Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් හොරෙන්ම CID ලොක්කො හමුවෙන්න ගිහින්

රියාජ් බදුයුදීන් නිදහස් කිරීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහර පිට පහර වැදුණේ පොලිසිය ඇතුළු රජයේ ප්‍රධාන නීති උපදේශක වන නීතිපතිගෙන්ය. දැන් රිෂාඩ් බදුයුදීන් නිසාත් පොලිසිය නීතිපතිගෙන් දොස් අහන්නේය. නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත් අධ්‍යක්ෂවරයාත් සිය දෙපාර්තමේන්තුවට කැඳවා පළු හරින්නට වූයේ රියාජ් බදුයුදීන් නිදහස් කළ ආකාරය හා රිෂාඩ් අල්ලන මෙහෙයුම ගැටලු සහගත වූ නිසාය. ගිය අප්‍රේල් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ප්‍රහාරයේ සැකකරුවන් හා සබඳතා පැවැත් වූ බව කියමිනි. ඒ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රියාජ් ගැන විමර්ශන සැප්තැම්බර් 06 දා අවසන් කළ බව කීවද එහි ප්‍රධානීන් එම ලිපිගොනුව නීතිපතිවරයාට යොමු නොකළ බවට චෝදනා එල්ල විය. එහෙත් නීතිපතිට නොදන්වා සැප්තැම්බර් 30 දා රියාජ්ව මුදා හැර තිබේ. නීතිපතිවරයා ඉකුත් 12 දා සී.අයි.ඩී. ප්‍රධානීන්ව කැඳවා දොස් නගා තිබුණේ නීතිපති නොදැනුවත්ව සැකකරු නිදහස් වූයේ කෙසේද යන්න විමසමිනි. එය බරපතළ කාරණාවක් වන්නේ නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටියදීය.

රියාජ් බදුයුදීන් අප්‍රේල් 16 දා පටන් අත්අඩංගුවට ගෙන ගත වූ කාල සීමාවේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන නොකිරීම, වත්කම් හා බැරකම් ඇතුළු දේපොළ ගැන විමර්ශනයක් නොකිරීම, මෙන්ම රියාජ් භාවිත කළ ජංගම දුරකථන දහසයෙන් දොළහක්ම සොයා ගැනීමට අපහසු වීම ඇතුළු චෝදනා රැසක් නීතිපතිවරයා පොලිසියට එල්ල කළේය.

මෙම කැඳවීම කරන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ ඉන් ඉවත් කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ තවත් ඉහළ නිලධාරීන් කිහිප දෙනකුටද මෙම සිද්ධියත් සමග පුටු අහිමි වන ලකුණුද පහළ වී තිබුණේය.

මෙම සිද්ධියත් සමග අලුතින්ම හෙළිවූයේ රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා තම සොහොයුරු ​රියාජ් නිදහස් කරන්නට පෙරදින රහස් පොලිසියට පැමිණ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු හමුවූ බවය. එම හමුව සිදුවූයේ කුමන අරමුණකටද යන්න​ සොයා බැලීමට ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුවන්නේ රියාජ් ගැන රටම කතා කරද්දීය.

එම සිදුවීම් මාලාවේ දෙවැනි අදියර දැන් සිදුවෙමින් පවතී. ඒ රිෂාඩ් බදුයුදීන් අල්ලා ගැනීමේ මෙහෙයුමේදීය. රියාජ් නිදහස් වී සති දෙකකින්ද පසු රිෂාඩ් අත්අඩංගුවට ගන්නට උපදෙස් දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙනි.

නීතිපතිවරයා රිෂාඩ් බදුයුදීන් ඇතුළු තිදෙනකුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි වැඩ බලන පොලිස්පතිවරයාට නියම කරන්නේ අඟහරුවාදා (13දා) ය. හිටපු ඇමැති රිෂාඩ් අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහු යටතේ පැවැති අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්සුදීන් මොහොමඩ් යාසීන් හා එම ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් සෙසු සැකකරුවන්ය.

නීතිපති උපදෙස් මත සී.අයි.ඩී. යේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ඉල්ලා සිටියද කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ එය ප්‍රතික්ෂේප කළේය.

පොදු දේපළ පනත යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇති වරදකට වරෙන්තු නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පෙන්වා දෙමිනි.

රිෂාඩ් බදුයුදීන්ට එල්ල වන චෝදනාවට පාදක වූ‍යේ පසුගිය ජනාධිපතිවරණයයි. මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථාන සඳහා සීලාවතුරේ සිට අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශ කිරීමට රැගෙන යාමේ චෝදනාවය.

මහ මැතිවරණ ඇතුළු මැතිවරණවලදී රිෂාඩ් බදුයුදීන්ගේ ඡන්ද බළකොටුව වූයේ අවතැන් වූවන්ගේ ඡන්දයි. එල්.ටී.ටී.ඊ.ය 1991 දෙවැනි ඊළම් යුද්ධය ඇරඹුවේ උතුරේ පදිංචිව සිටි මුස්ලිම් ජාතිකයන් උතුරෙන් එළවා දමමිනි. එසේ පලවා හැරි උතුරේ මුස්ලිම් වැසියන් සිටියේ පුත්තලමේ අනාථ කඳවුරුවලය. රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයාත් එසේ මන්නාරමේ සිට පුත්තලමට පැමිණි අවතැන් පවුලක දරුවෙකි. එහෙත් දැන් ඔහු ප්‍රකෝටිපතියකු බව සඳහන්ය. රිෂාඩ් ගැන චෝදනා නගන පාර්ශ්ව දිගින් දිගටම කියන්නේ ඔහු මේ සා මුදලක් සොයා ගත්තේ කෙසේ දැයි පරීක්ෂණ කරන ලෙසය. කෙසේ නමුදු අවතැන් වූවෙක් ලෙස දේශපාලනයට පැමිණි රිෂාඩ් බදුයුදීන්ට දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක සාධකයක් වීමට තිබූ හයිය මේ අවතැන් වූවන්ගේ ඡන්දය යුද්ධය අවසන් වී එකොළොස් වසක් ගතවී තිබුණත් අවතැන් වැසියන් ලෙස ඔවුන් රඳවාගෙන සිටින්නේ ඔවුන්ගේ ඡන්ද ගැනීමට බව රිෂාඩ්ට එල්ලවන තවත් චෝදනාවකි. ඉකුත් ජනාධිපතිවරණ සමයේ ලංගම බස් රථ 222කින් ජන්ද දායකයන් 11,486ක් මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථාන දක්වා රැගෙන ගොස් තිබුණේ එවකට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා වන රිෂාඩ්ගේ මැදිහත්වීමෙනි. අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ රුපියල් අනුපන්ලක්ෂ විසිනවදහස් හැටක මුදලක් සාවාද්‍ය ලෙස පරිහරණය කරමින් ලංගමයට මුදල් ගෙවීම හිටපු ඇමැති ඇතුළු තිදෙනාට එල්ල වූ චෝදනාව විය. චෙක්පතකින් එම මුදල ගෙවා තිබුණේ 2019 නොවැම්බර් 15දාය.

මෙම මුදල ගෙවූ චෙක්පතට අත්සන් කර තිබුණේ නැවත පදිංචි කිරී‍ම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මොහොමඩ් යාසින් හා එම ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන්ය.

මෙම ගෙවීම නිසි ක්‍රමවේදයකින් තොරව සිදුවී ඇතැයි වෙළෙඳ වාණිජ කටයුතු හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ ලේකම්වරයා කළ දැනුම්දීමකින් පසුව නොවැම්බර් 21 දා ‘‘සදර්න් ඩිස්ප්ලේස් ෆෝර්ට්’’ නමැති රාජ්‍ය නොවන සංවිධානයකින් අදාළ මුදල ගෙවා තිබුණේය.

මෙම චෝදනාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුවය.

සී.අයි.ඩී. යේ වාණිජ විමර්ශන අංශයට පැමිණිල්ල යොමුවිය.

සාපරාධී විශ්වාසය කඩකිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධ චෝදනා මත සී.අයි.ඩී. විමර්ශන ඇරඹුණේය. පසුගිය මහ මැතිවරණය ආසන්න වෙද්දී රිෂාඩ් බදියුර්දීන් සී.අයි.ඩී.ය වෙත අවස්ථා කිහිපයකදීම පැමිණ ප්‍රකාශ දී යන්නේ කොයි මොහොතේ හෝ තමා අත්අඩංගුවට ගනීවි යන සැකසංකා මැදය.

ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමට තමා කටයුතු කළේ එවකට හිටපු මුදල් ඇමැති මංගල සමරවීරගේ අනුමැතිය මත බව රිෂාඩ් බදියුර්දීන් සී.අයි.ඩී.යට දුන් ප්‍රකාශයේ සඳහන්ය. මෙම ප්‍රකාශයට අනුව හිටපු මුදල් ඇමැති මංගල සමරවීරත් රහස් පොලිසියට කැඳවනු ලැබීය. තමා මේ සඳහා අනුමැතිය දුන් බව මංගල ඇමැතිවරයා පිළිගත්තේය.

දින හයකට පසුව අදාළ මුදල වෙනත් ආකාරයට පියවා තිබුණද මෙය කෙටිකලකට හෝ රජයේ මුදල් සාපරාධී සහ සාවද්‍ය පරිහරණයක් බවට විමර්ශන කණ්ඩායම් අධිකරණයට ගෙන ආ තර්කය වූයේය.

ජනාධිපතිවරණය දා බස් රථ ලබා ගැනීම සඳහා ඇමැති රිෂාඩ් බදියුර්දීන් මැතිවරණ කොමිසමේ සභාපතිගෙන්ද ඉල්ලීමක් කර තිබුණේය. ඡන්ද දායකයන් විසින් තම අතින් මුදල් ගෙවා ඡන්ද මධ්‍යස්ථානවලට යාමේ පදනම මත පමණක් බස් රථ රැගෙන යාමට මැතිවරණ කොමිසම හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන්ට දුන් අවසරය විය.

විමර්ශන පැවැත් වූ රහස් පොලිස් කණ්ඩායම් සිලාවතුරේ ප්‍රදේශයට ගොස් ඡන්ද දායකයන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේය. ජනාධිපතිවරණය දා මන්නාරමට යාමට තමන් කිසිදු මුදල් ගෙවීමක් නොකළ බව ඡන්ද දායකයන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් කියවී තිබුණේය.

මේ සියලු කාරණා මැද ඇමැති රිෂාඩ්ගේ පාලන කාලයේ ලංකා සතොස ආයතනයේ සිදුවී ඇති මුදල් වංචාවක් හා සැකසහිත ලිපිලේඛන ගොනු රැසක් බදුයුදීන්ගේ හිතවතකුගේ තිඹිරිගස්යායේ නිවසකින් රහස් පොලිසිය සොයාගත්තේය. ඒ අතර රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් පොමිසරි නෝට්ටුවක් (පොරොන්දු නෝට්ටු පතක්) ද විය.

තිඹිරිගස්යායේ නිවස හිමි ඉම්රාන් මොහමඩ් නමැති බදුයුදීන්ගේ හිතවතා ඔහුගේ සොහොයුරු රියාජ්ගේද ව්‍යාපාරික සගයාද විය. මෙම නිවසේ තිබී පුත්තලම, මන්නාරම ප්‍රදේශවල අක්කර ගණනක ඔප්පු පිටපත් 240ක්ද සොයා ගැනුනේය.

කිලෝවොට් විස්සේ ජෙනරේටර් ආනයනය කරන මුවාවෙන් කිලෝවොට් දහයේ ජෙනරේටර් ගෙන්වා කළ ටෙන්ඩර් මගඩියක ලියකියවිලිද මෙම නිවසෙන් හමුවිය.

මෙහිදී හමුවූ පොමිසරි නෝට්ටුව ශාන්ති කනගසබේ නමැති කාන්තාවකට ලබාදුන් එකකි. එය ඇමැති රිෂාඩ් බදුයුදීන්ගේ බිරිඳ වන එම්.එම්. අයිසා විසින් ඉම්රාන් මොහොමඩ් නමැත්තාට ලබා දුන් බව රහස් පොලිසිය ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වා තිබුණේය.

මෙම සියලු කාරණා මැද නීතිපති දුන් උපදෙස් මත සී.අයි.ඩී.ය ක්‍රියාත්මක වන්නේ අඟහරුවාදා (13) දිනයේය. සී.අයි.ඩී.ය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් වූ ප්‍රසාද් රණසිංහ මේ සඳහා කණ්ඩායම් හයක් යොමු කර තිබුණේය.

කොළඹ හා මන්නාරම බලා රහස් පොලිස් කණ්ඩායම් පිටව යද්දීත් රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මාධ්‍ය වෙත ලබාදුන් හඬ පටය ප්‍රචාරය වෙමින් තිබිණි.

හිටපු ඇමැති රිෂාඩ් මේ වන විට පුත්තලමේ සිට කොළඹ බලා එමින් සිට ඇති බව සඳහන්ය. ඔහු සමග චෝදනා ලබා සිටි අලගරත්නම් මනෝරන්ජන්ද වාහනයේ සිටි බව පැවසේ. ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්, ජමල්දින් අබ්දුල් ලතිෆ්ද රියැදුරන් වූ අබ්දුල් සලාම් හා නිලාබ්දින් මොහොමඩ් සිද්ධික් ද ඔවුන් සමග විය. රේන්ජ් රෝවර් ජීප් රථයේ හා පිටියෝ වර්ගයේ මෝටර් රථයකින් මෙම පිරිස කොළඹ බලා පැමිණ තිබුණි.

තමාව අත්අඩංගුවට ගන්නට නීතිපති උපදෙස් දුන් පුවත ජීප් රථයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීමත් සමග මන්ත්‍රීවරයා මාදම්පේදී ජීප් රියෙන් බැස ගිය බව ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියා පොලිසියට පවසා තිබේ.

රිෂාඩ් බදුයුදීන් මාදම්පෙන් බස්සවා පැමිණි බව කියන මෝටර් රථ දෙක රහස්​ පොලිසියට කොටුවන්නේ වැල්ලවත්තේදීය. හිටපු ඇමැති රිෂාඩ්ගේ ජීප් රථයේ කැබින් හෝල් එකේ තිබූ පිස්තෝල දෙකක්ද සමග මෙම පිරිස අත්අඩංගුවට පත්විය.

රිෂාඩ්ගේ ආරක්ෂකයාව සිටි මොහොමඩ් රිල්වාන්ව අත්අඩංගුවට ගනුයේ රහස් ​පොලිසිය හිටපු ඇමැති අත්අඩංගුවට ගැනීමට ආවේක්ෂණ රාජකාරි කරද්දී ඔහුව සොයන බව දැන දැනත් පැනයාමට ආධාර අනුබල දුන් බව කියන ​චෝදනාවටය.

මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව රියැදුරන් දෙදෙනා ලබන 28දා තෙක් රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ පිස්තෝල දෙකක් හමුවූ සිද්ධියටය. අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මොහොමඩ් රිල්වාන් නමැති පොලිස් ඇමැති කොට්ඨාසයේ සාමාජිකයා ඇප මත මුදා හැරුණේය.

හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් හා සම්සුදීන් මොහමඩ් යාසීන් රටින් පිටව යෑමට පැමිණියහොත් වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා බදාදා (14දා) දිනයේ ආගමන විගමන පාලක ජනරාල්ට ​නි​යෝගයක් දුන්නේය.

මෙම සියලු කාරණා මැද රහස් පොලිසිය මන්නාරම හා කොළඹ බෞද්ධාලෝක මාවතේ මන්ත්‍රීවරයාට අයත් නිවාස පරීක්ෂා කළද ඔහු ආ ගිය අතක් නැති විය.

බ්‍රහස්පතින්දා වනතුරුත් රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම නිසා නීතිපතිවරයා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ කැඳෙව්වේය. රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීමෙන් පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය නැතිවන බව නීතිපතිවරයා දැනුම් දුන්නේය. නීතිපති හා අධිකරණය දුන් නියෝග හෑල්ලුවට ලක් නොකර අප්‍රමාදව කටයුතු කරන ලෙසත් නීතිපතිවරයා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිට අවධාරණය කළේය.

සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි අපරාධවල සුලමුල සොයා ගැනීමෙන් දශක ගණනාවක් පුරා කීර්තියක් අත්කර ගත් පොලිසියේ විශිෂ්ට අංශය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය. පොලිසියේ ඩී.අයි.ජී.ලා පවා එල්ලුම්ගස් යවන්නට තරම් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා අධිකරණයේ ගෞරවයට පාත්‍ර වූයෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය. විශේෂ පරීක්ෂණ සඳහා තාක්ෂණ ක්‍රමවේද මගින් දුරකථන ජාල පරීක්ෂණ මෙන්ම අනෙකුත් ක්‍රමවේද මගින් සැඟවුණු අපරාධ පවා සොයා ගැනීමට මෙම නිලධාරීන්ට තාක්ෂණික හැකියාවද ඇත්තේය. එවැනි දස්කම් දක්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රිෂාඩ් කොටු කරගත නොහැකි විය. එහි වරද ඇත්තේ අඬබෙර ගසා රිෂාඩ් කොටු කිරීමට යාමෙන් රිෂාඩ්ට සැඟවීමට කල් ලැබීම බව​ පොලිසියේ නිලධාරීන් කියන කතාවය.

‘‘රිෂාඩ් අල්ලන්න තීන්දුවක් ගත්තා නම් අපි අපේ බුද්ධි අංශ හා අාවේක්ෂණ කණ්ඩායම් යොදවා කලින්ම යන එන තැන් සොයා ගන්නවා. එහෙම නොකර සියල්ල ප්‍රසිද්ධ වූ වහාම ඔවුන් සැඟවෙනවා. ඊට පස්සේ හතරවටේ ටීම් දාලා සොයන්න වෙනවා. මීට පෙර මෙහෙම වුණේ නැහැ.’’ ඒ ඔවුන් කියන කතාවය.

හිටපු ඇමතිවරුන් වූ රාජිත සේනාරත්න, රවි කරුණානායක මෙන්ම මීගමුව බණ්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට ගිය මොහොතේත් රහස් පොලිසියට මේ අයුරින්ම හැංගිමුත්තන් සෙල්ලමට මුහුණ දෙන්නට සිදුවිය. මේ සිද්ධීන් අතරින් මීගමුවේ බන්ධනාගාර අධිකාරීවරයා​ පොලිසියට භාරවීම පොලිසිය දැනුවත්ව කළ රඟපෑමක් බව පසුව හෙළිවිය. මේ අතර තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්ද යොමු කර තිබේ. තමන් මුදල් ඇමැති මංගල සමරවීරගේ අනුමැතියෙන් අදාළ මුදල් ගෙවූ බවත්, මෙහිදී කිසිදු නීතිවිරෝධී දෙයක් සිදු නොවුනු බවත් රිෂාඩ් බදුයුදීන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන්ය.

රිෂාඩ් මෙන්ම ඔහුගේ සොහොයුරු රියාජ්ද තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙසේ නමුදු පත්‍රය මුද්‍රණයට ගිය පෙරේදා (16දා) රාත්‍රිය වනතුරුත් රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා අල්ලා ගන්නට සී.අයි.ඩී.යට නොහැකි වූවේය. දැන් අයිය – මලෝ දෙන්නාගේ ඉරණම ලියැවී ඇත්තේ නීතිය ඉදිරියේය. ඒ ඉරණම කෙසේ වුවත් මුළු රටම දැන් කතා කරන්නේ මේ සිද්ධීන් දෙකේදී පොලිසිය හැසිරුණු අන්දමය. ඒ ගැනද දැන් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබේ. බදුයුදීන්ලා සමග එක හට්ටියේ බත් කෑවේ කවුදැයි එම පරීක්ෂණවලදී හෙළිවනු ඇත්තේය.

මෙම ලිපිය තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසින් ඔක්තෝම්බර් 18 ඉරිදා අරුණ පුවත්පතට ලියන ලද්දකි.

Related posts

ඡන්දෙ කරන්න සල්ලි නෑ !

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

ඉල්ලා අස්වීම ජනපතිගේ සමීප නිලධාරියෙකු අතේ. – නියෝගය ලැබුන සැනින් කතානායකට

colombotoday

ලංගමයට බස්රථ 500ක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය…

colombotoday

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

විහාරස්ථානයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියාට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

colombotoday