර්, ලසන්ත සිදුවීමට සම්බන්ධ සුදු වෑන් එක හොයා ගනී !

colombotoday

ලංකාවේ ISIS ත්‍රස්ත නියෝජිතයාව ඉන්දීය තරුණියට සම්බන්ධ කරදුන් අය හෙළිවෙයි

colombotoday

පොලිස්පති නමනව.. නාවික හමුදාපති තලනව.. ස්වාධීන කොමිෂන් සභා බෝඩ් ලෑලි වෙලා

colombotoday

මන්ත්‍රීධූරය ඥානසාර හිමිට. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේ අනුමැතිය.

colombotoday

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday