Colombo Today Local News

බැසිල්ව ගත්තොත් සන්ධානයට අපි නෑ… බැසිල්ට එරෙහිව ඩලස් යුධ ප්‍රකාශ කරලා

basil dullasඒකාබද්ධ විපක්ෂය ලෙස හෝ නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස හෝ පක්ෂය ගොඩ නැගුවත් කවර හේතුවක් නිසා හෝ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාව ඊට එක්කරගත යුතු නැති බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා දැඩි තීන්දුවක පසුවන බව දැන ගැනීමට ඇත.

ඒකාබද්ධ විපක්ෂය මේ වන විට මුහුණ පා තිබෙන නායකත්ව ආර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයන් පසුගිය සතියේ කොළඹ දී රැස්වූ අවස්ථාවේ දී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පවසා ඇත. මෙයට හේතුව වී තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළේ බැසිල් රාජපක්ෂ මහතා බවට එල්ල වන බරපතළ චෝදනාවය.

පසුගිය රාජපක්ෂ සමයේ දී ශ‍්‍රීලනිපය ලූම්පන් පන්තියේ පක්ෂයක් බවට පත් කෙරුණු බවත් එම තත්ත්වය වහාම වෙනස් කර ශ‍්‍රීලනිපය යළි සාරධර්ම සහිත පක්ෂයක් ලෙස ගොඩනැගිය යුතු බවත් මෙහි දී අදහස් පළ වීම විශේෂ සිදුවීමකි. බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ නොදිය යුතු මතයේ විමල් වීරවංශ මහතාත් උදය ගම්මන්පිල මහතාත් දැඩිව සිටින බව දැන ගැනීමට තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය වන ‘වියතුන්ගේ හඬ’ කණ්ඩායමේ නියෝජිතයන් ද සහභාගි වූ මෙම සාකච්ඡාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගෙන කටයුතු කළ යුතු බවට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් ගැන ද එකඟතාවකට පැමිණ ඇත.

ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා අතර වන නොහොඳ නෝක්කාඩු සමථයකට පත් කර ගැනීම එහි මූලික පියවරය. ඒ අනුව ප‍්‍රධාන ඉල්ලීම් 4 ක් ජනාධිපතිවරයාට යොමු කෙරේ. ඉන් පළමු වැන්න, මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය තත්ත්වයක් ලබා දී ඔහුව විශ‍්‍රාම ගැන්වීමට වැඩපිළිවෙළක් සකස් කිරීම – දෙවැන්න, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනාවලට යම් සහනයක් ලබා ගැනීම – තුන්වැන්න, ජනාධිපතිවරයා විසින් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරන ලද සාමාජිකයන් විසිතුන් දෙනාව නැවත මධ්‍යම කාරක සභාවට එක්කර ගැනීම, සිව්වැන්න – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් තැනීම වෙයි.

මෙම ඉල්ලීම් ඇතුළත් යෝජනා මාලාව මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා වෙත ද යොමු කර ඇත.

පවත්නා තත්ත්වය හමුවේ තවදුරටත් ජනාධිපතිවරයා සමඟ තමන්ට හැප්පෙන්න නොහැකි බවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට හා එවකට ආණ්ඩුවේ සිටි ප‍්‍රබලයන් ගණනාවකට එල්ල වී ඇති අපරාධ, දූෂණ, වංචා චෝදනා සනාථ කරගත හැකි ලෙස මේ වන විට එම පරීක්ෂණ කටයුතු සිදුව තිබෙන බවත් ඒ අනුව නුදුරේම අයහපත් ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවත් මෙම සාකච්ඡාවේ දී ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු විසින් කරුණු සහිතව පෙන්වා දී ඇත.

මේ තත්ත්වය තවදුරටත් ජනාධිපතිවරයා සමඟ වන එදිරිවාදී ගමනකට නුසුදුසු බැවින් ඔහු සමඟ අතරමැද සාමදානයකට පැමිණිය යුතු බව බහුතරයේ තීරණය වී ඇත.

ඒ කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විරසකය දුරු කිරීම සඳහා තිබෙන විශාලම බාධකය ඇමැති එස්.බී. දිසානායක මහතා බව මෙම සාකච්ඡාවේ දී ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දී ඇත. ඔහු රාජපක්ෂ මහතාට, ජනාධිපතිවරයා හා සමීප වන්නට ඉඩ නොදෙන බවත් මේ නිසා මේ අතරමැදි සාමදානයකට යාම තවදුරටත් ප‍්‍රමාද වෙමින් තිබෙන බවත් ඔහු පෙන්වා දී ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණෙන තුරු ඒකාබද්ධ විපක්ෂය ලෙස තමන් පෙනී සිටිය යුතු බවත් තීරණාත්මක අවස්ථාවක දී එජනිස ආණ්ඩුවක් සඳහා එක්වීම විය යුතු බවත් මෙහි දී තීරණය වී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාව ඉවත් කර දේශපාලන ගමනක් යෑමට මහින්ද හිතවාදීන් සූදානමින් පසුවූව ද පසුගිය බදාදා මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ දී රාත‍්‍රී කෑම ගත්තේ එකටය. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ස්ථාවරය වන්නේ කිසි දිනෙක මහින්ද රාජපක්ෂ මහතාව අත්නොහැර සිටීම බව ද ඔහු සිය හිතවතුන් සමඟ පවසා ඇත. (සත්හඩ)

Related posts

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ… : බන්ධනාගාර ගත රැඳවියන් 10ක් මෙවර පෙනී සිටී.

Admin

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

මහින්දානන්ද අලුත්ගමගේ ඇප පිට නිදහස් කෙරේ

colombotoday

පළමු ඡන්ද ප්‍රතිපලයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

colombotoday