Colombo Today Local News

‘රාජපක්ෂලා, මෛත්‍රීට සහයනොදීම බරපතල අපරාධයක්’ – මහාචාර්ය නලින් ද සිල්වා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය නොදී රාජපක්ෂවරුන් කරන්නේ රටට බරපතල අපරාධයක් බව ප්‍රවීන දේශපාලන විචාරකයකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

වත්මන් දේශපාලන තත්වය ගැන විග්‍රහයක යෙදෙමින් එබව අවධාරණය කර ඇති නලින් ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

”අද මෛත්‍රිපාලට ආධාර නොකර සිටීමෙන් රාජපක්‍ෂලා කරන්නේ ඔහු දෙවැනි වරටත් රනිල් කරා යැවීමයි. රනිල් ඉවත් නොකර මෛත්‍රිපාල නැවතත් රනිල් කරා යැවීම රටට කරන අපරාධයක්.

එහෙත් ඇතැමුනට අවශ්‍ය 2025 දී බලය ගැනීම මිස රට බේරා ගැනීම නොවෙයි. මෛත්‍රිපාලට ආධාර නොකර ඔහු රනිල් වෙත යැවීමෙන් පසුව මහින්දවාදීන් කියාවි තමන් මෛත්‍රිපාල කරන්නේ රඟ පෑමක් බව කල් තියා දැන සිටි බව”

මහාචාර්ය නලින් ද සිල්වා මහතා ගේ සමස්ත විග්‍රහය පහත පළවේ.

දෙවැනි වරටත් මෛත්‍රිපාල රනිල් වෙත යැවීම

මෛත්‍රිපාලගේ සිංහල බෞද්ධකමක් තියෙනවා කිව්වම මහින්දවාදීන්/මෛත්‍රිපාල විරෝධීන් බොහෝ දෙනකුට කේන්ති ගිහින්. ඇතැමුන්ට අනුව මා ද්‍රෝහියෙක්. සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔවුන්ට අනුව මෛත්‍රිපාලගේ ඇති සිංහල බෞද්ධකමක් නැහැ.

මහින්ද නම් සිංහල බෞද්ධයෙක්, ප්‍රභාකරන්ගෙන් රට බේරාගත් වීරයෙක්. මා ප්‍රභාකරන් පරාජය කිරීමේ දී කෙළේ මොකක් ද කියලත් අහන අය ඉන්නවා. මා නම් කිසිවක් කර නැහැ. මට තුවක්කුවක් ගෙන කොටි මැඩීමට යෑමට හැකි කමක් තිබුණේ නැහැ.

ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී නොසිටි බැවින් මන්ත්‍රවරයකු හෝ ඇමතිවරයකු හෝ වී හමුදාවට කිට්ටු වීමට අවස්ථාවක් තිබුණෙත් නැහැ.

මුල දී මහින්දත් ඇහුවෙ කොටි පරාද කරන්නෙ කොහොම ද කියලා:

මහින්ද දෙමළ ත්‍රස්තවාදය මැඩීමට දේශපාලන නායකත්වය දුන්නා. ඒ දවස්වල හමුදාවට දේශපාලන නායකත්වය දෙන්න ඕන කීව්වම හමුදාවට දේශපාලනය ගෙන යන්න බැරිය කියා අපට සමච්චල් කළ අයත් හිටියා.

මුල දී මහින්දත් ඇහුවෙ කොටි පරාද කරන්නෙ කොහොම ද කියලා. එහෙත් ඔහුට දිය යුතු ගෞරවය අබමල් රේණුවකින්වත් අඩු කිරීමට අප පෙළඹුණේ නැහැ. එහෙත් 2010 ජයග්‍රහණයෙන් පසු ඔහු නොමග යෑමට පටන් ගත්තා. ඇතැමුන් ඔහු නොමග යැවුවා.

මෛත්‍රිපාල එකල එසේ නොමග ගියේ නැහැ. එතරම් වැදගත් නොවුණත් එකල සිදු වූ දෙයක් මා කියන්නම්. කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් අප අදෘෂ්‍යමාන බලවේග ප්‍රකාශ කළ අන්දමට කෘෂි රසායනික පොහොර විෂ බව කිව්වා.

ඒ අතර චන්න ජයසුමන දෙවියන්ගෙන් දැන ගෙන සහල්වල ආසනික් ඇති බව ද කිව්වා. මේ වකුගඩු ප්‍රශ්නයේ දී කීප දෙනකු මානව හිතවාදී වී ලකුණු දමා ගත්තා.

අදත් ඇතැමුන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ලකුණු දමා ගන්නවා. බොහෝ දෙනා හිතන්නේ මට කිසිම මනුෂ්‍යත්වයක් දයාවක් කරුණාවක් අනුකම්පාවක් නැති බවයි.

එ කොහොම වෙතත් බොහෝ දෙනා ලකුණු ලබා ගනිද්දී මට හිමි වූයේ ගල් මුල්. විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම, නාථ දෙවියන් විශ්වාස කිරීම ආදී කරුණු නිසා මා මෝඩයකු පිස්සකු යැයි බොහෝ දෙනා කියන්න පටන් ගත්තා. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි.

මෛත්‍රිපාල අපට එහෙම බොරු කිව්වෙ නැහැ:

එක් රාජපක්‍ෂ කෙනකුට අනුව ප්‍රීමා සමාගමේ පිටි අලෙවි කිරීමටයි අප සහල්වල ආසනික් ඇති බව කියා තියන්නේ. අපට ප්‍රීමා සමාගමෙන් මුදල් ලැබුණු බවක් ඔවුන් කිව්වා.

ඒත් මට මගේ ම නොවන මගේ ගෙවල් හෝ බැංකු ගිණුම් හෝ නැහැ.

මහින්ද දිනක් මට එන්න කියා ආසනික් කතාව නිසා ඉරානය අපේ තේ ගැනීම නවත්වලා කියා බොරු කතාවක් කීවා.

ඒත් මෛත්‍රිපාල අපට එහෙම කිව්වෙ නැහැ. ඔහු දැන ගෙන හිටියා රසායනික පොහොරවල ප්‍රශ්නයක් ඇති බව. මට ඔහු හමු වූයේ නැති වුවත් කැලණිය විශ්වවිද්‍යාලයේ ආසනික් පිළිබඳ පරීක්‍ෂණ කළ කණ්ඩායමට ඔහු හමු වී තිබුණා.

එකල සිටි අනෙක් ඇමතිවරු අපට වචනයකින් පමණවත් හිතවත් කමක් දැක්වූයේ නැහැ. මහින්ද යාපා අබේගුණවර්ධන දි මු ජයරත්න ආදීන් සමග මට වචන හුවමාරු කර ගන්න සිදු වුණා.

‘මෛත්‍රීට සිංහල බෞද්ධ කමක් නැත කියා කියන්න බැහැ’

මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වී පක්‍ෂය මරා දමා ජනාධිපති තරගයට ඉදිරිපත් වුණා. ආසනික් ප්‍රශ්නයක් මුල් කරගෙන අප ඔහුට පක්‍ෂපාත වූයේ නැහැ.

එහෙත් ඔහුට සිංහල බෞද්ධ කමක් නැත කියා කියන්න බැහැ. ඔහුගේ ප්‍රශ්නය එක් රාජපක්‍ෂ කෙනකුගෙන් වූ කෙණෙහිලිකම් නිසා ඇති වූවක්. මා එසේ කියා ඔහුගේ පාවාදීම යුක්තියුක්ත කරන්නේ නැහැ.

ඔහුට අද රනිල් සමග විරසකයක් ඇති වී තිබෙනවා. මෛත්‍රිපාල විරෝධීන්/මහින්දවාදීන් බොහෝ දෙනකු සිතන්නේ ඒ රඟ පෑමක් පමණක් ය කියා.

එදා අප වෙන ම පක්‍ෂයකින් මැතිවරණය තරග කළ යුතු ය කියන විට අපට විරුද්ධ වූ බොහෝ අය අද මෛත්‍රිපාල සමග කිසිම ගණුදෙනුවකට කැමති නැහැ. ඔවුන් දැන් බුද්ධිමත් වෙන්න පුළුවන්.

ඇතැමුන්ට අනුව මා පරස්පර කියන්නෙක්. එහෙත් මා පසුගිය අවුරුදු තිස්පහක පමණ කාලයක කියා ඇති පරස්පරයක් පෙන්නන්න පුළුවන් ද? මගේ අදහස් වර්ධනය වෙනවා. ඒකෙන් කියන්නෙ නැහැ මා පරස්පර අදහස් කියනවා කියා.

සිංහලයන්ගේ ඉතිහාසයේ සිදු වන තදබල වරදක්:

අද රාජපක්‍ෂලා මෛත්‍රිපාලට ශක්තිය නොදීම සිංහලයන්ගේ ඉතිහාසයේ සිදු වන තදබල වරදක්. එදා මෛත්‍රිපාල රාජපක්‍ෂලාගේ ම වරද නිසා ජාත්‍යන්තරයේ අවශ්‍යතාවට ඉත්තකු වී මහින්දට විරුද්ධ වුණා. අද ඔහු ජාත්‍යන්තරයට පිටු පා රනිල්ට විරුද්ධ වී සිටිනවා.

එහෙත් ඔහුට එසේ වැඩි දවසක් ඉන්න බැහැ. රාජපක්‍ෂලා ඔහුට සහාය වී රනිල් ඉවත් කෙළේ නැත්නම් නැවතත් ඔහුට රනිල්ගේ රැකවරණය ලැබීමට සිදු වේවි. එවිට ඉහත කී මහින්දවාදීන් කියාවි මෛත්‍රිපාල කළේ රඟ පෑමක් කියා.

අද රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට සහාය දීමෙන් රෑ වැටුණු වළේ දවල් වැටෙනවා යැයි කියන්නේ කොහොම ද? මෛත්‍රිපාල පක්‍ෂය හැරදා යෑම වරදක් වුවත් ඔහු ඒ තැනට තල්ලු කෙළේ කවු ද? ඉන් පසු සංධානයෙන් මැතිවරණය තරග කිරීමට මුල් වුණේ කවු ද?

රනිල් ඉවත් කිරීමට වෙනත් ක්‍රමයක් තියෙනවා ද?

මා නැවතත් අහනවා සිංහල බෞද්ධකම ඇත්තේ මෛත්‍රිපාලට ද රනිල්ට ද කියා. මෛත්‍රිපාලට ආධාර කර රනිල් ඉවත් නොකර සිටින්නේ නම් අද රනිල් ඉවත් කිරීමට වෙනත් ක්‍රමයක් තියෙනවා ද? ක්‍රමයක් ඇත්නම් වහාම ඒ බව ප්‍රකාශ කරන්න.

රනිල් ඉවත් කිරීම් සඳහා 2020 නැත්නම් 2025 වෙනකම් ඉන්න ඕන ද? 2020 වන විට රනිල් ව්‍යවස්ථාවත් සම්පාදනය කර තමන්ට අවශ්‍ය දේ කරගෙන ඉඳීවි. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය තවත් දුර්වල කරාවි. හැකි නම් නැති කරාවි.

අද මෛත්‍රිපාලට ආධාර නොකර සිටීමෙන් රාජපක්‍ෂලා කරන්නේ ඔහු දෙවැනි වරටත් රනිල් කරා යැවීමයි. රනිල් ඉවත් නොකර මෛත්‍රිපාල නැවතත් රනිල් කරා යැවීම රටට කරන අපරාධයක්.

එහෙත් ඇතැමුනට අවශ්‍ය 2025 දී බලය ගැනීම මිස රට බේරා ගැනීම නො වෙයි. මෛත්‍රිපාලට ආධාර නොකර ඔහු රනිල් වෙත යැවීමෙන් පසුව මහින්දවාදීන් කියාවි තමන් මෛත්‍රිපාල කරන්නේ රඟ පෑමක් බව කල් තියා දැන සිටි බව.

(Dr. Nalin De Silva- උපුටා ගැනීම lankaleadnews)

Related posts

හිටපු ජනපති මහින්ද මට ටෙලිෆොන් කරනව.. එක එක වැඩ කියනවා.. ඒවත් මම කරල දෙනව

colombotoday

මෙවැනි හේතුවලට ඇමතිලා අස්වෙන්නේ ආණ්ඩුව හොද නිසා

colombotoday

ජාතික නාළිකාව බුදු රුවට නිගා කරයි !

colombotoday

නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් ?

colombotoday

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිගු පිටි මිළත් ඉහළට…

colombotoday