Colombo Today Local NewsNew Constitution

සංඝ සභාවේ තීරණය මහා නාහිමියන්ගේ තීරණයයි.. සමහරු දැන් ඇවිස්සිලා, මර්ධනය කරන්න හදනවා

මල්වතු පාර්ශ්වයේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ සංඝ සභාවල තීරණයත් සමග මහානායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ කිසිදු වරදක්‌ නොමැති බව සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ. උන්වහන්සේ එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ (19 වැනිදා) කොළඹ මහජන පුස්‌තකාලයේදී පැවති “ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු – බෙදුම්වාදී ව්‍යවස්‌ථාව පරදවමු” යන තේමාව යටතේ සංවිධානය කළ ජාතික සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ,

කුමන නමකින් හැඳින්වුවත්, මෙම මොහොත වන විට රටට, ජාතියට, ආගමට අහිතකර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රට හමුවේ තබා තිබෙනවා. මෙම අවස්‌ථාවට සහභාගි වන බොහෝ දෙනකුට ඒ පිළිබඳව අවබෝධයක්‌ තිබෙනවා. ඒ වගේම අනෙකුත් දේශකයන් ඒ පිළිබඳව අදහස්‌ ප්‍රකාශ කරාවි. එම නිසා මම ඒ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මම මේ අවස්‌ථාවේදී කතා කරන්නේ මාධ්‍ය ආයතනවල සහ රාජ්‍ය බුද්ධි අංශයේ මහත්වරුන්ට.

මේ මොහොත වන විට මල්වතු සහ අස්‌ගිරි සංඝ සභා දෙකේ ප්‍රකාශය පිළිබඳව ඇවිස්‌සීමක්‌ සිදු වී තිබෙනවා. දැන් කල්පනා කරන්නේ මේක කොහොමද මර්දනය කර ගන්නේ කියන එක තමයි. මීට කලකට පෙර අස්‌ගිරි මහා විහාරය, අනිකුත් නිකායවල නායක හිමිවරුන් සමඟ කරුණු කිහිපයක්‌ අවධාරණය කළා. අපි ප්‍රකාශ කළා නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පිළිබඳව අපි අවදියෙන් සිටින බව. ඒ වගේම අපි එම අවස්‌ථාවේදී සඳහන් කළා එබඳු කටයුත්තක්‌ සඳහා වර්තමාන ආණ්‌ඩුවට ජනවරමක්‌ ලැබී නොමැති බව. නව ව්‍යවස්‌ථාවකින් හෝ ව්‍යවස්‌ථා සංශෝධනයකින් ඇති විය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව අපි එම අවස්‌ථාවලදී මහා විහාරය සහ මහා සංඝරත්නය විධියට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කිරීමට කටයුතු කළා. නමුත් ඒ කිසිවකුට සවන් නොදුන් බව සියලු දෙනාම දන්නවා.

ජනාධිපතිතුමා මට පෞද්ගලිකව සඳහන් කළා ව්‍යවස්‌ථාදායක කමිටුව අපව හමුවීම සඳහා එවන බව. මම අහගෙන සිටියා ලාල්

විඡේනායක මහතා සඳහන් කළා මල්වතු අස්‌ගිරි හිමිවරුන්ගෙනුත් වාර්තා ලබාගත් බව. නමුත් එහෙම දෙයක්‌ සිද්ධ වූයේ නෑ. ඒවා අමූලික බොරු. ඒ අය තමන්ට ඕනෑ ටික එකතු කරගෙන වාර්තාවක්‌ හැදුවා.

අපි දන්නවා දීර්ඝ කාලයක සිට අපගේ මාතෘභූමිය සංස්‌කෘතික උරුමයන්, බුද්ධාගම, සිංහල ජාතිය, අපත් සමඟ සහෝදරත්වයෙන් කටයුතු කරන ජනතාව සමග තිබෙන සමගිය කඩා බිඳ දැමීම සඳහා සිදුවන කටයුතු පිළිබඳව. ඒ සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළා. ඒ වගේම ඔවුන් සමහර පවුල්වලටත් සම්බන්ධ වෙලා එම කටයුත්ත කිරීමට උත්සාහ කළා. ඔවුන් කුමන ආකාරයෙන් කටයුතු කළත්, අපි එම කටයුතු මර්දනය කර ගැනීමට සමත් වූවා. ඒ වගේම කොටි සංවිධානය හරහා ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයත් රණවිරුවන්ගේ සහ ජනතාවගේ මැදිහත්වීමෙන් මර්දනය කර ගැනීමට අප සමත් වූවා.

එම නිසා චිත්‍රපට, සාහිත්‍ය කෘති හරහා පවා භික්‍ෂූන්ට සහ රණවිරුවන්ට පහර දුන්නා. එම ක්‍රියාදාමය අදත් සිද්ධ වෙනවා. අදත් විවිධ පුද්ගලයන් යොදවා මාධ්‍ය මගින් භික්‍ෂූන්ට පහර දෙනවා. භික්‍ෂූන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට කටයුතු කරනවා.

එම තත්ත්වය නතර කිරීමට කටයුතු කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම විල්පත්තුව ඇතුළු වනාන්තර විනාශ කරන එක පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක්‌ පත්කරන ලෙසත් එම අකටයුතු නතර කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. එපමණක්‌ නොවෙයි සිංහල ජනගහනය විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවාද කියල සොයා බලන්න කියල අපි ඉල්ලා සිටියා. ඒ වගේම මේ රටට සරණාගතයන් ලෙස පැමිණ සිටින අය පිළිබඳවත් සොයා බලන ලෙස අපි ඉල්ලා සිටියා. උතුරට සහ දකුණට එකම නීතියක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියා. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා කරන ප්‍රකාශ වල සීමාවක්‌ නැහැ. එතුමා අපේ පන්සලට ආපු අවස්‌ථාවේ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. අපිට කිසිම ජාති, ආගම් බේදයක්‌ නෑ. අපි බොහොම සුහදව කතා කරල එක රටක අපි සුහදව ජීවත්වෙමු කියල කිව්වා. නමුත් එතුමා එළියට ගිහින් “මල්වතු අස්‌ගිරි හාමුදුරුවන්ගේ ෙµඩරල් විරෝධී මතය වෙනස්‌ වී නොමැති බව සඳහන් කළා.” විග්නේෂ්වරන් මහතා සිලෝන් ටුඩේ පත්තරයට සඳහන් කරල තිබෙනවා දේවානම්පියතිස්‌ස රජු දෙමළ රජකෙනකු බව. මොවුන් අදහස්‌ ප්‍රකාශ කරන්නේ මෙහෙම නම්, කටයුතු කරන්නේ මෙහෙම නම් මොවුන් සමග නව ව්‍යවස්‌ථාවක්‌ හැදීමට හෝ ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳව කතා කරල වැඩක්‌ නෑ.

මේ සියලු කාරණා පිළිබඳව අපි මීට මාස තුනකට පමණ පෙරත් අවධාරණය කළා. නමුත් පළක්‌ වූයේ නැහැ.

අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය ද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ මේ රටේ මහජනතාව තමයි. අපි තීරණය කළේ ජිනීවා බලපෑම මත එන්. ජී. ඕ. කාරයන් හදන ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නැහැ කියන එක තමයි. අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නම් නව ප්‍රවේශයකින් විශ්වාසවන්ත පිරිසක්‌ සමඟ එය සම්පාදනය කළ යුතු වනවා.

මල්වතු අස්‌ගිරි කාරක සංඝ සභාවන්ගේ ප්‍රකාශය නිකුත් වූ පසු දැන් මාධ්‍ය ආයතන වල ප්‍රධානීන්ට දුරකථනයෙන් අමතල විමසනවලු ඇත්තටම එහෙම එකක්‌ වුණාද කියලා. ඔය සාකච්ඡාවට මහනායක හිමියන් සහභාගි වූයේ නැහැ නේද කියලත් අහනවලු. මහනායක හිමිවරුන්ගේ ඡායාරූප, පුවත්පත්වල පළ කිරීම එම ආයතනවලට අයත් කටයුත්තක්‌. නමුත් සංඝ සභාවේ තීරණයත් සමඟ මහනායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ වරදක්‌ තිබෙනවද? සංඝ සභා දෙකේ තීරණය භික්‍ෂූන් වහන්සේලා කිහිප දෙනකුගේ වැඩක්‌ ලෙස ලඝූ කිරීමටත් ආණ්‌ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටිනවා. මම වගකීමෙන් කියනවා අපි රැස්‌වූයේ නීත්‍යානුකූල ආකාරයට මහනායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිව බව. අපට හිතුවක්‌කාරී ලෙස මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව සංඝ සභා කැඳවීමට බැහැ.

ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව පිළිබඳව අදහස්‌ දැක්‌වූ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා – පසුගිය සැප්තැම්බර් 21 මෙම වාර්තාව ඉදිරිපත් කළ පසුව යළිත් ජනතාව තුළ උනන්දුවක්‌ ඇති වී තිබෙනවා. මෙම වාර්තාව මෙහෙයුම් කමිටුව ඒකමතිකව ඉදිරිපත් කළ බව මම කියන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය, හෙළ උරුමය ඉදිරිපත් කළ වාර්තා බැලුවහම පෙනෙනවා ඒ අය මෙම වාර්තාවේ ඇතැම් කරුණු පිළිඅරන් නොමැති බව.

2016 මාර්තුවේ යෝජනාවක්‌ සම්මත කරල ව්‍යවස්‌ථා මණ්‌ඩලය ඇති කළා. 73 වතාවක්‌ අනුකමිටුව රැස්‌වී තිබෙනවා. මෙම වාර්තාවේ තිබෙන්නේ ෙµඩරල් මූලධර්ම පමණයි. මෙහි ඒකීය රාජ්‍යය පිළිබඳ මූලධර්ම නැහැ. මෙබඳු යෝජනාවකට ජනතාවගේ අදහස්‌ ලැබිල තිබෙනවාද? වත්මන් ව්‍යවස්‌ථාවේ 1, 2 යන ව්‍යවස්‌ථාවන් ඉවත් කරන බව සඳහන් කරල තිබෙනවා. 2 වැනි ව්‍යවස්‌ථාවේ තමයි ඒකීයභාවය පිළිබඳව සඳහන් වන්නේ. එය ඉවත් කරල ඒකීය රාජ්‍යය රකින්නේ කොහොමද?

මෙම සමුළුවේ අරමුණ ගෙවිඳු කුමාරතුංග මහතා විසින් පැහැදිලි කළ අතර එහිදී පූජ්‍ය ඔමාරේ කස්‌සප හිමි, රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා, සුසිරිත් මෙන්ඩිස්‌ මහතා ඇතුළු පිරිස අදහස්‌ දැක්‌වූ අතර එම අවස්‌ථාවට පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, පූජ්‍ය ගලගම ධම්මරන්සි හිමි ඇතුළු මහා සංඝරත්නය සහ විශාල ගිහි පිරිසක්‌ සහභාගි වූහ.

Related posts

බොදු බල සේනා ප්‍රධානීන්ට, ක්‍රියාකාරීන්ට මරණ තර්ජණ – පාර්ශව කිහිපයකින් අනතුරු ඇගවීම් !!

colombotoday

“ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ SAITM ආපසු හරවනවා“ – GMOA

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

colombotoday

කොස්තාපල්වරයකුට පොරොවෙන් කෙටූ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

Admin

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

colombotoday

ප්‍රමිතියෙන් තොර පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කරයි

Admin