‘ඒකීයභාවය’ රකින බවට දහඅතේ දිවුරුම් දෙමින් රජය ඉදිරිපත්කොට ඇති ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවෙන්ම ‘ප්‍රාන්ත ගණනාවක් එකතු වූ රාජ්‍යයක්’ යන්න දෙමළ බසින් ප්‍රකාශ කොට තිබීම අති භයානක තත්ත්වයක්…….බැව් ඊයේ (23දා) හදිසියේම රැස් වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ කමිටු රැස්වීම අවසානයේ නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවැසීය.

‘ඔරුමිත්ත නාඩු’ යන වචනය යොදමින් සිදුකර ඇති මෙම කමිටු වාර්තාව ඉතාමත්ම බරපතළ තත්ත්වයක් බැවින් වහාම රජයෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාගැනීමට නීතිඥ සංගමය මෙම කමිටු රැස්වීමේදී තීරණය කළ බවද යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ සඳහා ප්‍රශ්න 12කින් යුතු ප්‍රශ්නාවලියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් පිළියෙල කොට ඇති බවත්, ඒ සඳහා වහාම පිළිතුරු ඉල්ලා සිටින බවත් එකී පිළිතුරු සම්බන්ධයෙන් 28 වැනි දින පැවැත්වෙන නීතිඥ සංගම් රැස්වීමේදී සාකච්ඡාකොට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය එහිදී තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් රටට නොමැති අවස්ථාවක මෙවැනි ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණ කුමක්ද යන්නත්, එමඟින් රටේ භෞමික අඛණ්ඩතාවටත් රටේ ස්වෛරීත්වයටත් එල්ල විය හැකි තර්ජනය කෙබඳුද යන්නත් ගැන සංගමයේ දැඩි අවධානය යොමු කළ යුතු බව කමිටු රැස්වීමේදී සාමාජිකත්වය දැඩි ලෙස අවධාරණය කළ බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය යොමු කළ ප්‍රශ්නාවලිය මෙසේය.

01. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද?

02. (අ) ශ්‍රි ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද?
(ආ) එසේ නම්, ඒකීය රාජ්‍යය යන සංකල්පය කෙටියෙන් පැහැදිලි කරන්න.

03. පළාත් වලට කුමන බලතල පවරන්නේද?

04 (අ) මධ්‍යම රජයට හෝ පාර්ලිමෙන්තුවට අවශ්‍ය නම් එම බලතල ආපසු ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේද?
(ආ) එසේ නම්, ඒ කුමනාකාරයෙන්ද?

05. යම් සුදුසු තත්වයන් යටතේදී ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇද්ද?

06.  විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද?

07. (අ) අධිකරණ ව්‍යුහය කුමක්ද?
(ආ) ව්‍යවස්ථාවක අධිකරණයක් තිබේද?
(ඇ) එසේ නම්, අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද?

08. (අ) ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචානාධිකරණයට විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද?
(ආ) 1. එම පත් කිරීම් සඳහා යම් ක්‍රමවේදයක් තිබේද?
2. එසේ නම්, ඒ ක්‍රමවේදය කුමක්ද?

09. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කරන්නේ කෙසේද?

10. දිවයින පුරා ඇති දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ වල විනිසුරුවරුන් පත් කරන්නේ, ඔවුන් ස්ථාන මාරූ කිරීම් හා විනය පියවර ගනු ලැබීම අධිකරණ සේවා කොමිසමෙන් පමණක් සිදු කරනු ලබන්නේද?

11. (අ)  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලාත්මක කළ හැකි මුලික අයිතිවාසිකම් මොනවාද?
(ආ)   එම මුලික අයිතිවාසිකම් බලාත්මක කරන්නේ කුමන අධිකරණ වලින්ද?

12. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනත් සීමාසහිත කාලයක් තුළ විමර්ශනය කිරීමේ බලය අධිකරණයන්ට ඇත්ද?