Colombo Today Local NewsfeaturedTop Stories

“අරගලය…. ඔව් ජාතිය වෙනුවෙන් මා කරනා අරගලය නතර කළ හැක්කේ, මා එල්ලා මැරීමෙන් පමණය….” ඥානසාර හිමි

නිදහසින් පසු ගෙවුණු වසර හැත්තෑව තුළ පක්ෂ දේශපාලනය විසින් සිංහලත්වය මරා දමා, සිය පාක්ෂික අතකොළුවක් ලෙස සිංහලයන් ගොනු කිරීමට පටන් ගත්තේය. ඒ ආකාරයට දේශපාලන නායකයන්ගේ වහලූන් බවට කාලාන්තරයක් තිස්සේ පත් කර ගැනීම නිසා සිංහල ජාතියට මේ සිදු වන ආක‍්‍රමණ පිළිබඳ වැටහීමක් නොමැති ගානය.

  • ජාතිය වන්ද්‍යාකරණයට ගොදුරු කිරීම
  •  කි‍්‍රස්තියානි මූලධර්මවාදය පිළිබඳව

මට එරෙහිව ලබාදුන් අසාධාරණ, අයුක්ති සහගත, අමනෝඥ, අදූරදර්ශී, මුග්ධ, තකතීරු, ලජ්ජා සහගත, පළිගැනීම් චේතනාවෙන් යුක්ත නඩු තීන්දුව පිළිබඳව මා  දිවි පරදුවට තබා අභියෝග කරමි.

අධිකරණයෙන් සාධාරණය ඉටු නොවූ නිසා සමාජය නමැති අධිකරණයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ තීන්දුව ම බලාපොරොත්තු වෙමි.

පුරා විසි වසරකටත් වැඩි කාලයක් මුළු ජීවිතයම ශාසනාභිවෘද්ධිය පිණිසත්, සිංහලයාට ජීවත්වීමට ඇති එකම රට අනේකවිධ සංස්කෘතික ඝාතක කල්ලි හා බෙදුම්වාදී පෙරමුණුවලට අනියම් ලෙස ශක්තිය සපයන ඇතැම් NGO පාදඩයින්ගේ නොපනත්කම්වලට එරෙහිව මම සටන් කළෙමි.

සදාචාර විරෝධී හා නීති විරෝධී අනාගමික අන්‍ය ආගමික බලවේග 450 ට වැඩි මිථ්‍යා දෘෂ්ටික බලවේගවලට එරෙහිව බෞද්ධ ස්වරූපයෙන්ම බෞද්ධානු රූපීකරණය හරහා ශාසන විරෝධීව සිදුකරන මහා විනාශයට එරෙහිවත් මම සටන් කළෙමි.

දේශපේ‍්‍රමී, බොරු සළු පිළි පොරවාගෙන එකිනෙකාට චෝදනා ගොනු කරන පච මලූ බඳු අවස්ථාවාදී දේශපාලඥයන්ටත් එරෙහිව ගෝලීය තර්ජනයක්ව පවතින ඉස්ලාමික මූලධර්මවාදී බලවේගවලට එරෙහිව මම සටන් කළෙමි.

රටේ බුද්ධි අංශ කඩාවැටීම දරාගත නොහැකිව මේ සිංහල බෞද්ධ බහුතරයක් සිටින රටේ රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමට සියයට අසූවක් දිවිදුන් සිංහල බලමුළුවලට ගෞරවයක් පිණිස උන් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට මට දුන් දඬුවම මා ප‍්‍රතික්ෂේප කරමි.

වහාම මට සාධාරණය ඉටු විය යුතුයි.

අද මේ රට නිදහස් රටකි. ඇතැම් නඩුකාරයන්/ ඇතැම් නීතිඥයින්/ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු පුද්ගලයන් තවමත් සිතන්නේ මේ සුද්දාගේ කොළණියක් බවය. සුද්දා හදා දුන් අධිකරණයේ ඒ ඇඳුම් ආයිත්තම් පැළඳ මුරකරුවන් සමඟ සිංහල කතා කිරීමට පුළුවන්කම තිබෙද්දී තෝල්කයන්ද යොදාගෙන මේ තවමත් අපිව භීතියට පත් කරන්නේ සුද්දන්ටත් වැඩිය ඉදිරියට යන කළු සුද්දන් විසිනි.

නීති අංශවල බහුතරයක් දෙනා කි‍්‍රස්තියානි මූලධර්මවාදී බලවේගවලට ගොදුරු වී ඇත. ඇතැමුන් ආතතීන් බහුල වූවෝ වෙති.

මා මේ දක්වා කිසිදු සමාජ විරෝධී යමක් හෝ නීති විරෝධී යමක් හෝ මහජන මුදල් අවභාවිත කිරීමක් හෝ මහජන දේපළක් අවභාවිත කොට හෝ කිසිදු රණවිරුවකු හෝ ආරක්ෂක අංශවලට අදාළ කිසිම අයෙකුගෙන් තණකොළ ගහක් ගැලවීමටත් යොදා ගෙන හෝ විහාරස්ථානය ගොඩනැඟීමට නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තු, කැබිනට් ඇමැතිවරු, බුද්ධ ශාසන, මහා භාරකාර බෞද්ධ කටයුතු හෝ විදේශික රටකින් හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් හෝ එකදු සතයක් ලබාගෙන නැත.

කුමන හෝ ආණ්ඩුවකින් කුමන හෝ අංශු මාත‍්‍රයකවත්, වරදානයක්, වරප‍්‍රසාදයක් හෝ අවම තරමින් චීවරයක්, ඉඳිකටුවකදු දෙයක් හෝ මා ලබාගෙන නොමැත. කිසිදු දේශපාලන බලවේගයක කොන්ත‍්‍රාත්තුවක් හෝ සිදු නොකොට ගුරු වෘත්තිය, පරිවේණාධිපතිකම, විහාරස්ථාන අභිවෘද්ධිය, දායකයන් ඥාති සංග‍්‍රහ හෝ යුතුකම් හෝ කිසිවක් සම්පූර්ණ නොකොට ස්වාර්ථය පිණිස අවම තරමින් රක්ෂණයක්වත්, ගමන් පහසුවට තමන්ට කියා වාහනයක්වත් නොමැතිව විහාරස්ථානයේදී බොහෝ විට එක වෑංජනයක් සමඟ බත් වේලක් වළඳා හෝ නිරාහාරව සිටිමින් කෙතරම් වෙහෙසකර වුවත් මාගේ හැකියාවෙන් බණක්, පූජාවක් කොට ලැබෙන දෙයකින් පන්සල් ලයිට් බිල්, වතුර බිල් ආදිය ගෙවාගෙන මේ ආ ගමන ගැන මට ඇත්තේ ආඩම්බරයකි. දැනුදු මාගේ පමණක් නොව මවුතුමිය හෝ සහෝදර සහෝදරියන්ගේ හෝ මාගේ හෝ ශිෂ්‍යයන්ගේ හෝ රියැදුරාගේ හෝ වත්කම් විමසා මා මේ අකෘතඥ ජාතියට කළ මෙහෙය වෙසෙසින් දත හැකිය.

සිංහල නායකයන් වෙනුවට භාගයක් සිංහල, කාලක් දමිළ, තව කාලක් තේරුම්ගත නොහැකි තරම් ලෙස සර්වාගමික වී සර්වජාතික මතවලින් ඔද්දල්ව දේශපේ‍්‍රමය බලය සඳහා පමණක් යොදාගෙන රට රවටන නායකයන් හා පක්ෂ අයත් රටක උපනූපන් දරු පැටව් වෙනුවෙන් මාගේ හඬ නැඟීම වරදක් නම් මා එල්ලා දමාපියව්….

ම කතාවෙන් නොව කි‍්‍රයාවෙන් කැප වූවෙමි. කැප කිරීම් කළෙමි. අප‍්‍රමාණ නින්දා වින්දෙමි. අපමණ ඉවසුවෙමි. දේශපාලන කුමන්ත‍්‍රණකරුවෙක්, ඞීල් කාරයෙක් ආදී වශයෙන් මට නිගා කළේය.

අපේ මෝඩ සිංහලයෝ අතීතකාමීහුය. අතීත විරුවන් ගැන උදම් අනන ඒ විරුවන්ගේ චරිත කතා කියා දෙන රටක, ඒ වෙනුවෙන් නිර්මාණය වී ඇති කලා කෘති එළිදැක්වෙන විට ඒවා දෙස අභිමානයෙන් උදම් වන මිනිසුන්ය. ඔවුහු වර්තමානයේ ජාතිය හා ඒ ජාතියේ දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් කැපවන වත්මන් කැපකිරීම් කරන අප වැන්නන් දෙස බලන්නේ මහා අපරාධකාර, අසංවර, අශ්ලීල, දුශ්ශීල භික්ෂූන් ලෙසිනි.

අවංකවම තම ජාතිය වෙනුවෙන් සැබෑ ජාති වාත්සල්‍ය වෙනුවෙන් කැපවන්නේ මේ ජාතියෙන් සියයට එකකි.

ඒ කැප කිරීම් කරන අප වැනි සියල්ල අත්හැර ඇති භික්ෂූන්ටත් මෙවැනි දඬුවම් දෙන්නේ නම් කළ යුත්තේ අරගල කොට අභිමානයෙන් යුතුව මිය යෑමය.

  • මේ රට පුරා විනාශ කරන පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට වෙහෙසුණෙමි.
  • විල්පත්තු වන විනාශය ඇතුළු අද කවුරුත් කතා කරන ජනපි‍්‍රය මාතෘකා බවට පත්ව ඇති මඩකලපුව, මන්නාරම හා අම්පාරේ පමණක් නොව ගල්ගමුව ආදී ප‍්‍රදේශවල සිදුකරන මහා වන විනාශය පෙන්වා දුන්නෙමි.
  • කූරගල, මුහුදු මහා විහාරය, දෙවනගල පමණක් නොව මඩකලපුවටද ගොස් පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීමට මඟ පෙන්වූවෙමි.
  • බුද්ධ බාර් නමින් සාද පවත්වන විට නීති විද්‍යාලයේ අර්බුදය මතු වූ විට ධර්මාචාර්ය ගුරු අර්බුදය, ඉරිදාට දහම් පාසල් පවත්වාගෙන යෑම සඳහා ටියුෂන් තහනම් කර ගැනීමට, රටේ සිංහල කතුන් වඳ කරන විට ඊට එරෙහිව හඬ නැඟුවෙමි.
  • අන්තවාදී ඉස්ලාමික අනාගමික අන්තවාදය හා සංස්කෘතික ආක‍්‍රමණයට එරෙහිව මෙන්ම සමාජ බෙදුම්වාදයට එරෙහි වුණෙමි.
  • හදබිම් ආක‍්‍රමණයට එරෙහිව රටේ බුද්ධි අංශය දුර්වල කිරීමේ LTTE  මෙහෙයුමට එරෙහිව සටන් කළෙමි.

මේ සියල්ලටම මට දැන් දඬුවම් හිමිව තිබේ.

බුද්ධ චීවරය ද සිරගත කරමින් මේ ජාතිය ද ගර්හාවට ලක් කරමින් මට දඬුවම් ලබා දී තිබේ.

ඒ කිසිවකින් ජාතිය වෙනුවෙන් කරනා මගේ අරගලය නවතාලිය නොහැකිය.

අරගලය…. ඔව් ජාතිය වෙනුවෙන් මා කරනා අරගලය නතර කළ හැක්කේ, මා එල්ලා මැරීමෙන් පමණය….

 

“ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අප වෙත එවන ලිපියකි මේ. උන්වහන්සේ මෙම ලිපිය අප වෙත එවනුයේ සිරගත වීමට පෙරද, බන්ධනාගාරයේ සිට ද යන්න අපි නොදනිමු. මීට පෙර ද උන්වහන්සේ අප පුවත්පතට ලිපි එවා ඇති බැවින් උන්වහන්සේගේ අකුරු ලිවීමේ හැඩතලය, භාෂා රටාව දෙස බලන විට එම ලිපිය උන්වහන්සේගේම බව අපට තහවුරුය. අධිකරණයේ ශ්‍රේෂ්ඨත්වයට, උත්තරීතරත්වයට කිසිදු අගතියක් නොවේවා යන අධිෂ්ඨානයෙන් උන්වහන්සේගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති මූලික මානව හිමිකමට ඉඩ දෙනු පිණිස පමණක් මෙම ලිපිය පළ කරමු.”

Divaina

Related posts

ජනතා නැගිටීම වළකන්න 3G හා 4G සබඳතා අවහිර කරන්න යනවා – හිටපු නි. ඇමති හර්ෂ

colombotoday

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday

මේ ජාතියේ චීවර පූජාවයි – බුද්ධ භූමිය ආරක්‍ෂා කරදෙන්න මහාසෑය අභියස සාදුකාර හැටදහසක්

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin