Colombo Today Local News

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

udaya gammanpilaපිවිතුරු හෙළ උරුම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්‍ෂ නායකයින් දැක්වූ අදහස් මෙසේය.

ජන සටන පාද යාත්‍රාව පිලිබඳ ආණ්ඩුවේ කතා

ලංකා ඉතිහාසයට පමණක් නොවේ ලෝක ඉතිහාසයට අළුත් පරිච්ඡේදයක් එකතු කරමින් අපි සාර්ථකව ජන සටන පා ගමන අවසන් කලා. සමස්ථ ලෝක ඉතිහාසයේම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වසරක් ඇතුලත, ආණ්ඩුවට එරෙහිව පා ගමනක මෙතෙක් ලෝකයේ වාර්තා වුණු වැඩිම සෙනඟ වාර්තා වුණේ ජන සටන පා ගමනේ. පා ගමනේ සාර්ථකත්වය මනින ක්‍රමයක් චීනයේ සුන් සූ කියන යුද විශේෂඥයා කියලා තියෙනවා. සතුරා ඔබව වර්ණනා කරයි නම් ඔබ දුර්වලය. අසාර්ථකය. සතුරා ඔබව විවේචනය කරනවා නම් ඔබ සවිමත්ය. සාර්ථකය. දැන් නිල් අලි පැටව් රතු අලි පැටව් කොල අලි පැටව් එකට එකතු වෙලා හංස සන්ධානය හදා ගෙන පා ගමනට පහර දෙනවා. මේ කර්කශ විවේචන වලින් පෙනෙන්නේත් පා ගමන අතිසාර්ථක බවයි මේක ආණ්ඩුව හෙල්ලෙන පා ගමනක් නොවේ නම් ඇයි මේ තරම් ඒක ගැන කතා කරන්නේ?

මේ පා ගමනට ආණ්ඩුව බය වුණේ නැති නම් පා ගමනට එරෙහිව තහනම් නියෝග ගන්න උසාවි අටකට පොලීසියයැව්වේ ඇයි? එයින් සාර්ථක වුණේ මුල් දෙක පමණයි. අනිත් ඉල්ලීම් හයම උසාවි ප්‍රතික්ෂේප කලා. නීත්‍යානුකූලව වෙන් කළ රැස්වීම් භූමිය අන්තිම මොහොතේ අවලංගු කලා. ඒ අනුමැතිය අවලංගු කලේ ඇයි මේවා ආණ්ඩුව විසින් පැහැදිලි කල යුතු උත්තර නොදෙන ප්‍රශ්න.

චන්ද්‍රිකා මැතිණිය කියනවා පා ගමන අතිඅසාර්ථකයි කියලා. එතුමියට පුංචි අකරතැබ්බයක් වුණා. එතුමිය පා ගමන බලන්න හොරගොල්ල වලව්වෙන් එලියට බැස්සේ සුපුරුදු පරිදි පැය කිහිපයක් ප්‍රමාද වෙලා. එතකොට පා ගමන වලව්ව පසු කර බොහෝ දුර ගිහින්. එතුමිය දැක්කේ පා ගමන බලන්න දෙපස රැස් වෙලා සිටි සෙනඟ විසිරි යන ආකාරයයි. ඒකයි එතුමියට පා ගමන අසාර්ථකයි කියලා හිතුනේ.

අපේ කිරිඇල්ල ඇමතිතුමා කිරි වලින්ම ඇල්ල තිබෙන නිසා හැමදාම නා ගන්නවා. ගරු කිරිඇල්ල ඇමතිතුමනි, හෙලිකොප්ටරයෙන් යන විට කිලෝ මීටර් පේන්නේ යාර වෙලා තමයි. ඒකයි කිලෝ මීටර් කිහිපයක් යාර 100ක් විධියට දැක්කේ. සැහැල්ලු ගුවන් යානයකින් ගියා නම් ඕක අඩි වෙලා පේන්නේ. ජෙට් ගුවන් යානයකින් ගියා නම් ඕක අඟල් වෙලා පේන්නේ. හොඳ වෙලාවට එතුමා පා ගමන යන වෙලාවේ හඳේ නොහිටියේ. නැතිනම් කියාවි, පා ගමනක් ගියා කියන්නේ පට්ට බොරුවක්. මම හඳේ ඉඳලා ලංකාව දිහා බලන කොට එහෙම පා ගමනක් පෙනුනේ නෑ කියලා. මේක මහා පට්ටපල් බොරුවක් ලංකාවේ ජන සටන පා ගමනක් ගියේ නෑ කියලා. හොද වේලාවට එතුමා හදේ නෙවෙයි හෙලිකොප්ටරයේ හිටියේ ඒක නිසා කිලෝ මීටර් පේන්නේ යාර වෙලා පෙනුනේ අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා රටේ වැදගත් දෙයක් සිදුවෙන අවස්ථා වලට වැරදිලාවත් හදට යන්න එපා කියලා.

