Colombo Today Local News

රවී නිරුත්තර වෙයි.. අගමැති රනිල්, ඇලෝසියස් ගේ “ගනුදෙනු” දුරකථන වාර්තාවෙන් එළියට එයි !

අර්ජුන් ඇලෝසියස් පවුලේ අය පරම්පරා ගණනක සිටම තම හිතවතුන් වුවද ඔහුත් තමාත් අතර විශේෂ ඇයි හොදයියක් හෝ ගනුදෙනුවක් හෝ හමුවීමක්වත් නැතැයි ඊයේ (02දා) බැඳුම්කර කොමිසම හමුවේ පුන පුනා ප්‍රකාශ කරමින් සිටි රවි කරුණානායක ඇමැතිවරයා, ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසමට ඉදිරිපත් කළ පරිවේෂණීය සාක්ෂි හමුවේ අන්දුන්කුන්දුන් විය.

විටෙක තමාට පාර්ශ්වීයව කරුණු ඉදිරිපත් කරමින් ඔහු ඇමතූ නීතිඥවරයාට පවා අවධානය යොමුනොකොට ඇමැතිවරයා තුෂ්නිම්භූතව ගල්ගැසුණාක් මෙන් සිටිනුද දැකගත හැකිවිය.

එම තත්ත්වය උද්ගත වූයේ, කොමිසම විසින් ඩිජිටල් වෝහාරික පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා රැස්කර ගන්නා ලද අර්ජුන් ඇලෝසියස් හා ඇමැතිවරයා අතර සබඳතාවන් තහවුරු කරන ඇලෝසියස්ගේ දුරකතන ගිණුමේ අඩංගු තොරතුරු ඇතුළත් පිටු 8600කින් සමන්විත වාර්තාවක් සභාගත කරමින් ප්‍රශ්න විමසීමට පටන් ගැනීමත් සමඟය.

එතෙක් සුපුරුදු සිනහමුසු මුහුණින් යුතුව ඉතාමත්ම සැහැල්ලුවෙන් කොමිසම නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටි ඇමැතිවරයා එතැන් සිට ඉතාමත් අසීරුතාවකින් ප්‍රතිචාර දක්වන ආකාරය දිස්විය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධව ඇලෝසියස් විසින් විවිධ පාර්ශ්වයන් වෙත යවන ලද හා එම පාර්ශ්වයන් විසින් ඇලෝසියස් වෙත එවන ලද කෙටි පණිවුඩ දහස් ගණනාවක් අතරින් 10ක් පමණක් රැගෙන අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇමැතිවරයාගෙන් ප්‍රශ්න නඟන්නට විය.

අත යට ගනුදෙනු පිළිබඳව වූ එම පණිවුඩවලින් රවි කරුණානායක ඇමැතිවරයාගේත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේත් සබඳතාවක් ඊට ඇති බවට තහවුරු කෙරෙන තොරතුරු ඇතුළත් විය.

එම ඉදිරිපත් කළ පණිවුඩ 10න් 9කම පිටපත් ඇමැති රවි කරුණානායකටද යොමුකොට තිබූ අතර, ඉන් දෙකක පිටපත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටද යොමුකොට තිබිණි.

කපිල ප්‍රසන්න නම් අයකු ගැන බරපතළ තර්ජනාත්මක ප්‍රකාශයක්ද ඉන් එකක සඳහන් විය. ‘ඒ ගැන බලාගන්න ඔබත් රවි ඇමැතිතුමාත් එන්න _ බුද්ධි’ යනුවෙන් පණිවුඩයක්ද විය.

(ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න ජයවර්ධන මහතා එම අවස්ථාවේ අවධාරණය කර සිටියේ එය ඉතාමත්ම බරපතළ තර්ජනයක් බවය.)

තවත් පණිවුඩයක සඳහන් වූයේ අගමැති රනිල්ට හා ඇමැති රවිට සහායට ගොසිප් කොලමක් සමාජජාල වෙබ් අඩවියක් වහාම ඇරැඹීමටත් ඒ සඳහා මසකට රුපියල් 50,000ක් වෙන්කරන බවටත්ය.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ ලේඛනයක් හේතුවෙන් සාක්ෂි කූඩුවේ සිටි රවි කරුණානායක ඇමැතිවරයා තව තවත් අපහසුතාවට පත්වූ ආකාරය දිස්විය.

සී. 208 ලෙස සලකුණු කොට ඇති එම ලේඛනය වූයේ ගුවන් ගමන් සැලසුම් පිටපතකි.

එම ලේඛන පිටපතෙහි දැක්වුණු 2015 ජුනි මස 06 දින සිට 2016.12.26 අතර කාලය තුළ සිදුකර ඇති ගුවන් ගමන් 13කට රවි කරුණානායක ඇමැතිවරයා හා අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාගේම නම් අන්තර්ගතව තිබුණු බව කරුණානායක ඇමැතිවරයා පිළිගත්තේය.

අනතුරුව කොමිසම හමුවේ දිග හැරුණේ මොනාක් අති සුඛෝපභෝගී මහල් නිවාස යුගලය පිළිබඳව කතාබහය.

ඒ ගැන විමසීමේදී කරුණානායක ඇමැතිවරයා මුලදීම කියා සිටියේ කොමිසම හමුවේ ප්‍රකාශ වී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවත් එම නිවෙස තම බිරිය හා දියණිය විසින් ඔවුන්ගේ මුදල් යොදවා මුලදී බදු කුලියට ලබාගෙන පසුව මිලදී ගත් බවය.

එහෙත් බදු ගිවිසුම, විකුණුම් ගිවිසුම හා අදාළ විකුණුම් ඔප්පුවද ඇතුළු සියලු ලේඛනද මුදල් ගෙවීම් පිළිබඳව අදාළ සියලු තොරතුරුද බැංකු ප්‍රකාශනද ඉදිරිපත් කරමින් දප්පුල ද ලිවේරා මහතා කරුණු විමසීමේදී ඇමැතිවරයා නිරුත්තර විය.

මඳ වේලාවක් සිට ඊළඟට ඔහු කියා සිටියේ බිරිය හෝ දියණිය එවැන්නක් තමාට නොපැවසූ බැවින් තමා මේ මොහොත වනතුරුත් දැන නොසිටි බවය.

විනිසුරු ජයවර්ධන මහතා එවිට ඔහුගෙන් විමසා සිටියේ,

එතෙක් මෙතෙක් මෙතරම් දීර්ඝ කාලයක් එම නිවාස ඒකකයේද පදිංචිව සිටින තමා හා බිරියත් දියණියත් අතර මෙම කරුණු අනාවරණය නොවී සිටියා යැයි කියන ප්‍රකාශය කොතරම් දුරට කෙනකුට පිළිගත හැකි එකක්ද යන්නයි.

ඇමැතිවරයා නිහඬව සිටීමෙන් ඊට ප්‍රතිචාර දැක්වීය.

රුපියල් බිලියන 75ක් රජයට අවශ්‍යව ඇතැයි ප්‍රකාශ කරමින් ලිපියක් ඉදිරිපත් කළද එවැනි අවශ්‍යතාවක් නොතිබූ බවට සෑම අංශයකින්ම වාචික සාක්ෂිවලට අමතරව රාජකාරීමය ලියැවිලි මඟින්ද කොමිසම තහවුරු කරගෙන ඇති බවද විනිසුරු ජයවර්ධන මහතා සාක්ෂිකාර ඇමැතිවරයාට ප්‍රකාශ කළේය.

එම ලිපිය ව්‍යාජ එකක් බවත්, අව්‍යාජ ලියුමක් නම් එයට අදාළ යොමු අංක, ලිපිගොනු අංක තබා දිනයවත් නොමැතිව නිකුත් වන්නේ කෙසේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇමැති කරුණානායකගෙන් විමසා සිටියේය.

ඊටද ඔහුගේ ප්‍රතිචාරය වූයේ නිරුත්තරව සිටීමය.

ඔබලාගේ සමාගමේ සභාපති ලක්ෂ්මි කාන්තන් රුපියල් ලක්ෂ 700ක් එක්වරකුත් රුපියල් ලක්ෂ 750ක් තවත් වරක් බෑග් දෙකක දමාගෙන දෑතින් ඔසවාගෙන ආ බව සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි සින්නයියා මහතාම ප්‍රකාශ කොට තිබෙනවා.

ඒවා කිසිම තැනක සඳහන් නැති මුදල්. ඔබ මුදල් ඇමැතිවරයෙක් හැටියට පසුගියදා මුදල් විසුද්ධිකරණ පනතකුත් ගෙනාවා නේද. මේ මුදල් එතකොට මොන මුදල් කියලද ඔබ හිතන්නේ?

ඇමැතිවරයා නිරුත්තරව සිටී.

ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, මේක තනිකරම සාපරාධී ක්‍රියාවක්. එයට මුදල් විශුද්ධිකරණ පනත (ර්ධදඥර තචභදඤඥපඪදඨ) යටතේ නඩු දැමිය යුතුයැයි ආවේගශීලීව කියාගෙන ගියේය.

විනිසුරු ජයවර්ධන මහතා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට අවවාද කරමින් කියා සිටියේ ‘කෑගහල වැඩක් නෑ. නඩුවක් පවරන්න පියවර ගන්න.’ යනුවෙනි.

සන්ඩේ ලීඩර් පුවත්පත හරහා විශාල බලපෑමක් කළ හැකි නිසා එයටද අරමුදල් යෙදවූ බවද තවත් කෙටි පණිවුඩයකින් ඇලෝසියස් 2015 සැප්තැම්බර් මාසයේ රවි කරුණානායකට දන්වා ඇති බවද අනාවරණය විය.

Mavubima

Related posts

කුරුණෑගල නගරාධිපති කිසි වරදක් කරලා නෑ.. මම ඔහුව රකිනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු යලි කියයි

colombotoday

වනාතේ අරුණි හෙරොයින් එක්ක අතටම මාට්ටු

colombotoday

බදු වැඩිවීමෙන් තෙල් සංස්ථාව අර්බුදයක.. වසරක පාඩුව කෝටි 3000යි !

colombotoday

මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයි

colombotoday

හෙට බස් වර්ජන නෑ… අනිත් වර්ජනත් අහෝසියි

colombotoday

රනිල් අගමැති කරන්න TNA උදව් කලාට එජාප ආණ්ඩුවට එක් වෙන්නේ නෑ – සුමන්දිරන්

colombotoday