Colombo Today Local News

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා ආයතනයට විද්‍යුත් සංඛ්‍යාත 8ක් ලබාදීමෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සෘජුවම රජයට කර ඇති පාඩුව රුපියල් බිලියන 3ක් බව ‘දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීන්’ සංවිධානය පවසයි. මෙම සෘජු අලාභය පිළිබඳව විමර්ශන කටයුතු සිදු නොකෙරෙන්නේ මන්දැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු ප්‍රශ්න කර සිටිති.

මෙගා හර්ට්ස් 700 හෝ ඉන් ඉහළ සංඛ්‍යාත බ්‍රෝඩ් බෑන්ඩ් තරඟකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා වැඩි මිලකට අලෙවි කළ හැකිව තිබියදී ලොව කිසිම රටක් නොකරණ ආකාරයෙන් එම සංඛ්‍යාත 8ක් මහාරාජා ආයතනය වෙත කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. මෙසේ පවරා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිසම තමා යටතට ගැනීමෙන් පසුවය. ශ්‍රී ලංකා රජය මෙම මෙගා හර්ට්ස් 700 සංඛ්‍යාත අවසන් වරට තරඟකාරී මිල ගණන්වලට විකිණූ අවස්ථාවේදී ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 25ක ආදායමක් උපයාගෙන තිබේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සියළු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් මහාරාජා සමාගම වෙත සංඛ්‍යාත පවරා දීමෙන් සෘජුවම රජයට කර ඇති අලාභය රුපියල් බිලියන 3ක් හෙවත් රුපියල් කෝටි 300ක් පමණ වන බව දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීන් සංවිධානය ප්‍රකාශ කරයි.

එසේම, බැඳුම්කර අලෙවි කිරීමක දී දූෂණයක් සිදු වී ඇත්දැයි සෙවීමට පිළිගත් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නැතැයි විගණකාධිපතිවරයාම කියද්දී පවා ඒ සම්බන්ධ කොමිශන් පිහිටුවන මුත් මෙසේ රජයට සෘජුවම පාඩු කරනු ලැබූ සංඛ්‍යාත මගඩිය පිළිබඳව විමර්ශන නොකෙරෙන්නේ මන්දැයි ප්‍රශ්න කරන දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීන් ජනාධිපතිවරයා මෙහි චූදිත වන බැවින් මේ අපරාධය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බලය ඇති පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන ලෙස හෝ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන මෙන් ඉල්ලා සිටී. එසේම මෙහි වග උත්තරකරු ජනාධිපතිවරයා බැවින් ඔහුට නඩු පැවරිය හැක්කේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව පමණක් නිසා මහජන දේපළක් වන සංඛ්‍යාත හිතුමතයට මහාරාජා සමාගමට පවරා දීමෙන් බිලියන 3කට අධික පාඩුවක් මහජනයාට සිදුකර මහජනයාගේ මූලික අයිතිවාසිකම් කඩකළේයැයි මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය යුතු බවද ඔවුහු ප්‍රකාශ කරති.

එසේම ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙසේ බිලියන 3ක අධික වටිනාකමින් යුතු සංඛ්‍යාත අතයට ගනුදෙනුවකින් මහාරාජා සමාගමට ලබා දීමෙන් ජනපතිවරයා හෝ ඔහුගේ පවුලේ අයකු මහාරාජා සමාගමෙන් අයුතු ප්‍රතිලාභ ලබාගෙන ඇතිදැයි සෙවිය යුතු බවත් එසේ රජයට කළ සාපරාධී මූල්‍යමය පාඩුව පිළිබඳව විමර්ශන අවසන් වන තෙක් සදාචාරයේ නාමයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු වලින් ඉවත්විය යුතු බවත්ය.

Related posts

ජපානයේ භූකම්පනයක් – පසුකම්පනය ගැන ජනතාවට අනතුරු අඟවයි

Admin

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

colombotoday

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

ඇමරිකාවටත් ‘සංහිදියාව‘ අරහං වෙයි.. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේත් මේ පාර ‘ඉෆ්තාර්‘ නෑ !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday