Colombo Today Local News

මුදල් මංගලට, විදේශ කටයුතු රවීට !!

මුදල් අමාත්‍ය ධුරය බාර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් විදේශ ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇති බවඑජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් මුදල් ඇමැති රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් විපක්ෂයෙන් හා ආණ්ඩු පක්ෂයේම මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වෙමින් තිබෙන විවේචන නිසා ඔහුව එම ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වෙමින් තිබේ.

ඒ අනුව මෙම මස මැද භාගයේ දී ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා සූදානමින් පසු වූ බව ද වාර්තා විය.

චම්පික රණවක :

මුදල් ඇමැති ධුරය වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාට පසුගියදා අගමැතිවරයාගේ ද එකඟතාව ලැබී ඇතැයි පැවසේ.

මෙම ඇමති ධුරයට ඇමැති චම්පික රණවක මහතාගේ ද නම යෝජනා වී තිබිණ.

එහෙත් ඔහු ඊට අකැමැති වීමත් එජාපයේ ජ්‍යෙෂ්ඨයන් විසින් තම පක්ෂයට හිමි මෙම ඇමැති ධුරයට එජාපයේම අයකු නම් කළ යුතු බවට එල්ල කළ බලපෑමත් මත මංගල සමරවීර මහතාගෙන් එම ඉල්ලීම සිදු කර තිබේ.

එහෙත් තමන්ගේ ගෙදර බජට් එකවත් හරියට හදා ගන්න බැරි මට රටේ බජට් එක හදන්න නොහැකි බව කියමින් සමරවීර මහතා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මහින්දටත් පුළුවන් නම් ?

එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා එජාපයේ සභාපති මලික් සමරවික්‍රම මහතා, සමරවීර මහතා හමුවේ පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු ගාණක් මුදල් ඇමැතිකම කළා නම් මංගල සමරවීර මහතාට ඒ ඉටු කිරීමේ කිසිදු අසීරුතාවක් නොමැති බවය.

එමෙන්ම කබීර් හෂීම් ඇමැතිවරයා ඇතුළුව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ද මුදල් ඇමති ධුරය බාරගන්න ලෙස සමරවීර මහතාගෙන් ඉල්ලා ඇත.

සිය දේශපාලන ජීවිතයේ කෙදිනක හෝ වංචා දූෂණ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නැති සමරවීර මහතා වැන්නකු මෙම ධුරය සඳහා සිටින සුදුසුම තැනැත්තා බවත් එම නිසා එම අමාත්‍ය ධුරය බාරගෙන යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහාය දෙන ලෙසත් ඔවුන් ඉල්ලා තිබේ.

විදේශ ඇමතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ?

මේ අතර මංගල සමරවීර මහතා විදේශ ඇමැතිවරයා ලෙස ජාත්‍යන්තරය හා ගනුදෙනු කිරීමේ දී අනුගමනය කරන ක්‍රමවේදයන් හා ඔහු විසින් සිදු කෙරෙන ප්‍රකාශ නිසා ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂයේ කොටස් සමරවීර මහතාව විදේශ ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපෑම් කරමින් තිබේ.

මේ තත්ත්වය මත එජාප තුලම මුදල් ඇමති ධුරය හා විදේශ ඇමැති ධුරය හුවමාරු කර ගැනීමෙන් ප්‍රශ්න දෙකකට විසඳුම් ලැබෙන බවට එජාප නායකත්වය විසින් සමරවීර මහතාට පෙන්වා දී ඇත.

එහෙත් සමරවීර මහතාගේ එකඟත්වයක් මෙතෙක් ලැබී නොමැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේ ඉතා කෙටි කලක් සමරවීර මහතා නියෝජ්‍ය මුදල් ඇමැති තනතුර හොබවා ඇත.

රවී ගෙන් ඉල්ලීමක් :

කෙසේ නමුත් තමාව මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා, එජාප නායකත්වය වෙත විරෝධය ප්‍රකාශ කර ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරයට පෙර දින ඔහු ජනාධිපතිවරයා හමුවී තමාගේ ඇමැති ධුරය වෙනස් නොකරන ලෙසට ඉල්ලීමක් සිදු කර ඇති බව ද දැන ගැනීමට ඇත.

කෙසේ නමුත් මෙරට ආර්ථිකය බරපතළ අර්බුදකාරිත්වයකට ලක් කළ බවට කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇත.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කෙරුණු වාර්තාවෙන් විදේශ සංචිත කඩා වැටීම, වැඩි වශයෙන් ණය ගැනීම, අපනයනයන් අඩු වීම, නිවැරැදි බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපොහොසත් වීම ආදී චෝදනා රැසක් එල්ල කර තිබිණි.

ඇමතිවරු ගණනාවකින් චෝදනා :

එමෙන්ම රවී කරුණානායක මහතා අනෙක් ඇමැතිවරුන්ගේ විෂය පථයට අයත් ආයතනයන් මුදල් අමාත්‍යාංශයේ අණසකට යටත් කර ගැනීමට නිරන්තරයෙන් දරනු ලබන වෑයම නිසා ඇමැතිවරු ගණනාවක් විසින් අගමැතිවරයාට පැමිණිලි ඉදිරිපත් කිරීම පසුගිය කාලයේ සිදුව තිබිණි.

එමෙන්ම පිළිගත් මූල්‍ය නීති රීතිවලට එපිටින් ගොස් ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයන් වෙත වැඩි වශයෙන් සැලකීමට යාම සම්බන්ධයෙන් චෝදනා ඔහුට රැසක් එල්ල වී ඇත.

හොදම මුදල් ඇමති :

එසේ චෝදනා පිට චෝදනා එල්ල වුවද ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස “ද බැන්කර්“ සගරාව විසින් මෙවර නම් කර ඇත්තේ රවීකරුණානායක මහතාවය.

පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබේ.

(සත්හඬ)

Related posts

පාතාල කල්ලි නායකයෙකු වන ගගනගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

පාර්ලිමේන්තුවේ බහුතරය අපට දෙන්න

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත් FM නාළිකාව ජනපති සුරතින් වැඩ පටන් ගනී…!

colombotoday

එජාපයේ නායකයා රනිල්මයි… සෙසු නිලතළ සංශෝධනයට කමිටුවක් පත් කෙරේ… කෘත්‍යාධිකාරියේ තීරණය මෙන්න

colombotoday