Colombo Today Local News

“ආවේගශීලී විරෝධතා” ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් – හදිසි නීතිය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා බව එහි වැඩිදුරටත් දක්වා ඇත.

දින ගණනාවක සිට අගනුවර ඇතුළු දිවයින පුරා සංවිධානය කෙරෙන “ආවේගශීලී විරෝධතා” ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්…..

“ඊයේ (මැයි 6) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීම ත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාම ත් අරමුණ කොටගෙන බව රජය කියා සිටී.

කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිවිපාක සහිත සාධක ගණනාවක සමස්ත ප්‍රථිපලය ලෙස ශ්‍රී ලංකාව දැන් නිදහසින් පසු බරපතළ ම ආර්ථික සමාජ අර්බුදයට ත් දේශපාලන අස්ථාවරත්වයට ත් ගොදුරු වී ඇත. ඉන් ගොඩ එනු පිණිස අපේ දේශපාලන, ආර්ථික, සමාජ දේහයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ සමූහයක් කළ යුතු බව පොදු පිළිගැනීම වී තිබේ. හැකි කෙටි ම කාලය ඇතුලත විනිමය හිඟය කළමනාකරණය, භාණ්ඩ හා සේවා සැපයුම් යාථාතත්වයට පත්කිරීම ඒ අතර ප්‍රමුඛත්වය ගනී.

මහ නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, සෙසු පූජකවරු, ආර්ථික විශේෂඥයන්, ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥයන් සහ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් අර්බුදය ජයගැනීමට කළ යුතු ප්‍රතිසංස්කරණ කවරේදැයි ගතවූ කාලය තුළ පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය පසුගිය අප්‍රේල් 23 දා ප්‍රකාශයට පත්කළ නිවේදනයෙන් ප්‍රතිසංස්කරණ යෝජනා රැසක් හඳුන්වා දුන්නේ ය.

රට හමුවේ ඇති හදිසිතම අභියෝගය ආර්ථික හා ණය අර්බුදය කෙටි කාලක් ඇතුලත කළමනාකරණය කිරීම යි. ප්‍රතිසංස්කරණ ආරම්භකොට ඉදිරියට ගෙන යාමට සමත් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් තිබීම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව බව නීතීවේදීන්ගේ සංගමය විසින් අවධාරණය කෙරිණි.

මූල්‍ය සහන ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහකරණය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ බහුපාර්ශ්වික ආයතන සහ මිතුරු රටවල් සමග සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබේ. ඊට සාධනීය ප්‍රතිචාර පළ වී ඇත. ඒවායේ සාර්ථකත්වය පිණිස අවශ්‍ය ශක්තිය සහ විශ්වාසය ගොඩ නැගීමට දේශපාලන ස්ථාවරත්වය සහ සමාජ සාමය ප්‍රධාන ම කොන්දේසියකි.

දැන් දින ගණනාවක සිට අගනුවර ඇතුළු රට පුරා ම පාහේ සංවිධාන කෙරෙන ආවේගශීලී විරෝධතා ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් වී ඇත. ඉන්ධන සැපයුම ඇතුළු අත්‍යවශ්‍යය සේවාවන්ට බාධා පැමිණ තිබේ. දුම්රිය සහ පොදු මගී ප්‍රවාහනය අඩාල වී ඇත. රෝහල්වල දෛනික කාර්යයන්ට බාධා ඇතිවීමෙන් රෝගීහු පීඩාවට පත්ව සිටිති. ඇඟළුම් ඇතුළු නිෂ්පාදන කර්මාන්තවල වැඩ විටන් විට ඇන හිටියි. දරුවන්ට පාසල් යාමට නොහැකි වී ඇත. රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ ම කම්හල් සහ ආයතනවල සේවකයනට සේවයට වාර්තා කිරීමට අපහසු වී තිබේ. මේ විරෝධතා ජන ජීවිතය අඩාල කිරීමට අමතරව ආර්ථික අර්බුදය තවත් උත්සන්න කරයි.

එබැවින් මහජන ආරක්ෂාව සහ ජන ජීවිතය සුකරක්ෂිත කිරීම, අත්‍යාවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම පොදු ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම සහතික කිරීම යන අරමුණු සපුරා ගැනීම පිණිස මහජන ආරක්ෂක ආඥා පනතින් ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව හදිසි අවස්ථා නීතිය බලාත්මක කෙරිණි. හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටි කාලීන පියවරක් වශයෙන් පමණි. යථාතත්වය උදා වූ වහා ම එය ඉවත් කරනු ලැබේ.”

Related posts

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහලට – වාහන තදබදයටත් බද්දක් මගියාට

colombotoday

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් !

colombotoday

සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්ද කඩා වැටුණා.. සිදුවූ ඛේදවාචකය ගැන කණගාටුයි

colombotoday