Colombo Today Local News

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්….

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අගමැති පදවියට පත්කොට, මීළඟ ජනාධිපතිවරණයටත් තරග කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උත්සාහය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබෙන්නේ ඒ සඳහා බව ද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා පැවසීය.

රටේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටි බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයාගේ “අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතාව” කවරක් දැයි පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේ ඔහු හැසිරුණු අන්දමින් පැහැදිලිව දක්නට ලැබුණු බවය.

“එතුමා ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ. ඒක පැහැදිලියි. ඒ නිසා නැවත ජනාධිපතිවරණයකදී ඔහුට මහින්ද රාජපක්ෂ මහතා ළඟ තියෙන ඡන්ද ටික අවශ්‍යයි. ඒ නිසා ඔහුට ඕනකම තිබුණා මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ වෙනත් පුද්ගලයෙක් සිටිනවා නම් ඔහුගේ සහයෝගයත් තමන්ට ලබාගන්න.”

එබැවින් ගෝඨාභය රාජපක්ෂ ද “හවුල් කරගෙන” ජනපතිවරණයට ඉදිරිපත්වීම ජනපති සිරිසේනගේ සැලසුම වී තිබූ බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

කෙසේ වුවත් පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජනපදයේ සිට යළි සිය රට බලා පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, “බැහැනේ මම ඇමරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ,” යනුවෙනි.

තමන් තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු වන බැවින් දේශපාලනයට පිවිසීමේ සැලසුමක් “තවම නැහැ,” බවත් ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සංවාදයේදී පසුගිය ඉරිදා සිදු කළ කැබිනට් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා සිටියේ, ගතව ගිය වසර තුනක කාලය තුළ වත්මන් ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමය ‘කොමඩියක්’ පමණක් නොව ‘ට්‍රැජඩියක්’ (ඛේදවාචකයක්) ද බවය.

විශේෂයෙන්ම සාගල රත්නායක අමාත්‍යවරයා යටතේ තිබූ නීතිය හා සාමය අමාත්‍යාංශය තාවකාලිකව අගමැතිවරයා යටතට පත්කිරීම මගින් කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වී තිබේ.

“නමුත් විශේෂයෙන්ම ජනවරමට අදාළව දූෂිතයන්ට එරෙහිව නඩු කටයුතු කරන්න බැරි වුනේ, මම හිතන්නේ නැහැ ඒක සාගල රත්නායක මහතාට අදාළ කරුණක් කියල,” බිමල් රත්නායක මන්ත්‍රීවරයා පැවසීය.

“මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන් කර තබා ගැනීමේ අවශ්‍යතාවයට විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා රාජපක්ෂ පවුලට අදාළ නඩු කටයුතු සීමා කළා, ඒවා හරියාකාරව ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ කියන එක පැහැදිලි කාරණයක්.”

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ‘දෙබිඩි ප්‍රතිපත්තියක්’ පිළිබඳව මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පවා මෑතදී සඳහන් කර තිබුණු බවත් සිහිපත් කළ ඔහු පවසන්නේ අගමැතිවරයා පමණක් නොව ජනාධිපතිවරයා ද සිය අනාගත සැලසුම් වෙනුවෙන් රාජපක්ෂ පවුලේ “තෝරාගත් සාමාජිකයන්” ආරක්ෂා කරන බවය.

කෙසේ වුවත් 2015 ජනපතිවරණයෙන් පසුව රාජපක්ෂ පාලනය දැඩි විවේචනයට ලක් කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, 2015 මාර්තු මාසයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, ජනපතිවරණය දින ජීවිත ආරක්ෂාව පිණිස තමන් මුතුරෙකුගේ නිවසේ රාත්‍රිය ගත කළ බවය.

ජනපතිවරණයෙන් පරාජය වූයේ නම් සිය “මුලු පවුලම විනාශ කිරීමේ සැලසුමක්” තිබුණු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ අවස්ථාවේ බීබීසී යට පැවසීය.

– BBC

Related posts

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday

එජාපයේ පුංචි කොල්ලො වටකරගෙන ජනපතිට ටොකු අනිනව.. ඉවසගන්න බැරිවෙනකොට එයා බොරු කිය කියා මට බණිනව

colombotoday

යුද අපරාධකාරයෙකුගේ දියණියකයැයි දෙමළ ඩයස්පෝරාවෙන් යොහානිට ප්‍රහාර

colombotoday

අබුඩාබි හි පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

colombotoday

අවසන් තීරණයකට එයි.. හම්බන්තොට වරායෙන් 80%ක අයිතිය චීනයට.. ගිවිසුම සූදානම් !

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව රැස්වෙයි

colombotoday