Colombo Today Local News

ජනපතිතුමනි කයිවාරුව ඇති.. දැන් ඉතින් වැඩ පෙන්නන්න – විමල් ජනපතිට ලියයි

මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා කතා පැවැත්වීමෙන් ඔබ්බට ගොස් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්‍ෂික නියෝජිත කැඳවීම සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියක එබව සඳහන් වේ.

වංචා දූෂණ පිළිබඳව පමණක් කතා කරමින් රට හමුවේ පවතින සෙසු බරපතළ ප්‍රශ්න යටපත් කිරීමට ද ඉඩ දිය යුතු නැතැයි ඔහු එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපිය පහත පළවේ.

ජනාධිපතිතුමනි,

භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්‍ෂික නියෝජිත කැඳවීම

ඔබතුමා විසින් ජනාධිපති ලේකම්වරයා හරහා ජාතික නිදහස් පෙරමුණ වෙත එවන ලද 2018-01-26 දිනැති ලිපිය හා බැඳේ.

ඕනෑම රටක සෑම ශිෂ්ටසම්පන්න ආණ්ඩුවක් පමණක් නොව දේශපාලන පක්ෂ, සංවිධාන සහ පොදු මහජනයා විසින් ද වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද දූෂණයට, වංචාවට සහ අල්ලසට එරෙහිව කළ හැකි සියලු දේ කළ යුතු ය.

එම පොදු පිළිගැනීම පිළිබඳව ක්‍රිස්තු පූර්ව 4 වැනි ශතවර්ෂයේ දී වානක්‍ය හෙවත් කෞටිල්‍ය පඩිතුමා විසින් ද සඳහන් කරන්නට යෙදිණි.

ඒ නිසා ඒ පිළිබඳ අපට විවාදයක් නැත. නමුත් වංචා දූෂණ පිළිබඳව පමණක් කතා කරමින් රට හමුවේ පවතින සෙසු බරපතළ ප්‍රශ්න යටපත් කිරීමට ද ඉඩ දිය යුතු නොවේ.

බැඳුම්කර වංචාව අප රටේ ඉතිහාසයයේ සිදු වූ බරපතළම සහ නිර්ලජ්ජිතම මූල්‍ය මංකොල්ලය බව සියලූ රටවැසියන් විසින් දැන් පිළිගෙන හමාර ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට අසුන් ගන්නා විනිසුරුවරුන් දෙදෙනෙකු ගෙන් සමන්විත වූ ජනාධිපති කොමිසම මගින් ඊට අදාළව චූදිතයන් වූ පිරිස් වැරදිකරුවන් බවට සාක්ෂි ඉදිරිපත් කොට ඇත. ඒ පිළිබඳව අපට තවදුරටත් වාද කිරීමට දෙයක් නැත.

දැන් අවශ්‍ය වන්නේ චූදිතයන්ට විරුද්ධව වහා නඩු පැවරීම ය. ඒ සඳහා නව නීති රිති අවශ්‍ය නැත. බලධාරීන්ට අවශ්‍ය නම් තිබෙන නීති යටතේ වහා එම ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව නීති විශාරදයින්ගේ මතය වේ.

නමුත් සිදු නොවන්නේ ද එයම ය. එපමණක් නොව ජනාධිපති කොමිසම හමුවේ ඉතා දක්ෂ ලෙස සාක්ෂි මෙහෙය වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නඩු පැවරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමෙන් මහජනයාට ලබා දෙන සංඥාව කුමක් ද?

ඔබතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම ඔබතුමාලාගේ ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ද බැඳුම්කර නාඩගම රඟපාමින් සමස්ත මැතිවරණ කාලයම ගෙවා දැමීමට සූදානම් වන බව පෙනේ.

ඒ තුළ රට බෙදීමේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය, බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා කරනු ලබන ආරක්ෂක හමුදා දුර්වල සහ දුර්මුඛ කිරීමේ ක්‍රියාවලිය, රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විකුණාගෙන කෑම ආදී සෙසු බරපතළ ජාතික ගැටළු හිතාමතා යටපත් කෙරෙන බවක් දැකිය හැක.

පසුගිය වසර 3 තුළ රටේ ආර්ථිකයට සිදු වූ විනාශය තව වසර තිහක් ගත වුව ද නිවැරදි කළ නොහැකි තරම් බරපතළ වේ.

උදාහරණයක් ලෙස බැඳුම්කර මගඩියට වගකිව යුතු දෙවන පෙළ නායකත්වයක් පාන්පිටි සහ කිරිපිටි සමාගම්වලට අසීමිත බදු සහන ලබා දීම නිසා වී ගොවිතැනට සහ කිරි ගොවිතැනට සිදු වන දීර්ඝකාලීන අනර්ථය යටපත් වී ඇත.

එම ඇමැතිවරයා විසින් කොමිස් ගැසීම සඳහා එම සමාගම්වලට ලබා දෙන සහනාධාරයේ ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 52,000කි. ඊට ලැබෙන කොමිස් මුදල 20%ක් ලෙස ගණන් බැලූව ද එම ප්‍රමාණය රුපියල් බිලියන 10,000කට වැඩි වේ.

ඒ අනුව එම වංචාව දෙවැනි වන්නේ මහා බැඳුම්කර වංචාවට පමණි.

මේ මහා පින්තූරය පිළිබඳ ඔබතුමා මුනිවත රකියි. ඊට අමතරව දූෂණ, වංචා මුලිනුපුටා දැමීමේ නාමයෙන් බලයට පත්වූ ඔබතුමා පළමු වටයේ දී බැඳුම්කර වංචාව හෙළිදරව් කරමින් නිකුත් කළ ‘ඩිව් ගුණසේකර වාර්තාව’ යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

ඔබතුමාට එම වගකීමෙන් නිදහස් වීම සඳහා සහ මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා කතා පැවැත්වීමෙන් ඔබ්බට ගොස් වහා ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වේ. එම දිනයේ දී ඔබතුමාගේ කාරුණික ඉල්ලීම සලකා බැලමට අපි කටයුතු කරන බව ගෞරවයෙන් දන්වා සිටිමු.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

මුහුද යටින් කේබලයක්.. ඉන්දියාව ලංකාවට විදුලිය අපනයනය කරන්න යයි !

colombotoday

Artificial Intelligence පෙන්නන්න ගිහින් හත්පොළේ ගාගනී… උගතුන් හා තරුණ පරපුර ගොනාට ඇන්දුවේ යැයි චෝදනා !

colombotoday

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

colombotoday

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday