Colombo Today Local News

යහපාලන රජයේ තිබෙන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් – ගෝඨාභය රාජපක්ෂ

අද වන විට සංඝරත්නයට ජම්පර් අන්දලා තියෙනවා… මේ රටේ හිටපු උසස්ම රාජ්‍ය නිලධාරීන්ට ජම්පර් ඇන්දුවා… දේශපාලකයන්ට ජම්පර් ඇන්දුවා… රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා වෙනුවට යහපාලන රජය සිදුකරමින් සිටින්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදය යෑයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

දඹුල්ල, ගලේවෙල ප්‍රදේශයේ ඊයේ (01 වැනිදා) සංවිධානය කර තිබූ “එළිය” සම්මන්ත්‍රණයට එක්‌වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා එසේ කීවේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා –

අද මේ රටේ ආර්ථිකයට වෙලා තිබෙන දේ කවුරුත් දන්නවා. මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසායකයන් එකතු කරලා හැදුණු “වියත්මග” සංවිධානය හරහා රටේ තිබෙන ප්‍රශ්න විශ්ලේෂණය කරමින් ඒවාට දිය යුතු පිළිතුරු, ප්‍රතිපත්ති සකස්‌ කරගෙන යනවා. ගොවි මහතුන්ට ප්‍රශ්න තිබෙනවා. මේ රටේ ආර්ථික ව්‍යqහය නැවත ප්‍රතිසංස්‌කරණය කරගත යුතුයි. විශේෂයෙන්ම කෘෂිකර්මය ගැන වැඩි අවධානයක්‌ යොමුකළ යුතු වෙනවා. නවීන තාක්‍ෂණය කොහොමද අපි ගොවි ජනතාවගේ ආර්ථික නිදහස ලබා ගැනීම සඳහා උපයෝගී කර ගන්නේ කියන කාරණය ඉතා වැදගත්. අපි රටක දළ ආදායම ඉහළ නැංවුවත්, එය ජනතාව අතර සමසේ බෙදී යන්නේ නැතිනම් ඒ ආර්ථික දියුණුවෙන් කිසි ප්‍රයෝජනයක්‌ නැහැ. අපිට පුළුවන්කම තිබිය යුතුයි රටේ ආර්ථික දියුණුවත් එක්‌ක දිළිඳුකම අවම කරගන්න. ලෝකයක්‌ සමඟ ඉදිරියට යන විට ආසියාව ඉදිරියේදී ප්‍රබල ආර්ථික මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් එතැනට ගෙන යා යුතු වෙනවා. ඒ සඳහා විද්‍යාව, තාක්‍ෂණය අතින් දියුණු විය යුතුයි. දේශීය කර්මාන්තකරුවා ආරක්‍ෂා කරගෙන, කෘෂිකර්මාන්තය ආරක්‍ෂා කරගෙන ගෝලීය ආර්ථිකයත් සමඟ ඉදිරියට යැම ඉතා වැදගත්.

අපිට ගොඩක්‌ අය චෝදනා කරනවා, චීනයෙන් පමණක්‌ ණය ගැනීම පිළිබඳව වෙනත් ජාත්‍යන්තර ආයතනවලින් ගත්තේ නැහැ කියලා දොස්‌ කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය අරන් අපේ රටට අද මොකද වෙලා තිබෙන්නේ. මේ ආයතන කියන්නේ කෘෂිකර්මාන්තයට මූලිකත්වයක්‌ දීම අවශ්‍ය නැහැයි කියලා. දේශීය කර්මාන්ත දියුණු කරන්නට තිබෙන ක්‍රම අහිමි කරනවා. ගෝලීය ආර්ථිකයත් සමඟ ඉදිරියට යන විට දේශීය කර්මාන්ත අමතක කරන්න බැහැ. මොවුන් දිගින් දිගටම කරන්නේ විරුද්ධ දේශපාලනඥයන් තලාපෙළා දමන්නයි. ඒ අය අද කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මහින්ද රාජපක්‍ෂ රජයක්‌ යළිත් ආවොත් දැන් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි කියනවා. නමුත් නිදහසින් පසු බිහි වූ රජයන් අතරින් බිහිසුණු ත්‍රස්‌තවාදයට එරෙහිව නියම ආකාරයෙන් සටන් කරලා රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා කරදුන්නේ මහින්ද රාජපක්‍ෂ රජය පමණයි. එදා 87, 88, 89 කාලවල තිබූ භීක්‍ෂණය අද බොහෝ තරුණ තරුණියන්ට මතක නැතුව ඇති. දිගින් දිගටම ගිය ත්‍රස්‌තවාදය තුරන් කරලා රටට සාමය උදාකර දුන්නේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා උතුරට කිසිම නායකයකුට යන්න බැරිවයි තිබුණේ. ආර්ථික මර්මස්‌ථාන විනාශ කළා. යුද්ධයක්‌ තිබුණොත් රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා කරදෙන්න පුළුවන්ද? මහින්ද රජය ක්‍රමයෙන් ගෙනා සාමය අද විනාශ වෙමින් පවතිනවා.

