ArticlesColombo Today Local News

ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !

fd95eeමේ ආණ්‌ඩුව පත්වී වසර එකහමාරක්‌ ගතවී ඇතත් රට මුහුණ දී තිබෙන අභියෝග ලිහාගැනීම සඳහා වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව අපොහොසත් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය එම්. ඕ. එA. ද සොයිසා මහතා පවසයි. සාමූහික වගකීමක්‌ නැති පිරිසක්‌ සමග බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් නිලධාරීන්ගේ අකාර්යක්‌ෂමතාවත් සමග යන මේ ආණ්‌ඩුවේ ඉදිරිගමන ගැන මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා කරන විග්‍රහයකි මේ.

රටේ වැදගත් ක්‍ෂේත්‍ර ගණනාවක වෙනස්‌කම් සිදුකරන්නට ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ වර්තමාන ආණ්‌ඩුව තවම ඒ කිසිවක්‌ නොකර ඒකාබද්ධ විපක්‌ෂය සමග රණ්‌ඩු කරමින් සිටින බව ඇතැමුන් චෝදනා කරනවා?

සහමුලින්ම එකිනෙකට පටහැනි ප්‍රතිපත්ති සහ පුද්ගලයින් සිටින පක්‌ෂ දෙකක්‌ එකට වැඩකරන්න ගිහාම ඔයවගේ ප්‍රශ්න මතුවෙනවා. එය නොවැළැක්‌විය හැකිය. අනිත් කාරණය මෙම පක්‌ෂ දෙක එකතුවීමේදී මහින්ද රාජපක්‌ෂගෙන් රට බේරගෙන රට සංවර්ධනය කරමු කියන සරල ප්‍රකාශය මිස කිසියම් සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ මත මේ එකතුවීම සිදුවුණෙත් නැත. මේ එකතුවීමට ශක්‌තිමත් පදනමක්‌ නොමැති වීමත් අද තිබෙන අවුලට හේතුවක්‌. ජාතික ආදායමෙන් සියයට 99 ක්‌ම වෙන්කරන්න වෙලා තිබෙන්නෙ ණය ගෙවන්න. කොයිඑකටත් තියෙන්නෙ සියයට එකයි. පහුගිය ආණ්‌ඩුවට බැණ බැණ මේ ණය ගෙවනවා ඇරෙන්න වෙන දෙයක්‌ කරන්න බැරි තරමට රට දුෂ්කර තත්ත්වයකට වැටිලා.

විදේශ ආයෝජන වැඩිකරගෙන මේ තත්ත්වයට මුහුණ දෙන බව මැතිවරණ කාලෙදී නම් වේදිකාවල කියනවා ජනතාවට ඇහුණා?

ආයෝජකයො අපට ඕන විදිහට එන්නෙ නෑ. හොඳ විමර්ශනයකින් පස්‌සෙ තමයි ඔවුන් තීරණයක්‌ ගන්නෙ. අපේ ශ්‍රමයෙ වටිනාකම වැඩියි. පහසුකම් සහ සම්පත් අඩුයි. කොටස්‌ වෙළෙඳපළේ ඉහළ පහළ යැම් ඇරෙන්න වෙන දෙයක්‌ තවම සිදුවෙලා නෑ.

රටේ තිබෙන දේශපාලන අස්‌ථාවරත්වයත් ආයෝජන වැඩි නොවීමට බලපා තිබෙනවා?

ඉතාම පැහැදිලිව. අද තිබෙන දේශපාලන අස්‌ථාවර භාවය ආකාර දෙකකින් බලපාල තිබෙනව. රටේ සිංහල දෙමළ මුස්‌ලිම් ජන කොටස්‌ එකමුතුව ඉදිරියට ගමන් කරන තත්ත්වයක්‌ තවම පෙනෙන්නට නෑ. දකුණේ සිංහල වර්ගවාදී කොටස්‌ තවමත් ක්‍රියාත්මක වෙනව. මහණවීමේ අරමුණ නොදත් ඒ හැරෙන්න අනෙක්‌ සියලු දේ දත් ඇතැම් භික්‌ෂූන් වහන්සේ නිසාත් මේ තත්ත්වය ඇතිවී තිබෙනවා. මහණවීමේ මූලික අරමුණ ධනය, බලය සහ ලිංගික ජීවිතයෙන් ඈත්වෙලා විමුක්‌තිය සොයා යැමයි. නමුත් ඇතැම් භික්‌ෂූන් වහන්සේ මහණවීමේ මෙම මූලික අරමුණෙන් බැහැර වෙලා රටේ ආර්ථික සැලසුම් හදමින් දේශපාලන ක්‍රියාදාමයන්හි නියෑලෙමින් සිටිනව.

අනෙක්‌ කාරණය මහින්ද රාජපක්‌ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂය රට තුළ සිදුකරමින් සිටින කැළඹිල්ල. ජනතාවට පීඩාකාරී නම් ඒ ආණ්‌ඩුව පෙරළන්න ඕන. වැට්‌ බද්ද පසුගියදා වැඩිකිරීම ඇරෙන්න මේ ආණ්‌ඩුවෙන් ජනතාවට පීඩාකාරී දෙයක්‌ සිදුවූණේ නෑ. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ කාලේ ජනතාවට තිබුණු දැඩි පීඩනය ආඥාදායකත්වය වෙනස්‌ කරල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ ඇති කරල තියෙනව. ආණ්‌ඩුව අපට දියන් කියල පාද යාත්‍රා ගියාට එහෙම ආණ්‌ඩු දෙන්න මේක සිරිසඟබෝ න්‍යායයට පිහිටුවපු ආණ්‌ඩුවක්‌ නෙමෙයි. බලය ලබාගැනීමේ තණ්‌හාවෙන් කරන මේ දේවල් සාර්ථක නොවුණට මේවායින් රට තුළ යම් කලබගෑනියක්‌ සිදුවෙනව. රට තුළ දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ගොඩනැගීමට මේ දේවලුත් බලපානව.

ආණ්‌ඩුව තුළත් යම්කිසි කාරණයක්‌ සම්බන්ධයෙන් එකඟතාවක්‌ ඇතිකරගැනීමේ දුෂ්කරතාවක්‌ තිබෙනවා නේද?

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ඇති සමගිය ආණ්‌ඩුවේ අනෙක්‌ පිරිස්‌ අතර තිබෙන බවක්‌ පෙනෙන්න නෑ. ජනාධිපතිතුමා සහ අගමැති තුමා අතර ඇති අෙන්‍යාන්‍ය අවබෝධය සහ විශ්වාසය නොරුස්‌සන පිරිසක්‌ ආණ්‌ඩුව තුළම ඉන්නව. මේ අය ඉන්නෙ ආණ්‌ඩුවේ එජාප කණ්‌ඩායම තුළ නෙමෙයි ශ්‍රීලනිප කණ්‌ඩායම තුළ. අගමැතිතුමා තම කණ්‌ඩායම තුළ විනය ඉතා හොඳින් පවත්වාගෙන ගියත් ජනාධිපතිතුමාට එය කිරීමට තවම හැකියාවක්‌ ලැබී නෑ. ඊට බලපා ඇති හේතු කිහිපයකුත් තිබෙනවා. මම හිතන්නෙ දේශපාලන පක්‌ෂ නායකයකු තුළ තිබිය යුතු නායක අධිපතිත්වය මෛත්‍රීපාල සිරිසේන චරිතයෙන් ප්‍රදර්ශනය වෙන්නෙ නැහැ. වර්තමාන නායකත්වයට අනුගත වුණු කණ්‌ඩායමක්‌ ශ්‍රීලනිපය තුළ අද ඇත්තෙත් නෑ. ආණ්‌ඩුවේ ශ්‍රීලනිප කණ්‌ඩායමේ ඉන්නෙ කිසියම් තර්ජනාත්මක ස්‌වරූපයෙන් කටයුතු කරන පිරිසක්‌. මේ නිසා තමයි වැට්‌ පිළිබඳ ප්‍රශ්නයේදි, නොරොච්චෝලය පිළිබඳ ප්‍රශ්නයේදි වංචා විමර්ශන පිළිබඳ ප්‍රශ්නවලදි ආණ්‌ඩුව තුළ එකඟතාවක්‌ ඇතිකරගන්න අපහසු වුණේ. මෙබඳු දියාරු කණ්‌ඩායමක්‌ සමග කටයුතු කිරීමේදී යම් යම් දුෂ්කරතාවන්ට මුහුණදීමට අගමැතිතුමාට සිදුව තිබෙනවා. ආණ්‌ඩුවට මේ ගමන යැමට අපහසු වී තිබෙනවා.

තමුන් එජාප ආණ්‌ඩුවක ගමනට මුක්‌කු ගහන පිරිසක්‌ මිස සමාන බලතල ඇති ආණ්‌ඩුවේ කොටස්‌කරුවන් නොවේ යෑයි ආණ්‌ඩුවේ ඇතැම් ශ්‍රීලනිප පිරිස්‌ අතර මතයක්‌ ඇතිවී තිබීමත් මේ එකඟතාව නැතිවීමට හේතුවක්‌. අගමැතිතුමා පක්‌ෂය තුළ නායකත්ව අධිපතිත්වයක්‌ දරන අතරම ආණ්‌ඩුව තුළත් කිසියම් ප්‍රමාණයකට එබඳු අධිපතිත්වයක්‌ දරන බව පෙනෙන්නට තිබීම ඇතැම් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් තුළ එබඳු අදහසක්‌ දැරීමට හේතුවයි. මේ ජාතික ආණ්‌ඩුවේ කොටස්‌කාරයෝ වගේ හිටියට අපි ඇත්තටම මේකෙ මුක්‌කුකාරයො කියල හිතන අයගෙන් ආණ්‌ඩුවට එතරම් සහයෝගයක්‌ ලැබෙන්නෙ නෑ. එජාපය සමග යන මේ ගමන තම දේශපාලන අනාගතයට හිතකර නැතැයි තීරණය කරල ආණ්‌ඩුව ඇතුළෙ ඉඳගෙනම ආණ්‌ඩුවෙ කකුලෙන් අදින පිරිසකුත් ඉන්නව. මේවා නිසා ආණ්‌ඩුව තුළ සහයෝගිතාව අද බිංදුවට බැහැලයි තිබෙන්නෙ. ආණ්‌ඩුව තුළ කිසිදු රහස්‍ය භාවයකුත් නෑ. ආණ්‌ඩුවට සල්ලිත් නෑ. එකමුතුකමකුත් නෑ. කැබිනට්‌ මණ්‌ඩලය තුළ සහයෝගිතා වගකීමකුත් නෑ.

ආණ්‌ඩුවට මුහුණදීමට සිදුවී තිබෙන ඊළඟ බරපතළ ප්‍රශ්නය වර්තමාන නිලධාරි පැලැන්තිය මේ ආණ්‌ඩුවත් සමග ඉදිරියට යැමට දක්‌වන අකමැත්ත. තමන්ගෙ දර්ශනය ඉදිරියට ගෙනයන්න අවශ්‍ය දක්‌ෂ නිලධාරි පිරිසක්‌ ආණ්‌ඩුව තෝරගත්තෙ නෑ. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සහ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරු යටතේ එක පැත්තකට බරවෙලා පුරුදු පුහුණු වුණු ඒ යුගයේ සිදුවුණු දූෂණත් සමග කටයුතු කරපු නිලධාරි පැලැන්තියම තමයි තවම ඉන්නේ. මේ ආණ්‌ඩුවත් සමග කටයුතු කරන විට ඔවුන් හරිම අකාර්යක්‌ෂමයි. නිලධාරි පැලැන්තියේ මේ අකාර්යක්‌ෂමතාව ආණ්‌ඩුවට විශාල ප්‍රශ්නයක්‌. ඇතැම් අමාත්‍යංශ ලේකම්වරු පවා ඒ තනතුරුවලට නුසුදුසු අය. තමන්ගේ සුදුසුකම් හා දක්‌ෂතා මත නිසි තනතුරු නොලැබීම නිසා කලකිරුණු දක්‌ෂ නිලධාරීන් පිරිසකුත් ඉන්නව. මැක්‌ස්‌සේබල් කියන දේශපාලන දාර්ශනිකයා පෙන්වා දුන් නිලබල අරගලය මේ ආණ්‌ඩුව තුළ තදින්ම තිබෙනවා.

රටක්‌ නියම ආකාරයට ඉදිරියට යන්න නම් අධිකරණය අපක්‌ෂපාත වෙන්න ඕන. පොලිසියත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ ආණ්‌ඩුවේ ඉදිරි ගමනට බාධාවක්‌ ලෙස හැසිරෙන අවස්‌ථා ගණනාවක්‌ පසුගිය දිනවල පෙනෙන්නට තිබුණා. මේක අර්බුදයක්‌. මේ රට ඉදිරියට ගෙනියන්න ඕනකමක්‌ තිබෙන්නෙ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි එක්‌සත් ජාතික පක්‌ෂයටයි විතරයි. මේ තත්ත්වය තුළ අද ආණ්‌ඩුව හිරවෙලා. මේ තත්ත්වයෙන් ගොඩඑන්න ආණ්‌ඩුව කාගෙන් උපදෙස්‌ ගන්නවද කියල කවුරුවත් දන්නෙ නෑ. උගතුන්, බුද්ධිමතුන් තුළත් ආණ්‌ඩුව පිළිබඳ කලකිරීමක්‌ ඇතිවෙලා තිබෙනව. දේශපාලන හිතවත්කම් මත මේ ආණ්‌ඩුවත් ළංකරගෙන ඉන්නෙ බුද්ධිමතුන් නෙමෙයි පුස්‌සො.

සමහරු කියනව වගේ ආණ්‌ඩුව හෙට අනිද්ද වැටෙයිද?

මේ ආණ්‌ඩුවේ පැවැත්මට බලපාන හේතු දෙකක්‌ තිබෙනව. ජනාධිපතිතුමා ඉවත් කිරීමට තුනෙන් දෙකක බලයක්‌ ගන්න ඒකාබද්ධ විපක්‌ෂයට කවදාවත් බෑ. සිය කැමැත්තෙන් ඉල්ලා අස්‌ නොවුණොත් ජනාධිපතිතුමා අවුරුදු පහම මේ තනතුරේ ඉන්නව. ඔහු ඉවත් කරන්න බෑ. අනෙක අපි කැමතිවුණත් අකමැති වුණත් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ව්‍යවස්‌ථාදායක අධිපතිත්වයකුත් ගොඩනැගිල තියෙනව. ඒක හොඳ දෙයක්‌ නෙමෙයි. පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක්‌ යනතුරු විසුරුවා හරින්න බැහැ කියන එක 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් කළ බරපතළ වැරද්දක්‌. ජනාධිපති ක්‍රමයෙන් ගොඩනැගුණු ආඥාදායකත්වය හා සමාන ආඥාදායකත්වයක්‌ මේ නිසා පාර්ලිමේන්තුව තුළ ගොඩනැගී තිබෙනවා. මේ නිසා අවුරුදු හතර හමාරක්‌ යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නෑ. ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංගයක්‌ ගේන්න 112 ක්‌ විපක්‌ෂයට ඇත්තෙත් නෑ. මේ ආණ්‌ඩුව ආඥාදායක දෙකක්‌ තිබෙන ආණ්‌ඩුවක්‌. ඇතැම් මන්ත්‍රීවරු ඇමතිවරු ජනතා සේවය පැත්තකට දාල එකිනෙකා සමග ඇණකොටා ගන්නෙ ඒ නිසයි.

– දිවයින ඉරිදා සංග්‍රහය

Related posts

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

colombotoday

රාජගිරියේ රිය අනතුරේදී ජීප් රථය පැදවූයේ තමන් නොවන බව චම්පිකගේ රියදුරා පිළිගන්නී

colombotoday

ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පන්න පන්නා පොලිසියෙන් ප්‍රහාර

colombotoday

ආරක්ෂාව තහවුරු නෑ.. සිංහල සිසුන් කිසිවෙකුත් නැවත නොයයි.. යාපනය සරසවියට හමුදා ආරක්ෂාව ඕනෑ

colombotoday

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday