Colombo Today Local News

“එජාපය අනාගමිකයි.. සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කළොත් වැඩ වරදී“ – එජාපයෙන් නිවේදනයක්

ජාතික රජයේ සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කිරීමට කඩාකප්පල්කාරී කොටස් විසින් ක්‍රියාත්මක කරමින් සිටින්නා වූ මෑතකාලීන උත්සාහයන් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය සිය බලවත් අවධානය යොමු කර ඇති බව එහි සභාපති මලික් සමරවික්‍රම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ

ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්‍ෂය අනාගමික පක්‍ෂයක් ලෙස කටයුතු කර ඇත්තේ එක්සත්කම පෝෂණය කරමින්, සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් නිර්මාණය කරලීම වෙනුවෙන් වෙහෙසෙමිනි.

ආගමික නොසන්සුන්තාව, ජාතීන් අතර වෛරය වපුරවන, රජයේ සංහිදියා වැඩපිළිවෙළට බාධා කරන්නන් සම්බන්ධව නීතිය උපරිමයට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්, කැබිනට් මණ්ඩලය, අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා පසුගියදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය එක්සත් ජාතික පක්‍ෂ සාදරයෙන් පිළිගන්නෙමු.

2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම 2015 අගෝස්තුවේ පැවැති, මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට හා එහි මිත්‍ර කණ්ඩායම් වෙත, තම සංහිදියා වැඩපිළිවෙළ වෙනුවෙන් ජන වරමක් හිමිවිය. වාර්ගික සහජීවනය, ආගමික සමගිය හා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම සහතික කරලීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයට කිසිදු දෙගිඩියාවක් කිසිදිනක තිබී නොමැත. සෑම ආගමික දර්ශනයකම වැදගත්ම ලක්‍ෂණ වනුයේ අවිහිංසාව හා අන්‍යයන්ට ගරු කිරීමය. එවැනි සංදර්භයක වෛරය වපුරවන්නන් හා හිංසනයට අනුබල දෙන්නන් මේ සිදු කරමින් සිටිනුයේ තමන් ආරක්‍ෂා කිරීමට බැඳී සිටින විශ්වාසයන් නොසලකා හැරීමකි.

වෛරය වපුරවමින් අපරාධයන්හි නිරත ඊට වගකිව යුතු පුද්ගලයන්ව, නීතිය හමුවට රැගෙන විත් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග එක්සත් ජාතික පක්‍ෂය ද අදාළ බලධාරීන්ට අවධාරණය කරන්නෙමු.

සාමකාමී, ස්ථාවර, ශක්තිමත් ආර්ථිකයක් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු දැල්වෙමින් ඇති මොහොතක 21 වන සියවසේ ශ්‍රී ලංකාව තුළ ආගමික අසහනය සහ ජාතිවාදය වැපිරවීමට කිසිදු ඉඩක් තිබිය යුතු නැත.

ආගමික අසහනය ඇති කරන්නා වූ කිසිදු පුද්ගලයෙකුට, සංවිධානයකට, චෝදනා ගොනුකිරීමෙන්, වැළකීමේ, මුක්තිය හිමිවිය යුතු නොමැත. ජීවිත දහදහස් ගණනකින් අහිමිවූ අඳුරු යුද සමය බදු හිමි සමයකට යළි අපට ගමන් කළ නොහැකිය. පසුගිය කාලයේ දී සිදු වූවාක් මෙන් ආර්ථිකය අඩපණ කරගැනීම හා ජාත්‍යන්තර හුදෙකලාවීම අප සිදු කර ගත යුතු නැත.

ඉතිහාසයේ කුණුබක්කියට ඇඳවැටුණු දේශපාලන බලවේග යළි බලය අත්පත් කරගැනීමේ අරමුණින්, අන්තවාදය හා අන්තවාදීන්ව පිම්මේ, පෝෂණය කරමින්, සිටින බව පෙනෙන්නට ඇත. ජාතික සමගිය හා සහජීවනය වෙනුවෙන් වන තම ශක්තිමක් කැපවීම පෙරදැරිව, එක්සත් ජාතික පක්‍ෂය එබඳු බංකොළොත් දේශපාලන අවස්ථාවාදීන්ට තම විරෝධය පළ කරන අතරතුර ඔවුන්ව නීතිය හමුවට රැගෙන ඒමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. ඔවුනට තම දුෂ්ට අරමුණු ඉටුකරගැනීමට කිසිසේත්ම ඉඩදිය යුතු නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානයෙන් ක්‍රියාත්මක රජය යටතේ, තමන් භුක්තිවිඳන්නා වූ නිදහස ආරක්‍ෂා කර ගැනීමට අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කටයුතු කරනු ඇතැයි විශ්වාසයක් එක්සත් ජාතික පක්‍ෂයට ඇත.

 

Related posts

“ප‍්‍රභාකරන් තමවත් ජීවතුන් අතරයි.. වෙන නායකයෙක් අපට නෑ” – එජාප ඇමතිනී විජයකලා

colombotoday

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට

colombotoday

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday