Colombo Today Local News

“ලලිත් – අනූෂට දඩුවම් කර ඇත්තේ බුදු දහම රැකීමට මා දුන් නියෝගය පිළිපැදීම නිසයි” – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට දැඩි දඬුවම් පනවා ඇත්තේ ඔවුන් අල්ලස්‌ ලබාගත් නිසාවත් දූෂණයේ යෙදුණු නිසාවත් නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුදු දහම ආරක්‌ෂා කිරීමට හා ප්‍රවර්ධනයට අදාළ වගන්තිය යටතේ ආණ්‌ඩුවට පැවරෙන වගකීම ඉටුකිරීම සඳහා රාජ්‍ය නායකයා විසින් ලබාදුන් නියෝගයක්‌ පිළිපැදීම නිසා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේය,

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් අනූෂ පැල්පිට දණ්‌ඩ නීති සංග්‍රහයේ අංක 386 වගන්තියට අදාළව වරදකරුවන් බවට මහාධිකරණය විසින් තීන්දු කර ඇත. මෙහිදී චෝදනාව වූයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක මුදලක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමකට බැරකර සිල්රෙදි බෙදාදීම සඳහා සාවද්‍ය ලෙස පරිහරණය කර තිබෙන බවයි. මේ සඳහා මෙම නිලධාරීන් දෙදෙනාට ලැබී ඇති දඬුවම වන්නේ බරපතළ වැඩ ඇතිව අවුරුදු තුනක සිර දඬුවමක්‌ සහ එක්‌ අයෙකුට රුපියල් මිලියන 02 බැගින් දඩයකි. එයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමට එක්‌ අයකු රුපියල් මිලියන 50 බැගින් වන්දියක්‌ ගෙවිය යුතු වන අතර එම මුදල ගෙව්වේ නැති නම් තවත් අවුරුදු 02 ක බරපතළ වැඩ ඇතුව සිර දඬුවම් නියම වෙනු ඇත. මේ කාරණය ගැන බොහෝ අය මගෙන් විමසා සිටින නිසා මේ සම්බන්ධයෙන් මගේ අදහස්‌ ජනතාව ඉදිරියේ තැබිය යුතු යෑයි සිතමි.

මේ නඩු තීන්දුවෙන් හා දඬුවමෙන් මුළු රටම විමතියටත් කනස්‌සල්ලටත් පත් වී ඇත. ලලිත් වීරතුංග හෝ අනූෂ පැල්පිට සිල්රෙදි මිලදී ගැනීම සඳහා යොදවා ඇති මුදල් තමන්ගේ ප්‍රයෝජනයට ලබාගෙන නැති බව නඩු තීන්දුවේම සඳහන් වේ. මගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල මොවුන් කර ඇත්තේ රටේ ජනාධිපතිවරයා විසින් ඔවුන් වෙත ලබාදුන් නීත්‍යානුකූල නියෝගයක්‌ ක්‍රියාත්මක කිරීම පමණි. මා විසින් ඔවුන්ට මේ සම්බන්ධයෙන් ලබා දී තිබූ වාචික උපදෙස්‌ ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිගොනුවල වෙනත් නිලධාරීන්ගේ දැන ගැනීම පිණිස සිය අත් අකුරින්ම තබා ඇති සටහන්වලින් පැහැදිලි වේ. 2014 මාර්තු 20 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අවධානය පිණිස තබන ලද ලිත සටහනක ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුම යටතේ 2014 වසර තුළදී සිදුකළ යුතු බවට මා විසින් නියෝග දුන් ව්‍යාපෘති අටක්‌ පිළිබඳ විස්‌තර සටහන් කොට ඇත.

මේ ලැයිස්‌තුවේ 6 වැනි අංගය වූයේ පෝය දිනවල පන්සල්වල සිල් ගන්නා බැතිමතුන්ට ද්‍රව්‍යමය ආධාර සැපයීමේ ව්‍යාපෘතියකි. එම ලැයිස්‌තුවේ තිබුණු සෙසු අංග අතර කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට හා කලින් මායිම් ගම්මාන වශයෙන් හැඳින්වූ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ඉදිකිරීමට ආධාර කිරීම වැනි ව්‍යාපෘති විය. 2014 මැයි 12 වැනිදා වීරතුංග මහතා සිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට සටහනක්‌ තබමින් පවසා සිටියේ පෝය දිනවල සිල්ගන්නා බැතිමතුන්ට සිල්රෙදි බෙදාදිය යුතු බවට මම උපදෙස්‌ දී ඇති බවයි. මේ ජනාධිපතිවරණය කැඳවීමට බොහෝ කලකට පෙරය. වසරකට රුපියල් මිලියන 1,000 ක මුදල් ප්‍රතිපාදනයක්‌ සහිතව 2012 දී ආරම්භ කරන ලද ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමේ කාර්ය භාර්ය වූයේ වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වැඩසටහන්වල හිඩැස්‌ පිරවීම හා ජනාධිපතිවරයාට Rජුව කෙරෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්‌වීමයි. මේ යටතේ ආරම්භ වූ සිල්රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධුරය දැරූ වටිනාපහ සෝමානන්ද හිමියන්ය.

සෝමානන්ද හිමිගේ ඉල්ලීම පරිදි සමෘද්ධි නිලධාරීන් මාර්ගයෙන් රටපුරා පන්සල්වලින් සිල්රෙදිවල අවශ්‍යතාව සමීක්‌ෂණය කරනු ලැබුවේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසිනි. සිල්රෙදි සපයන පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් එක්‌ එක්‌ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල නම් කරන ලද එක්‌ ප්‍රධාන පන්සලකට මේ සිල්රෙදි භාර දෙනු ලැබූ අතර, සෙසු පන්සල් මේ ප්‍රධාන මධ්‍යස්‌ථානයෙන් තමන්ට අදාළ සිල් රෙදි ප්‍රමාණය ලබාගැනීම මෙහි ක්‍රමවේදය විය. මෙය පන්සල් 11,021 ක සහභාගිත්වයෙන් දීපව්‍යාප්තව සිදුකරන ලද ව්‍යාපෘතියකි. මෙකී සිල්රෙදි සපයන ලද්දේ පන්සල්වලට මිස ඡන්ද දායකයන්ට නොවේ. සිල්රෙදි පන්සලට ලැබුණු පසු එම සිල්රෙදි බෙදා දෙන්නේ කවදාද? කෙසේද? කාටද? යන්න තීන්දු කරනු ලැබුවේ විහාරාධිපති හිමිවරුන්ගේ අභිමතය පරිදිය. අසවල් දිනට පෙර මේ සිල්රෙදි බෙදාදිය යුතු යෑයි පන්සල් වලට කිසිදු උපදෙසක්‌ ලබාදී තිබුණේ නැත. විහාරාධිපති හිමිවරුන්ගේ අභිමතය පරිදි එම සිල්රෙදි එක්‌කෝ එවෙලේම නැති නම් අවුරුද්දකට පසුව වුව ද බෙදාදිය හැකි විය.

බෙදා හැරීමේ ක්‍රමවේදය තුළ දේශපාලන කාරණා මත සිල් රෙදිලාභීන් තේරීමට කිසිඳු අවස්‌ථාවක්‌ නොවීය. පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතිය යටතේ නිල ඇඳුම් බෙදාදෙන්නේ ද අවුරුද්දේ අන්තිමට වන අතර ඡන්දයක්‌ තිබුණත් එය නැවැත්විය නොහැක. ඡන්දයක්‌ පවතින අතර පාසල් නිල ඇඳුම් බෙදාදීමෙන් ඡන්දයේ ප්‍රතිඵලය වෙනස්‌ වීමට ඉඩ තිබෙනවා යෑයි කිසිවකුවත් කියන්නේ නැත. මෙම සිල් රෙදි ද පාසල් නිල ඇඳුම් මෙන්ම බෞද්ධ බැතිමතුන්ට පොදුවේ බෙදාදෙනු ලැබූ රාජ්‍ය ආධාර විය. මේ සිල්රෙදි ව්‍යාපෘතිය සඳහා ද යොදාගනු ලැබුවේ ආණ්‌ඩුවේ පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතියේ පුද්ගලික සැපයුම්කරුවන්ම බව ද සැලකිය යුතුය. වැඩිහිටියන්ට පමණක්‌ නොව පෝය දිනවල සිල් ගන්නා දහම් පාසල් සිසුන්ට ද සිල්රෙදි ලබාදෙනු ලැබීය. මෙකී සිල්රෙදි පැකැට්‌ටුවේ, “මහින්ද රාජපක්‌ෂ මැතිතුමන් මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට අනුව යමින් කරන දහම් පඬුරක්‌” කියමින් ලේබලයක්‌ තිබුණු බව මෙම නඩු තීන්දුවේ සඳහන්ය.

නමුත් මෙය මේ සිල්රෙදි ලැබෙන්නේ කොතැනින් දැයි පෙන්වන ලේබලයක්‌ පමණක්‌ මිස 1981 අංක 15 දරන ජනාධිපති මැතිවරණ පනතේ ඡන්ද සමයේ මුද්‍රිත පත්‍රිකා ප්‍රදර්ශනය කිරීමට අදාළ 72 හා 68 (1) (ඉ) වගන්ති උල්ලංඝනය කරන්නක්‌ නොවේ. ජනාධිපති මැතිවරණ පනතේ ඡන්ද දායකයන්ට ‘සංග්‍රහ’ කිරීමට අදාළ 77 වැනි වගන්තිය ද මීට අදාළ නොවන්නේ මේ සිල්රෙදි සපයනු ලැබුවේ පන්සල් වලට මිස ඡන්දදායකයන්ට නොවන නිසාය. එමෙන්ම මේවා බෙදාහැරීමට කිසිඳු කාලවකවානුවක්‌ ලබාදී නොතිබුණු අතර දේශපාලන භේද නොතකා සියලු පන්සල් හා බෞද්ධ බැතිමතුන් ආවරණය වන පරිදි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. මෙය ඡන්ද සමයේ පොදු දේපළ අවභාවිත සම්බන්ධ නඩුවක්‌ හැටියට හුවා දැක්‌වීමට ඇතැම් අය උත්සාහ ගත්ත ද ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට එරෙහිව ඡන්ද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්‌ ගොනුකරනු ලැබුවේ නැත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ අංක 164 (4) වගන්තිය අනුව, යම් චූදිතයකුට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඔවුන්ට දඬුවම් පැමිණ විය හැකි වරදට අදාළ නීතිය පැහැදිලිව සඳහන් විය යුතුය. නමුත් එවැන්නක්‌ මෙහිදී සිදුවී තිබෙන බවක්‌ නොපෙනේ.

මේ ව්‍යාපෘතිය සඳහා මුදල් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබාගැනීමට සිදුවූයේ ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමේ මුදල් වෙනත් කටයුත්තකට යෙදවීමට සිදුවීම නිසාය. 2014 ඔක්‌තෝබර් 14 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලලිත් වීරතුංග මහතාට සටහනක්‌ යොමු කරමින් පවසා සිටියේ 2014 වසර සඳහා ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමට ලබාදී ඇත්තේ රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදනයක්‌ බවත්, එයින් රුපියල් මිලියන 400 ක්‌ කොතලාවල ආරක්‌ෂක විද්‍යාලයේ ව්‍යාපෘතියකට දීමට සිදුවී ඇති නිසා සිල්රෙදි ව්‍යාපෘතියට ප්‍රමාණවත් මුදල් නොමැති බවයි. මෙයට පිළිතුරු දෙමින් 2014 ඔක්‌තෝබර් 15 වැනි දා සටහනක්‌ තැබූ ලලිත් වීරතුංග පවසා සිටියේ කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයට යෑවිය යුතු මුදල් ඔවුන්ට ලබාදිය යුතු බවත්, සිල්රෙදි ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් පසුව ප්‍රතිපූර්ණ කිරීමේ පදනම මත විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබාගන්නා බවයි. 2014 ඔක්‌තෝබර් 30 වැනිදා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට ලිපියක්‌ ලියමින් වීරතුංග මහතා පවසා සිටියේ මේ සිල්රෙදි ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබාගැනීමට තීන්දු කර ඇති බවයි.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල් අනූෂ පැල්පිට එදිනම මාණ්‌ඩලික පත්‍රිකාවක්‌ සකස්‌ කරමින් මේ සඳහා විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්‌ෂක මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කළේය. මේ මාණ්‌ඩලික පත්‍රිකාවෙන් අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ අවසරය ඉල්ලා සිටිනු ලැබුවේ, (1) ආර්ථික ප්‍රතිපාදනයක්‌ හැටියට විදුලි සංදේශ නියාමන කොමිසමේ සමාජ සේවා ගිණුමට රුපියල් මිලියන 600 ක්‌ වෙන් කිරීමටත් (2) මෙකී රුපියල් මිලියන 600 ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමට ලබාදීමටත් (3) මෙකී මුදල් විදුලි සංදේශ නියාමන කොමිසමේ සමාජ සේවා ගිණුම හරහා වැය කිරීමටත් යන කාරණා තුන සඳහාය. මෙකී මාණ්‌ඩලික පත්‍රිකාව 2014 දෙසැම්බර් 15 වැනිදා පවත්වනු ලැබූ අධ්‍යක්‌ෂක මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර එම යෝජනා තුනම කොමිසම විසින් ඒකමතිකව සම්මත කරන ලදී. 2014 දෙසැම්බර් 5 වැනිදා අදාළ මුදල විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමට යවා තිබුණි. 2014 දෙසැම්බර් 29 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට සටහනක්‌ ලියමින් ලලිත් වීරතුංග මහතා පවසා සිටියේ 2015 වසර සඳහා මුදල් ප්‍රතිපාදන ලැබුණු විගස අදාළ මුදල විදුලි සංදේශ නියාමන කොමිසමට ප්‍රතිපූර්ණ කළ යුතු බවත් 2015 පළමු කාර්තුව ඇතුළත අඩුම වශයෙන් රුපියල් මිලියන 200 ක්‌ වත් එසේ ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

1996 අංක 27 දරන පනතින් සංශෝධිත 1991 අංක 25 දරන

ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 22 ඊ (3) වගන්තියට අනුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයට එම කොමිසමේ ඕනෑම වියදමකට අනුමැතිය දීමට බලය ඇත.

ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ මුදල් රෙගුලාසිවල අංක 218, 115, 65, 66, 68, 93 හා 94 යන වගන්ති වලට අනුව ඒ ඒ අමාත්‍යාංශවල ‘ප්‍රධාන ගිණුම් තබන නිලධාරීන්ට’ තමා යටතේ තිබෙන එක්‌ ආයතනයකින් තවත් ආයතනයකට ප්‍රතිපූර්ණ කිරීමේ පදනම මත මුදල් ලබාදීමට බලය ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගිණුම් තබන නිලධාරියා වූයේ ලලිත් වීරතුංග මහතාය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට හා ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරයාට ලලිත් වීරතුංග මහතා ලියා තිබුණු සටහන් උසාවියට ඉදිරිපත් කර තිබුණ ද තීන්දුව දීමේදී ඒ ලිත සාක්‌ෂි මහාධිකරණය විසින් සැලකිල්ලට ගෙන නැත.

පැමිණිලි පාර්ශ්වය විසින් චූදිතයන්ට එරෙහි නඩුව ඔප්පු කිරීමට සාක්‌ෂිකරුවන් 21 දෙනකු උසාවියට ඉදිරිපත් කරන ලදී. මෙසේ පැමිණිල්ල විසින්ම ගෙන එන ලද සාක්‌ෂිකරුවන් ගණනාවක්‌ම, එනම්, පිළිවලින් අංක 13, 20, 15, 04, 14 හා 5 දරන හේවගේ එමාලි ප්‍රියංකර, රුවනි සෞම්‍යා ගුණරත්න, වටිනාපහ සෝමානන්ද හිමි, සපුතන්ත්‍රිගේ චන්ද්‍ර ජගත්, මල්ලිකා කංකානම්ගේ ජයන්ත හා අමරසිංහ ලේකම්ලාගේ දොන් ගුණරත්න යන පැමිණිල්ලේ සාක්‌ෂිකරුවන් මේ නඩුවේ චූදිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලය හා විදුලි සංදේශ නියාමන කොමිසමේ සේවය කර ඇති බවත්, ඔවුන් මේ සිල්රෙදි ව්‍යාපෘතියට ද සම්බන්ධ බවත්, ඔවුන් චූදිතයන්ට ලැදියාවක්‌ ඇතුව සාක්‌ෂි ඉදිරිපත් කර ඇති බවත් කියමින් මහාධිකරණය ඔවුන් දුන් සාක්‌ෂි සැලකිල්ලට ගෙන නැත. මේ සාක්‌ෂිකරුවන් විත්තිය විසින් ගෙන එනු ලැබූ සාක්‌ෂිකරුවන් නොව පැමිණිල්ලේ සාක්‌ෂිකරුවන්ම වීම මෙහිදී සුවිශේෂ වෙයි.

මේ පූර්වාදර්ශය සියලුම රාජ්‍ය සේවකයන්ට ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති කරයි. උදාහරණයක්‌ වශයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවකයකු ක්‍රියාපටිපාටි උල්ලංඝනය කිරීමේ චෝදනාවක්‌ මත උසාවියට ඉදිරිපත් කරනු ලැබුවහොත්, එවැනි චූදිතයකුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට නැති නම් නිශ්ප්‍රභා කිරීමට හැකි වන්නේ රේගු දෙපාර්තමේන්තුව තුළින්ම ලබාගන්නා ලිත හා වාචික සාක්‌ෂිවලට අනුවයි. රේගු දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටි හා භාවිතයන් පිළිබඳ විස්‌තර වෙනත් ආයතන වලින් ලබාගත නොහැක. මෙවැනි අවස්‌ථාවල, පැමිණිල්ලේ සාක්‌ෂිකරුවන් පවා සපයන සාක්‌ෂි, ඔවුන් වූදිතයන් සමඟ එකට සේවය කර තිබෙනවාය, එම නිසා ඔවුන් චූදිතයන්ට ලැදියාවක්‌ දක්‌වනවා විය හැකිය යන පදනම මත එම සාක්‌ෂි සැලකිල්ලට ගැනීමෙන් වැළකී සිටිනවා නම්, මෙවැනි නඩුවල චූදිතයන්ට කිසිදා තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට නොහැකිවනු ඇත. ලලිත් වීරතුංග මහතා එකල රටේ සිටි ඉහළම රාජ්‍ය නිලධාරියා වුව ද, ඔහු තමා යටතේ සිටි නිලධාරීන්ට තම අත්අකුරින්ම ලියූ සටහන් හා නියෝග උසාවිය විසින් සැලකිල්ලට නොගෙන තිබීම ද කාගෙත් අවධානයට යොමු වනු ඇත.

මෙය පූර්වාදර්ශයක්‌ බවට පත්වුවහොත් යම් චෝදනාවක්‌ මත උසාවියකට ඉදිරිපත් කරනු ලබන කිසිදු රජයේ සේවකයකුට තමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ක්‍රමයක්‌ නැතිවනු ඇත. විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් අනන්‍ය හා සම්පූර්ණ බලය ඇත්තේ එම කොමිසමේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයට වුවත්, 2014 දෙසැම්බර් 15 වැනි දින අනූෂ පැල්පිට මහතාගේ මාණ්‌ඩලික පත්‍රිකාවට අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී තිබීම ද උසාවිය සැලකිල්ලට ගෙන නැත. මේ හේතුවෙන් අධ්‍යක්‌ෂ මණ්‌ඩල හරහා පාලනය වන පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ ආයතනවල කටයුතු දැඩි අවිනිශ්චිතතාවකට ලක්‌වීම වැළැක්‌විය නොහැක.

ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට දැඩි දඬුවම් පනවා ඇත්තේ ඔවුන් අල්ලස්‌ ලබාගත් නිසාවත්, දූෂණයේ යෙදුණු නිසාවත් නොව ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බුදු දහම ආරක්‌ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අදාළ 9 වැනි වගන්තිය යටතේ ආණ්‌ඩුවට පැවරෙන වගකීම් ඉටුකිරීම සඳහා පන්සල් වලට සිල්රෙදි බෙදා දීමට රාජ්‍ය නායකයා විසින් දෙනු ලැබූ නියෝගයක්‌ පිළිපැදීම නිසාය. අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව, ආණ්‌ඩුව මෙහෙයවනු ලබන්නේ ජනාධිපතිවරයා ද ඇතුළත් කැබිනට්‌ මණ්‌ඩලය විසිනි. රජයේ සේවකයන් විසින් සිදුකරනු ලබන්නේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සද්භාවයෙන් කටයුතු කිරීමයි. තමන් හොබවන තනතුර භාවිත කර පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ චෝදනා නැති නම් ජනාධිපතිවරයාගේ හා කැබිනට්‌ මණ්‌ඩලයේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරන රජයේ සේවකයන් ආරක්‌ෂා කිරීම සෑම ආණ්‌ඩුවකම පොදු ප්‍රතිපත්තිය විය යුතුය.

මහින්ද රාජපක්‌ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Related posts

විශ්‍රාම ගිය මැති ඇමැතිවරු බදු නැති වාහන ඉල්ලති

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

ඥානසාර හිමිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා!

colombotoday

සෝභිත හිමි අපවත්වීම සැලසුම්සහගත ලෙස කළ ඝාතනයක් – අභිරහස් තොරතුරු රැසක් හෙළිදරව් කරයි

colombotoday

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday