Colombo Today Local News

“කවර ජාතිවාදී මරාගැනිල්ලක් වුව සේවය කරනුයේ මෙම දේශද්‍රෝහී ආණ්ඩුවේ බල පැවැත්මටයි“ – විමල්

දෙමළ ඊළම්වාදී අන්තවාදී කොටස් විසින්, ජන සංහාරක සතියක් ප්‍රකාශයට පත්කර උතුරේ පහන් පත්තු කරද්දී, යුද්ධය නිමා කර වසර 8ක් සම්පූර්ණ වූ දිනයේදීම යාපනයේ පොලිස් රථයකට වෙඩි ප්‍රහාර එල්ල කරද්දී, දකුණේ සමාජය සිංහල-මුස්ලිම් ගැටුමකට ඇද වට්ටවාලීමේ සූක්‍ෂ්ම මෙහෙයුමක් දැන් නැවත වතාවත් දියත්ව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජාතිවාදී ගැටුම් අවුළුවාලීමේ ආණ්ඩුවේ උවමනාව ඉටු නොකරමු!

දෙමළ ඊළම්වාදී අන්තවාදී කොටස් විසින්, ජන සංහාරක සතියක් ප්‍රකාශයට පත්කර උතුරේ පහන් පත්තු කරද්දී, යුද්ධය නිමා කර වසර 8ක් සම්පූර්ණ වූ දිනයේදීම යාපනයේ පොලිස් රථයකට වෙඩි ප්‍රහාර එල්ල කරද්දී, දකුණේ සමාජය සිංහල-මුස්ලිම් ගැටුමකට ඇද වට්ටවාලීමේ සූක්‍ෂ්ම මෙහෙයුමක් දැන් නැවත වතාවත් දියත්ව තිබේ. බෙදුම්වාදීන් පිනවීමට, ආණ්ඩුව විසින් ගෙන ඒමට සැරසෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පිළිබඳව ද, ඉන්දියාවට අපගේ සේවා ආර්ථිකය පමණක් නොව රටම බිලිදෙන එට්කා ගිවිසුම පිළිබඳව ද, ජාතික ආර්ථික සම්පත් විකුණා දැමීම හා දවසින් දවස රට ආර්ථිකමය වශයෙන් බෙලහීන කිරීම පිළිබඳව ද මහජන අවධානය යොමු වනු වළකා, සිංහල ජන සමාජය හා මුස්ලිම් ජන සමාජය එකිනෙකා මරා ගනු ලබන ඉරණමකට ඇදවට්ටවාලීම මෙහි අරමුණ වී තිබේ. 2015 ජනවාරි 8 සිදු කෙරුණු බල පෙරළියට පෙර ද අලුත්ගම ප්‍රදේශයේදී රඟ දැක්වුණේ, බල පෙරළියට මුස්ලිම් ජනතාව පක්‍ෂපාතීව හසුරුවා ගැනීමේ මෙබදුම නාටකයක් බව අප වටහා ගත යුතුව තිබේ.

මුස්ලිම් අන්තවාදී දේශපාලනය පරාජය කළ යුත්තේ, ඒ හා සමාන හෝ ඊටත් එහා යන අන්තවාදී භාවිතාවක් ඔස්සේ යමින් නොවේ. කුමන අන්තවාදයකටවත් ඉඩ නොදෙන රාජ්‍ය පාලනයක් ඇති කර ගැනීමෙන් මිස, මේ කවර උවදුරකින්වත් ලක්මව බේරා ගත හැකි නොවේ. නැඟෙනහිර හෝ වෙනත් කවර ප්‍රදේශයක හෝ වේවා, නීති විරෝධීව ජනාවාස කවරකු විසින් හෝ ඇති කරනුයේනම්, පුරාවිද්‍යා භූමීන් වනසා දමනු ලබන්නේනම්, ආගමික සමගියට එරෙහි වන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ආණ්ඩුවය. ආණ්ඩුව ඇතැම් අන්තවාදීන් සම්බන්ධව සහනශිලී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමෙන් සිදුවන්නේ, තවත් අන්තවාදයකට වැඩෙන්නට අවශ්‍ය පිටිය පිළියෙල කර දීමය. සිංහල, දෙමළ හෝ මුස්ලිම් කවරකුට වුව, රක්‍ෂිත භූමි වැනසීමට ඉඩ දිය යුතු නැත. පුරාවිද්‍යා වටිනාකම් ඇති භූමි ප්‍රදේශ වැනසීමට ඉඩ දිය යුතු නැත. ඒවා ආරක්‍ෂා කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය. ආණ්ඩුව එම වගකීම ඉටු නොකරන විට සිදුවන්නේ ජන කොටස් දෙකක් අතර ඇති වන ගැටුමක් දක්වා ප්‍රශ්නය බරපතළ වීමය. එබැවින්, අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, නැඟෙනහිර හා ඇතැම් වෙනත් ප්‍රදේශවල අන්තවාදීන් විසින් සිදු කර ඇතැයි කියාන විනාශයන් පිළිබඳ වහාම සොයා බලා, ඊට එරෙහිව පියවර ගන්නා ලෙසය. එසේ නොකරන්නේ නම්, අපට පිළිගන්නට සිදුවන්නේ, ආණ්ඩුවට අවශ්‍ය අන්තවාදයන් අතර මරා ගැනිල්ලක් දැකීමට මිස, කවර අන්තවාදයකටවත් වැඩෙන්නට ඉඩ නොහැරීම නොවන බවය.

රට, ජාතිය හා ආගම පිළිබඳ ඇති ආදරය, පහසුවෙන් ආවේගයක් බවට පෙරළිය හැකිය. එහෙත්, එකී ආවේග වෙතින් පමණක් මෙහෙයවනු ලැබුවහොත්, විනාශ වනු ඇත්තේ රට, ජාතිය හා ආගම ම බව අප අවබෝධ කර ගත යුතුය. ‘1983 අපකීර්තිමත් කළු ජූලිය’ සිදු කළ එජාප මැරයන්, එමගින් සිදු කළේ වේලුපිල්ලේ පිරපාහරන්ගේ අන්තවාදයට වැඩෙන්නට අවශ්‍ය සරු පස ජාතිකවත් ජාත්‍යන්තරවත් නිර්මාණය කර දීමය. එදා දෙමළ මිනිසුන් මරා දැමීමෙන් හෝ දේපළ වැනසීමෙන් සිදු වූයේ, දෙමළ ඩයස්පෝරාවක් ලොව පුරා නිර්මාණය වීමත්, එමගින් මිනීමරු කොටි ත්‍රස්තවාදය හැම අතින්ම පෝෂණය කිරීමත්, මරාගෙන මැරෙන කොටින් නිමැවීමට පහසු හැකියාවක් පිරපාහරන්ට හිමිකර දීමත් පමණි. එමෙන්ම, සිංහලයන් ‘ම්ලේච්ඡයන්’ ලෙස හඳුන්වන තත්වයකට ලොව පත් වූයේත් ‘කළු ජූලියට’ පින්සිදු වන්නටය.

එබැවින්, එම ඉතිහාස අත්දැකීම් වෙතින් උගෙන සිංහල-දෙමළ-මුස්ලිම් මරාගැනිල්ලකට රට ඇදවැට්ටවීමට දෙපැත්තේම අන්තවාදීන් දරන උත්සාහය අපි පරාජය කළ යුතු වෙමු. කවර අන්තවාදයක් වුව පැරදවිය හැක්කේ බාහු බලයෙන් නොවන බව අපි වටහා ගත යුතු වෙමු. එම නිසා, ශ්‍රී ලංකාවට හතුරු බලවේගයන්ගේ මනදොළ පිනවන එබඳු මරාගැනිල්ලකට රට ඇද හෙළන්නට කුරුමානම් අල්ලන සියලු කණ්ඩායම් පරාජය කිරීමට පියවර ගන්නා මෙන් ලක්වැසි සියලු දේශමාමක ජනතාව වෙතින් අපි ඉල්ලා සිටිමු.

කවර ජාතිවාදී මරාගැනිල්ලක් වුව සේවය කරනුයේ මෙම දේශද්‍රෝහී ආණ්ඩුවේ බල පැවැත්මටය. එවැන්නක් ඇති වුවහොත්, එයම දඩමීමා කරගනිමින් ආණ්ඩුව හදිසි නීතිය පනවා පළාත් සභා මැතිවරණය එමගින් කල් දමා, තම මර්දනකාරී මෙහෙයුමට අවශ්‍ය උත්තේජනය එමගින් ලබාගනු ඇත. ඒ අතරම බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට, එට්කා ගිවිසුමට හා රට විකිණීමට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රගතිශිලී ජාතිකවාදී බලවේග මත ද ජාතිවාදී ලේබලය අලවා ඔවුන් මර්දනය කිරීමට ද එය යොදා ගනු නිසැකය. එබැවින්, කවර අයුරින් හෝ මේ දේශද්‍රෝහී ආණ්ඩුවට වාසි සලසන ජාතිවාදී මරා ගැනිල්ලකට රට ඇද නොදමන මෙන් අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව වෙතින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

එමෙන්ම, ඇතැම් අන්තවාදී කොටස්වල නීතියට පටහැනිව සිදුකර තිබෙන ආක්‍රමණශිලී ක්‍රියා සම්බන්ධ චෝදනා අරබයා නීතිය භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මෙන් ද අපි ආණ්ඩුවට බලකර කියා සිටිමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලන්න බුද්ධි මෙහෙයුම් දැඩි කල යුතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි

colombotoday

තව්හිද් සාමාජිකයන් ගැන පොලිසියට තොරතුරු දුන්නැයි නාවික සෙබළකු ඇතුළු තිදෙනකුට පහර දීලා

colombotoday

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

ගෝඨාගේ ශ්‍රි ලාංකික පුරවැසිභාවය සියයට සියක් නිවරැදි, ව්‍යවස්ථානුකූලයි – ඩලස්

colombotoday

“LTTEයේ සහය නොවෙන්න, ලංකාවේ තවමත් පෝලියෝ” රොටරි සමුළුවේදී අගමැතිගෙන් කොටින්ට පැසසුම්

colombotoday

මන්නා පිහියකින් පියාට පහරදෙන්න ආ පුද්ගලයා ව පුතා ඝාතනය කරයි

colombotoday