සමහරු අහනවා කෝ පා ගමන ඇවිත් ආණ්ඩුව පෙරළුවා ද කියලා. අපි නම් හිතුවේ පා ගමන එන විට ආණ්ඩුව පෙරලලා ඇමතිධුර, අගමැතිධූරය, ජනාධිපතිධූරය මේ පා ගමනේ එන අය ගනීවි කියලා කෝ එහෙම ගත්තද එහෙම දෙයක් වුණේ නෑනේ කියලා. ලෝක ඉතිහාසය ගැන මේලෝ දැනුමක් නැති ලිං මැඩියන් එහෙම කිව්වට ලෝක ඉතිහාසයෙන් අපිට උදහාරණ දෙන්න පුළුවන්. මහත්මා ගාන්ධි 1930 දී දින 24ක් පුරා කිමී 390ක් පා ගමනින් ගියත් පා ගමන අවසන් වන විට ආණ්ඩුව පෙරලුනේ නෑ. නමුත් ඉතිහාසඥයෝ දේශපාලන විචාරකයින් පිලි ගන්නා පොදු මතය තමයි ඉංග්‍රිසි ආණ්ඩුවට එරෙහිව සමස්ත ඉන්දියාවම ගොනු කලේ ගාන්ධිගේ ලුණු පා ගමනයි කියලා. ඒ වගේම යන්තම් වසරක් වයසැති මේ ආණ්ඩුවට එරෙහිව ජාතිය අවදි කලේ මේ පා ගමනයි. දොන්ජුවන් ධර්මපාල හරහා පෘතුගීසින් ලංකාව පාලනය කලා වගේ අද සිරිසේන රනිල් ජනපති අගමැති පුටුවල වාඩි කරලා ඉන්දියානු ඇමෙරිකානු රූකඩ ආණ්ඩුවක් ලංකාවේ ගෙනියනවා. මේ පා ගමනින් අපි ආරම්භ කලේ පසුගිය සියවස තුල ජාතියේ තෙවන නිදහස් සටනයි. ඒ නිසා පා ගමනට සහභාගි වුණු අයට ඔබේ පයේ රැඳුනු පාවහන් සිහිවටනයක් ලෙස සුරැකිව තබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔබ ජාතික නිදහස් අරගලයේ ජීවමාන සාක්ෂිකරුවෙකු බවට ලොවට කියන්නට එය කදිම සාක්ෂියක් වේවි කියා අපි හිතනවා. මේ නිදහස් අරගලයට රට උණුසුමුව රට සුදානම්ව තියෙනවා කියලා අපිට පැහැදිලියි. ඒ නිසා අපි ආත්ම විශ්වාසයෙන් මේ ආණ්ඩුව ගෙදර යවන ඊළග අධියරට අපි සුදානම් වෙනවා.

පා ගමනට පැමිණි සෙනඟ පිලිබඳ විවිධ මත කියනවා. සමහරුන්ට 2000යි. දුම්න්ද දිසානායක මැතිතුමා 20,000 මහින්ද අමරවීර මැතිතුමා 25,000යි. මේ සියළු දෙනාට එක්කෝ ගණිතය බෑ. නැතිනම් අවාසියා දෘෂ්ටියාබාධා කියන භයානක රෝගය වැළදිලා. ඒ කියන්නේ අවාසි දේවල් පමණක් පේන්නේ නෑ තමන්ට වාසි දේවල් පමණයි පෙන්නේ. ඒ නිසා ගණිතය දන්න කෙනෙකු හැටියට මගේ යුතුකමක් තිබෙනවා යම් විද්‍යාත්මක ගණනය කිරීමක් කරන්න. මෙහෙම ප්‍රශ්නයක් වෙයි කියලා අපි හිතුවේ නෑ. Miracle SKY Vision කියන වෙබ් අඩවියේ අහසින් විඩියෝ සහ ඡයාරුප ලබා දෙන ව්‍යාපාරික ආයතනයක්. ඔවුන්ගේ වෙබ් අඩවියේ එම ඡයාරුප හා විඩියෝ ඇතුලත් කරලා තියෙනවා. ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් සෙනඟ හිටියද නැද්ද කියලා. මේක හදේ කරපු පා ගමනක් නෙවෙයි නේ සෙනග හිටියද නැද්ද අහන්න මහ පොළවේ සිද්ධ වුණේ නුවර සිට කොළඹ දක්වා නුවර පාර දෙපස ඉන්න පිරිසගෙන් ඇහුවනම් කියයි කොච්චර සෙගන හිටියද, කොච්චර දුරට තිබුණුද කියලා. බොරු කියලා සැගවිලා ඉන්න බෑ. ආණ්ඩුවේ ඉන්නේ බොරුකාරයෝ කියලා ජනතාවට දැන ගැනිමට හැකිවේලා තියෙනවා එච්චරයි වේලා තියෙන්නේ. මගේ අවශ්‍යතාවයකට ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධිකාරක වන ෂෙරෝන් සමරනායක මහතාට මම පා ගමන යන ගමන් කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා එහෙට මෙහෙට යන්න පාවිච්ච් කරපු මෝටර් සයිකලයෙන් මුල සිට අගට ගිහින් බලන්න කොච්චර දුර තියෙනවාද කියලා. මම මේක කිව්වේ පා ගමන මහරත් කිරිබත්ගොඩත් අතර එද්දි. ඔහු ගිහින් ඇවිත් මට කිව්වා කඩවත නගරය පහුවෙනකන් පෝලිම තියෙනවා කිලෝමීටර් 4.8ක් දිගයි කියලා.

ගමන් ගත් පුද්ගලයා ෂෙරෝන් සමරනායක
යොදා ගත් මෝටර් සයිකලය සීපී යූසී 0045
දිනය 2016 ජූලි 31 (සිව්වන දිනය)
දිග මනින ලද ස්ථානය පා ගමනේ මුලමහර සහ කිරිබත්ගොඩ අතර තිබිය දී පා ගමනේ අගකඩවත නගරයට මදක් ඈතින්
නිට්ටඹුව සහ කිරිබත්ගොඩ අතර දුර කිලෝ මීටර 29
ගත වූ කාලය පැය 11
පාද යාත්‍රාවේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර 2.6
මෝටර් සයිකලයට පා ගමන පසු කිරීමට ගත වුණු කාලය විනාඩි 15
මෝටර් සයිකලය දුර මනින අතරේ පෙරහැර ගිය දුර 0.7
පා ගමනේ මැන ගත් දිග කිලෝ මීටර 4.8
පා ගමනේ සැබෑ දිග කිලෝ මීටර 5.5
පා ගමනේ තිබුණු ප්‍රදර්ශන රථ වල දිග කිලෝ මීටර 0.1
පා ගමනේ සෙනඟ පමණක් දිග කිලෝ මීටර 5.4
පලලට සිටි මිනිසුන් ගණන (මං තීරුදෙකක) 20
මීටරයක් තුල පිටුපසට එක්පෙලක සිටි මිනිසුන් ගණන 3
මීටරයක් දිගට සිටි සම්පූර්ණ ගණන 60
කිලෝ මීටරයක් තුල සිටි මිනිසුන් ගණන 60,000
මනින අවස්ථාවේ පා ගමනේ සිටි සෙනඟ 324,000

වාසිය අවාසි විදිහට ගණන් හැදුවම පා ගමනේ අවම වශයෙන් 324,000ක් ගමන් කරලා තියෙනවා. අන්තිම දවසේ ඊට වැඩියි. විශාල පිරිසක් බලන්න ඇවිත් ඒ අයත් එකතු වුනා. සෙනග ගැන මිට පෙර මට කතා කරලා මගෙන් අහලා තියෙනවා නුගේගොඩ, අනුරාධපුර, කැස්බෑවේ රැස්වීම්වල සෙනග කොච්චර හිටියද කියලා මම විද්‍යාත්මකව ගණනය කරන්න දන්නේ නැති නිසා උත්තර දුන්නේ නෑ. මොකද සෙනග දිහා බලලා කියන්න බෑ. විද්‍යාත්මක ගණනය කිරීමක් නැතුව මම ප්‍රකාශ කරන්නේ නෑ මෙතන මෙච්චරයි කියලා. නමුත් පා ගමණක් එද්දි අපිට ගණනය කරගන්න පුළුවන් වුණ ඒ නිසා 2000 සිට 25000 දක්වා ආණ්ඩුව පවසන කතා නම් අතිශයම විහිළු සහගතයි කියලා අපි ප්‍රකාශ කරන්න ඔනේ.

හනුමා පාලම පුපුරවන්න වුව අප සූදානම්.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ වෙබ් අඩවිය උපුටා දක්වමින් මම මාධ්‍යවලට හෙලි කිරීමක් කලා. ඉන්දියාව හා ලංකාව යා කරමින් පාලමක් ඉදි කරන බවට විශේෂ ප්‍රකාශයක් කර තිබෙන බව මම ඉන්දියානු ඉංග්‍රිසි මාධ්‍ය උපුටා දක්වමින් කිව්වා. හනුමා පාලම ඉදි කරන්න ඉන්දියාව ඩොලර් බිලියන 5.2ක ණයක් ඉල්ලා තිබෙන බව. මම මේක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ලෙස ඇහුවම පිලිතුරු දුන්නු මහ මාර්ග අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා කිව්වා මේක සම්පුර්ණ බොරුවක් එහෙම කිසිම සකච්චාවක් කරලා නෑ කියලා මගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ඉන්දියාවේ මහමාර්ග ඇමති ඉන්දියානු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා ලංකාව සහ ඉන්දියාව සදහටම යා කරමින් හනුමා පාලම ඉදි කරනවා කියලා. ඊට පස්සේ මම ආපහු මහ මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගෙන් ඇහුවාම එතුමා කියනවා එහෙම පාලමක් හදන්න අපේ කිසිම සූදානමක් නෑ කියලා.
අපිට දැන් ඉන්දිය අමාත්‍යවරයා ඉන්දියාවේ පාර්ලිමේන්තුවට බොරු කිව්වද නැත්නම් ලංකාවේ අමාත්‍යවරයා ලංකාවේ පාර්ලිමේන්තුවට බොරු කිව්වද කියන ප්‍රශ්නය එනවා. එහෙම නැත්නම් ශ්‍රිලංකාවේ කැමැත්තක් නැතුව ඉන්දියාව බලහත්කාරයෙන් මේ පාලම ඉදිකරන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ සෘජුවම ඉන්දිය ආක්‍රමණයක් අත ළග කියලා. මම මහා මාර්ග අමත්‍යවරයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණුවිට ඔහු කිව්වේ ඔබ ඇයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ වෙනදේවල් විශ්වාස කරන්නේ ඔබ ලංකාවේ මන්ත්‍රීවරයෙක් විදිහට ලංකාවේ පාර්ලිමේන්තුවේ වාර්තා කරපු දේ විශ්වාස කරන්න. අගමැතිවරයා නැගිටලා කියනවා මම මේ පිළිබද සොයා බැලුවා මේක ඉන්දියාවේ මහා මාර්ග අමත්‍යවරයා ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ හින්දි භාෂාවෙන් මට නම් හින්දි තේරෙන්නේ නෑ. ඔබතුමාට හින්දි පුළුවන්ද මේක කියවලා ඇවිත් අපෙන් ප්‍රශ්න කරන්නේ. අගමැතිතුමා මට කියනවා කියන්න හින්දියෙන් වචන තුනක් හතරක්. මට කියන්න තිබුණා කුච් කුච් හෝතාහේ දිල්තෝ පාගල් හේ කියලා. පාර්ලිමේන්තුවට එක කවටයෙක් සිටිම ප්‍රමානවත් නිසා මමත් තවත් කවටයෙක් වෙනවා වෙනුවට මම කිව්වා ගරු අග්‍රමාත්‍යතුමනි මම උපුටා දක්වන්නේ ද හින්දු කියන පුවත් පතයි. මේවැනි දෙයක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කලා කියලා පුවත් පතේ වාර්තාවෙනවා. අනිත් එක ඒ ප්‍රකාශය වැරදියි කියලා නිවැරදි කිරීමක් කරලත් නෑ. මම දිනපතාම වගේ ද හින්දු පුවත් පත බලනවා වෙබ් අඩවියෙන්. අගමැතිතුමනි ඔබතුමාට හින්දි බැරිවෙන්න පුළුවන් නමුත් ඉන්දියාවේ තිබෙන ශ්‍රි ලංකාවේ තනාපති කාර්යාලයේ සිටින අයට හින්දි බැරිවීම විමතියට හේතුවක්. කැලනි විශ්ව විද්‍යාලයේ හින්දි පිළිබද කථිකාචාරවරයෙක් ලවා එම ප්‍රකාශය සිංහලට හරි ඉංග්‍රිසියට හරි පරිවර්තනය කර කියවා තේරුම් ගන්න මේක ලංකාවේ ස්වාධිපත්තියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අගමැතිතුමා සුපුරුදු පරිදි විහිළුවෙන් එම ප්‍රශ්නය මගහැරියා.

දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ අගමැති ලංකාවේ පාර්ලිමේන්තුවට බොරු කියනවාද? ඉන්දියාවේ මහමාර්ග ඇමති ඉන්දියාවේ බොරු කියනවාද? ඒ ප්‍රශ්නය අපිට විසදලා දුන්නා මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තානුවර (Indonesia Jakarta) පැවැත්වෙන දොලොස්වන ස්ලාමිය ආර්ථික සමුළුවට සහභාගිවන ශ්‍රිලංකාවේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කාබිර් හසිම් මැතිතුමා. අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියවා ඉන්දියාවත් ශ්‍රිලංකාවත් යා කරන පාළමක් හදන්න සාකච්චා වෙනවා කියලා. ලංකාවේ අගමැතියි මහා මාර්ග ඇමතියි ලංකාවේ පාර්ලිමේන්තුවට බොරු කිව්වත් ඉන්දියාවේ මහාමාර්ග ඇමති ඉන්දියාවේ පාර්ලිමේන්තුවට බොරු කියන්නේ නෑ. ආණ්ඩුවට හයියක් නෑ රටට මේ රටේ අනාගත ඉරනම ගැන කියන්න. හැබැයි ඉන්දුනිසියාවේ ගිහිල්ලා ව්‍යාපාරිකයෙක් ඇහුවම ඇත්ත කතාව කියනවා. අද අපේ ආණ්ඩුව යුධ අපරාධ අධිකරන, එක්තා, හනුමා පාළම වේවා මේ ආණ්ඩුව ඇමරිකානු ඉන්දියානු ගැති රුකඩ ආණ්ඩුවක් කියලා පෙන්නවන්න තවත් නිදසුනක් කියලා කාබිර් හසිම් මැතිතුමා කල ප්‍රකාශය පෙන්වන්න පුළුවන්.

මේ පාලමට අපි විරුද්ද වෙන්නේ සහේතුකවයි. චීන අධිරාජ්‍යයන් චීනය වට කරලා චීන මහා ප්‍රාකාරය හදන්න හැදුවා. ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා හදේ හිටියනම් දකින්න පුළුවන් එකම මිනිසා කල නිර්මානය තමයි චීන මහා ප්‍රාකාරය. ලංකාවේ රජවරු ලංකාව වට කර පවුරක් ඉදිකලේ නැත්තේ අපි දුපතක් වීමේ වාසිය. අපි විශේෂයෙන් පවුරක් අවශ්‍ය නැති ඉන්දියන් සාගරය අපේ රට වට කරගෙන අපිව රකිනවා. අපේ දේශසිමා හරි ලස්සනට තියෙනවා. එය සදහටම විනාශ කිරිමක් තමයි මේ හනුමා පාළම ඉදිකිරීම. මේකෙන් ඇත්තටම යා කරන්නේ ලංකාවේ උතුර හා තමිල්නාඩුවයි. ඒ දෙපැත්තෙම ඉන්නේ එකම ජන වර්ගයක්. ඉන්දියාව අතිශය දුප්පත් රටක් මේ ලෝකයේ දුප්පත් ජනගහන මිලියන 400ක්. ලංකාවේ ජනගහනය මිලියන 21යි. ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන ජනගහනය මිලියන 51ක්. මේ පාලම හැදුවම අනිවාර්යෙන්ම තමිල්නාඩුවේ සිට ලංකාවට නොනවතින පොළිමක් හැදෙනවා. අපේ රටේ ජනවාර්ගික සංයුතිය වෙනස් වෙලා සිංහලයන් බහුතරයක් සිටින රට සිංහලයන්ට අහිමි වෙනවා. ඉන්දියාව මේ විදිහට පිජිරටට ගිය නිසා ස්වදේශිය ජනතාව යටපත් කරගෙන ප්‍රජාත්‍රන්තවාදිවම පිජිරට පාලනය කරන්නේ ඉන්දියානු සංක්‍රමනයන්. මොකද අද රටේ බහුතරය ඒ අය නිසා.

ඒවගේම ශ්‍රිලංකාව බෝවෙන රෝග හොදින්ම පාලනය කරපු රටවල් දහයට අයිති රටක්. තුන්වන ලෝකයේ රටවලින් කිව්බාව සහ ලංකාව විතරයි ඒ දහයේ ඉන්නේ. මැතකදි පොලියෝ රෝගයෙනුත් ලංකාව සදහටම තුරන් කලා. මැතක් වෙනකත් ඒඩ්ස් රෝගයත් තුරන්වෙලා තිබුණා මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි වැඩිවුණේ. ඉන්දියාවේ බෝවෙන රෝග සාතිශය බහුතරයක් ඉන්දියාවේ තියෙනවා. දුප්පත්කමයි අධ්‍යාපනයි තියෙන ශ්‍රි ලංකාවේ දිළිදු භාවය 6% දක්වා පහතට ගෙනත් තියෙනවා. සාක්ෂරතාව තියෙනවා නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න 92%. නිදහස් සෞඛ්‍යට පින් සිද්දවෙන්න උපතේ දී අපෙක්ෂිත ආයු කාලය, ළදරු මරණ සංඛ්‍යාව, මාතෘ මරණ සංඛ්‍යාව පහලින්ම තියෙන තුන්වන ලෝකයේ රට. ඒ අය ලංකාවට අවොත් අපේ රට දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙනවා.

ඉන්දියාවේ විරැකියාවත් එක්ක අද කම්කරුවෙක් රුපියල් 1000ට කරන දේ මේ අය ලැස්තියි රුපියල් 300ට කරන්න. ලංකාවේ සේවා නියුක්තිය පිළිබද ප්‍රශ්නයක් ඇතිවෙනවා. ජනවාර්ගික ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න රාශියකට තුඩු දෙන මෙම පාළම ඉන්දියාවට බයේ හදන්න එපා. මේ ආණ්ඩුව මේක හරි කියලා හිතනවනම් මම ප්‍රශ්නේ අහපු දවසේම ඇත්ත කියන්න තිබුණා. රටට බයේ ඉන්දුනිසියාවේදි එළියට දැමිමෙන් පෙනෙන්නේ ආණ්ඩුව ඉන්දියාවට බයේ මේ පාළමට එකග වී ඇති බවයි. අපේ ස්භාවයෙන්ම ලැබුණු ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය සේවා නියුක්තවල දර්ශකයන් ඉන්දියාවට බයේ පාවා දෙන්න එපා. අපි ආණ්ඩුවට වගකීමෙන් කියනවා මේ පාලම ඉදිකරනවා නම් ජනමත විචාරනයකින් ජනතාවගෙන් අනුමැතිය ලබා ගත යුතුයි.

මේ පාළමට විරුද්ධව රටේ ජනතාව කැරලි ගසමින් පාරට බහින්න සිදුවේවි. ආයුධ අතට ගත්තොත් ජනමතයට එරෙහිව යමින් ඉන්දියාවට හිස නමා ඉන්දියාවට බයේ ජාතියේ ස්වාධිනත්වය පාවා දෙමින් ජාතික ආරක්ෂාව සහ ජාතියේ සංවර්ධනයේ ප්‍රගතිය ඉන්දියාවට පාවා දෙමින් පාළම ඉදිකරන මේ ආණ්ඩුව ඒ වැගිරෙන සැම ලේ බිංදුවක වගකීම භාර ගත යුතුයි කියලා අපි මේ ආණ්ඩුවට වගකිමෙන් ප්‍රකාශ කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපි මේ පාලම මේ මහපොළොවේ ඉදිවෙන එක වළක්වන්න කල හැකි සෑම දේම කරනවා. ඒ පාළම ජාතික ආරක්ෂාව නාමයෙන් පුපරවා දැමිමට වුණත් අපි සුදානම් කියන එක අපි ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා.

අරවින්ද අතුකෝරල

Related posts

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට

colombotoday

රංගන හේරත්ටත් කොරෝනා

colombotoday

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

ධනපති පක්ෂවලට විරුද්ධව කෙළින් හිටගෙන ඉන්න ව්‍යාපාරය ජවිපෙ. සජිත් ප්‍රධාන නළුවට අභියෝග කරන්නේ නෑ .ජෝකර් කොහෙද ප්‍රධාන නළුවා පරාජය කරලා තියෙන්නේ?

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday

නඩු 600කට වඩා ඇති මහාධිකරණ 4කට අතිරේක අධිනීතිඥවරු යෙදවීමේ තීරණයක්

colombotoday