Colombo Today Local News

ජවිපෙ 20 සම්මතවුණොත් ජනපති අර්ජුන් අලෝසියස්

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන සංශෝධනය සම්මතවුවහොත් මීළග ජනාධිපතිවරයා ලෙස අර්ජුන ඇලෝසියස් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පත්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව  කියා සිටියේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේද කියා සිටියේ ය.

කොළ රතු තැඹිලි ලෙස මන්ත්‍රිවරු වර්ග කෙරේ

“ඔබතුමාත් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තාදැ“යි මාධ්‍යවේදින් විසින් දේශපාලකයින්ගෙන් ප්‍රශ්න කළාම හරිම අපූරු උත්තර ඒ අය දෙන්නේ.  “මට මතක විධියට එහෙම ලැබුණේ නෑ“.  “ඡන්ද කාලයේ කවුද සල්ලි දුන්නේ කියා මට දැන් මතක නෑ“.  “මැතිවරණයට මුදල් ලබා ගැනීම වරදක් නොවෙනේ“.  “ඇලෝසියස්ට ඒ කාලයේ චෝදනාවක් තිබුණේ නෑනේ “.  මේ වගේ කතා කියලා මග හරිනවා.  මෙහෙම ගියොත් නම් ඔය 118 නම් සෙවීමේ උත්සාහය 2 න් එහාට යන එකක් නැහැ.

අපි මේ මන්ත්‍රීවරුන්ට ගෞරවයෙන් සිහිපත් කරනවා පාර්ලිමේන්තු මැතිවරණය තිබුණේ 2015 ජූනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා.  නමුත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බව හෙලි වුණේ 2015 මාර්තු මාසයේ.

ඒ නිසා මම මන්ත්‍රිවරුන් කාණ්ඩ තුනකට වර්ග කරනවා.  කෙලින්ම මුදල් ගත්තා කියන අය රතු මන්ත්‍රිවරුන්.  කෙලින්ම කිසිම අයුරින් කිසිම දවසක ඇලෝසියස්ලාගෙන් මුදල් ගත්තේ නෑ කියන අය කොල මන්ත්‍රිවරුන්.  දෙකට දෙවාරේ ඇඟ බේරා ගන්නා උත්තර දෙන අය තැඹිලි මන්ත්‍රිවරුන්.  තමා කළ ප්‍රකාශ වෙනුවට නිශ්චිත ප්‍රකාශයක් කරලා රතු හෝ කොල මන්ත්‍රිවරුන් වීමට තැඹිලි මන්ත්‍රිවරුන්ට අවස්ථාව තිබෙනවා.

ඇලෝසියස්ගෙන් මුදල් නොගත් බවට දිවුරුම් ප්‍රකාශයක්

මේ දින වල ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගන්න ඇතැයි සැක හිතෙන මන්ත්‍රිවරුන් ලබා දෙන ශාන්තුවර උපාසක පිලිතුරු දෙස බැලුවාම පුදුම හිතෙනවා. පසුගිය ජනපතිවරණ කාලයේ සිංගප්පූරු ගිහින් ඩොලර් වලින් පැත්ත මාරු කිරීමට මුදල් ලබා ගත් බවට චෝදනා ලැබූ ගල් අඟුරු වංචාවේ මහ මොළකරුගෙන් ඔබත් මුදල් ලබා ගත්තා ද කියා මාධ්‍යවේදීන්  ඇසුවාම “ඔබට ලැජ්ජා නැද්ද මගෙන් මෙහෙම අහන්න“ කියා අසා “ඔබත් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තා“ දැයි මාධ්‍යවේදියාගෙන් පෙරලා ප්‍රශ්න කරනවා.  මේ යන විධියට ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රිවරුන් ගණන දෙකකට වඩා ඉහළ යන එකක් නෑ කියලයි මට හිතෙන්නේ.  එහෙම නම් ඉතුරු 116 අතුරුදහන් වුණේ කොහොමද?  හුදු මාධ්‍ය වලට කරන ප්‍රකාශ නිසා සමහර මන්ත්‍රිවරුන් බොරු කියන බවයි මගේ අදහස.

ඒ නිසා තමන් ඇලෝසියස්ගෙන් කිසිම දවසක මුදල් ගත්තේ නැති බව නිශ්චිතව සඳහන් කළ හැක්කේ දිවුරුම්  ප්‍රකාශයකින් පමණයි.  මොකද දිවුරුම් ප්‍රකාශයක් හරහා බොරුවක් කිව්වොත් වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා.  සමහරුන් අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් මුදල් ගත්තේ නැහැ කියා කියනවා.  තවත් සමහර අය පර්පෙචුවල්  ටෙෂරිස්  සමාගමෙන් මුදල් ගත්තේ නෑ කියනවා.  බැලින්නම් සල්ලි බෙදලා තියෙන්නේ පර්පෙචුවල් ටෙෂරීස් සමාගෙමන් නෙවෙයි පැත්තක තියන වෙනත් සමාගම් වලින්. දැනට මුදල් ලබාගත්තා කියලා පිළිගත්ත මන්ත්‍රීවරයෙකුට මුදල් ලබා දීලා තියෙන්නේ අපි අහලවත් නැති සමාගමකින්. ඒ නිසා මේ උත්තරය නිශ්චිත වෙන්න ඕනි.

අනුව අද දින මම මේ ආකාරයෙන් දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් කොමසාරිස්වරයෙකු ඉදිරියේ අත්සන් කළා. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කළ සීමිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ එහි පාලක, පාලිත සමාගමකින් හෝ එකී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ප්‍රධාන විධායක කසුන් පලිහේනගෙන් හෝ එකී සමාගමේ වෙනත් අධ්‍යක්ෂවරයෙකුගෙන් හෝ නිලධාරියෙකුගෙන් හෝ සේවකයෙකුගෙන් කිසිම දිනක කිසිම මුදලක් ලබා ගෙන නොමැති බව ප්‍රකාශ කරමි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ විත්තිකරුවන් වන අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් හෝ කසුන් පලිහේන සමග කිසිම දිනක දුරකතනයෙන් හෝ සෘජුව හෝ කතා කර නොමැති බව ප්‍රකාශ කරමි.

මේ ප්‍රකාශය බොරුවක් නම් මා වසර දෙකකට හිරේ දමන්න පුළුවන්. හෙට දිනයේ මෙම දිවුරුම් ප්‍රකාශය කතානායකතුමාට භාර දෙන්න මම කටයුතු කරනවා.  කවදා හරි මේ නම් 118 හෙලි කර ගන්නා තුරු තමන්ගේ කීර්ති නාමය රැක ගැනීමට තිබෙන හොඳම ක්‍රමය මෙවැනි දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම බව මගේ විශ්වාසයයි.

සම්පූර්ණ බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීමට ජනපතිට බලය තිබේ

මේ දවස් වල ආණ්ඩුවේ බෝල පාස් කිරීමේ ක්‍රීඩාවක් යනවා.  කතානායක ජනපති ලේකම්ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රිවරුන් 118 දෙනාගේ නම් හෙලි කරන්න කියා දැනුම් දෙනවා.  එතකොට ජනපති ලේකම් කියන්නේ ඒ තොරතුරු තිබෙන්නේ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ කියලා.  ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියාම “අපට වසර තිහක් යන තුරු මෙම තොරතුරු රහසිගතව තබා ගන්න ජනපති ලේකම් උපදෙස් දුන්නා“ කියලා එතැන ඉන්න නිළධාරින් කියනවා.  නැවතත් ඔන්න බෝලේ යනවා ජනපති ලේකම්ට.  එතකොට මේවා හෙලි කළාට කමක් නැද්ද කියා ජනපති ලේකම් නීතිපතිගෙන් උපදෙස් ගන්නවා.

නීතිපති ගැන අපි නොදන්නවද?  ලඟදීම වාර්තාව ලබා නොදෙන්න, එම වාර්තාව ලබා දීම නීතියට පටහැනිය, පවතින විමර්ශන වලට බාධාවක් ය කියලා එතුමන්ගේ උපදෙස් ලැබෙන්නට බොහෝදුරට ඉඩ තිබෙන බව මගේ මතයයි.

මේක කෙලින්ම බෝලය පාස් කිරිල්ලක්.  ජනාධිපති කොමිසමකින් ජනාධිපතිට නිර්දේශයක් මිස නියෝගයක් දෙන්න බලයක් නෑ.  ඒ නිසා කොමිසම රහසිගතව නම් තබා ගන්න නිර්දේශ කළත් එම නම් හෙලි කරන්න ජනපතිට බලය තිබෙනවා.  ඒ නිසා බෝලය පාස් කරමින් ඉන්නේ නැතුව ඒ නම් හෙලි කරලා අවංක මන්ත්‍රිවරුන්ගේ ගෞරවය රැක දෙන්න කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

විස්ස යටතේ  ඇලෝසියස් ජනපති ධූරයට

ජවිපෙ ගෙනා විසි වන සංශෝධනය අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන  බලය බෙදීම සම්බන්ධයෙන් කටයුතු කරන මහ බල සම්පන්න ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර කැමැත්තෙන්. වර්තමාන අගමැතිට ඉන්නේ මන්ත්‍රිවරුන් 107යි.  නමුත් දයාසිරි මන්ත්‍රිතුමාගේ හෙලිදරව්ව අනුව අර්ජුන් ඇලෝසියස්ට නම් මන්ත්‍රිවරුන් 118 කගේ කැමැත්ත සහයෝගය තිබෙනවා.  එහෙම නම් විස්ස සම්මත වුණොත් ඒ යටතේ පළමු ජනාධිපති වන්නේ ඉතිහාසයේ ලොකුම හොරා වන අර්ජුන් ඇලෝසියස්ය කියන එක ඉතාම කණගාටුවෙන් වුණත් රටට දැනුම් දෙන්න කැමතියි.

 

Related posts

කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමට පොලිසියට තදින් ඉන්න නියෝග

Admin

යාපනේදී පොලීසියට ප්‍රහාරයක්.. ගිණි අවි පැහැර ගන්න හදලා !

colombotoday

ගෝඨාගේ තීරණාත්මක තීන්දුව සවස 6ට

colombotoday

“භික්ෂූන්ට ජම්පර් අන්දවා අරිහත් ධජයට අගෞරව නොකරන්න..” ඥාණසාර හිමි වෙනුවෙන් ජනපතිට ලිපියක්

colombotoday

රුපියල් 5,000සේ දීමනාවට අදාලව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

colombotoday

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

colombotoday