මේ රටේ ආරක්‍ෂාව විනාශ වෙලා යනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ඇති කරන්න පුළුවන්ද? පාතාලය නැවත හිස ඔසවනවා. අද දවසක්‌ උදා වෙන්නේ කෙනෙක්‌ගේ මරණයක්‌ ගැන අහලා. යුද්ධය අවසන් කරලා සෑම කෙනෙකුටම සතුටින් ඉන්න පරිසරයක්‌ නිර්මාණය කළා. දකුණට සාපේක්‍ෂව උතුරු නැගෙනහිර දියුණුව, සංවර්ධනය ඇති කළා. ඒ කළේ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන්නයි. යුද්ධයෙන් විනාශ වූ ඒ ප්‍රදේශවල පාරවල්, දුම්රිය මාර්ග හැදුවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රජය ප්‍රාදේශීය සභා ඡන්දය කොතරම් කල් දැම්මාද? පළාත් පාලන ඡන්දයත් කල්දැම්මා. මහින්ද රාජපක්‍ෂ රජය සෑම පළාතකම සෑම ඡන්දයක්‌ම නිසි කලට පැවැත්වූවා. උතුරේ පළමු වරට පළාත් සභාව ස්‌ථාපිත කළේ මහින්ද රාජපක්‍ෂ රජයයි. මේ ආකාරයෙන් තමයි එතුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළේ. එතුමා මේ රටේ ස්‌ථාපිත කළ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙන කාටත් ගෙන එන්නට බැහැ. ඔවුන් කරන්නේ විනාශ කිරීම පමණයි.

gota1

අද ඇමැතිවරුන් කතා කරන්නේ ද්වේශයෙන්. මේ අය තහවුරු කරන්න යන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. වෛරයෙන්, ද්වේශයෙන් කතා කරන්නේ. යම්කිසි වැරද්දකදී ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. අද වැරදිවලදී ක්‍රියා කරන්න යන්නේ දේශපාලනඥයන් හා රාජ්‍ය නොවන සංවිධානවල කණ්‌ඩායම්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් යන්නේ මේ රජයයි. ඇතැම් අයට ඒ අයගේම ඉතිහාසය අමතක වෙලා. ඇතැමුන් මහින්ද රාජපක්‍ෂ මහතාට නම් පටබඳිනවා. සුදු වෑන් නිර්මාතෘ කවුද? බටලන්දේ නිර්මාතෘ කවුද? එවැනි නිර්මාතෘවරුන් තමයි අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. මගේ පෞද්ගලික දානයකදී නායක හිමිපාණන් වහන්සේ කළ අනුශාසනාවක්‌ අල්ලගෙන මොන තරම් දේවල් කිව්වද? මෙවැනි අරාජික තත්ත්වයකට අද රට පත්වෙලා.

මේ රජයේ පෙරළීම පමණක්‌ නොව ඉදිරියේදී එන රජයක්‌ වැඩ කළ යුත්තේ කෙසේද කියන කාරණයත් ගැන අවධානය යොමු කළ යුතුයි. “වියත්මග” ඇති කළේ ඒ නිසයි. අපිට පිටරට ඉන්න උපදේශකයන් පසුපස යන්න අවශ්‍යතාවක්‌ නැහැ. අපේ වෘත්තිකයන් තමයි දන්නේ අපේ රටේ අවශ්‍යතා මොනවද කියලා. සෑම ශිෂ්‍යයකුටම විශ්වවිද්‍යාල මට්‌ටමේ අධ්‍යාපනයක්‌ ලබාදීම ඉතා අවශ්‍යයි. ඉදිරියේදී එන ඕනෑම රජයක්‌ මේ කාරණයට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි. තරුණ තරුණියන් උගතුන් කළොත් තමයි ආර්ථික වෙනස ඉටුකරගත හැක්‌කේ. සෑම අංශයකටම දක්‍ෂ පුද්ගලයන් බිහි නොකළොත් අවශ්‍ය තැනට යන්න බැහැ.

Related posts

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

colombotoday

මාදුගැටේ වැව හැදුවොත් සිංහරාජයට වෙන දේ ගැන යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දෙයි

colombotoday

“සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා” – විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතාවක

colombotoday

සෞදි ඉදන් ආ තරුණයාට හමු වූ මෝහිණී අත්අඩංගුවට

colombotoday

ජනපති පොරොන්දුව ඉෂ්ඨ කරයි. – මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන්ට හිමි සහන අප්‍රේල් මස සිටම.

colombotoday

ගෑස් පිපිරුනේ නිෂ්පාදනයේ දුර්වලතාවක් නිසානම් වන්දි ගෙවන්න ලිට්‍රෝ සූදානම්

Admin