Colombo Today Local News

ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් පරාජය කරන්න තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් ලබන 4 වැනිදා රාත්‍රි 9 වනවිට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත්, මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු මේ බව තහවුරු කළහ.

විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් තීරණය කොට ඇති බවත් පක්‍ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ හෙට (02දා) පැවැත්වෙන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී එම තීරණය තහවුරු කරන බවත් එම අමාත්‍යවරු සඳහන් කළහ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු කරුණු 13ක්ම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බැවින් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවද එම අමාත්‍යවරු පැවැසූහ.

යුතුකමේ කාල සීමාව ජනාධිපතිවරයා අවසන් කර ඇති බැවින් රටේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කළයුතු යුගය උදාවී ඇති බව එම පක්ෂයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරු පිරිසක් පෙන්වා දුන්හ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බිය නොවූ මෛත්‍රිපාල සිරිසේන මහතාට රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම අභියෝගයක් නොවන බවද එම අමාත්‍යවරු සඳහන් කළහ.

එබැවින් සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් රැක ගැනීමට නම් ලබන 4 වැනිදාට පෙර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ජනතා මතයට ගරු කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ වගකීමත් බවද එම ජේ‍යෂ්ඨ අමාත්‍යවරු වැඩිදුරටත් පැවැසූහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවසන් එකඟතාවකට පැමිණි බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එවැනි සාකච්ඡාවක් නොපැවැත්වුණු බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී අවධාරණය කළේය.

මව්බිම

Related posts

“රටේ තීරණාත්මක තීන්දු ගන්න කොන්ද පණ ඇති නායකත්වයක් නෑ“ – ගෝඨාගෙන් සැර කතාවක්

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin

ගංජා සහ අන්තර්ජාලය නිසා ශ්‍රී ලංකාවේ මානසික රෝගීන් බහුල වෙලා

colombotoday

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin

පාර වසා උද්ඝෝෂණය කර මහජනයා පීඩාවට පත්කරාට අගමැතිට එරෙහිව පැමිණිල්ලක්

colombotoday