Colombo Today Local News

වෛරස් උණ රට පුරා.. මධ්‍යම පළාතේ මරණ 17 ක්

දිවයින පුරා මෙම දිනවල පැතිර යන එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණ, ඩෙංගු හා ඩෙංගු රෝගයට සමාන වෛරස්‌ උණ රෝගයක්‌ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණ තිබේ.

එච් 1 එන් 1 බවට සැක කෙරෙන වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යැම නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන්ද ඊයේ (03 ) වසා දැමුණු අතර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක්‌ද වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යැම නිසා වසා දැමිණි.

දිවයින පුරා උතුර නැගෙනහිරද ඇතුළුව බොහෝ ප්‍රදේශවල මෙම උණ රෝගයන් පැතිර යමින් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මධ්‍යම පළාත තුළ පැතිර යන එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගය හේතුවෙන් මේ වන විට ගැබිනි මවක්‌ ඇතුළු 17 දෙනකු මිය ගොස්‌ ඇති බව අනාවරණය වී තිබේ.

දිවයින පුරා රෝහල් ගණනාවක මෙම උණ රෝගයන්ට ගොදුරු වූ රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින අතර සෑම ප්‍රධාන රෝහලකම පාහේ පැතිර යන එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගයට ගොදුරු වූවන් වෙනුවෙන් විශේෂිත වාට්‌ටු පවත්වාගෙන යන බව රෝහල් බලධාරීහු පවසති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ඉකුත් සිකුරාදා සිසුන් 250 ක්‌ පමණද ඊයේ දිනයේ පන්සියයකට (500 කට) අධික පිරිසක්‌ද මෙම ඉන්ෆ්ලුවන්සා උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ තිබූ අතර රෝගය විශ්වවිද්‍යාලය තුළ පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් ඊයේ සවස නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල, අධ්‍යයන කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවැසීය.

විශ්වවිද්‍යාලයේ සිසු නේවාසිකාගාරවල නේවාසිකව සිටින සිසුන් හාරදහසක පමණ සංඛ්‍යාවෙන්a සියයට තිහකට මෙම උණ වැළඳී ඇති බව අනාවරණය වී තිබේ.

එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ සාමාන්‍ය සෘතුමය (සීසනල්) උණ රෝගයක්‌ සේ සැලැකෙන අතර එහි ප්‍රධාන රෝග ලක්‍ෂණයන් වනුයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත දරුණු ආසාධනයත් සමඟ සෙන්ටිග්‍රේඩ් අංශක 38 ට වැඩි උණ, කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණයි.

මෙම රෝගය බහුතරයකට ප්‍රතිකාර රහිතවම සුව අතට පත් වන අතර සමහර පුද්ගල කාණ්‌ඩයන් විශේෂයෙන්ම වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් වයස අවුරුදු දෙකට අඩු දරුවන් ගැබිනි මවුවරුන් ප්‍රතිශක්‌තිය හීණ වූ පුද්ගලයන් හා නිධන්ගත හෘද, අක්‌මා, වකුගඩු, දියවැඩියා වැනි රෝගවලින් පෙළෙන්නන් හට ඉන්ෆ්ලුවන්සා උණ වෛරසය ශරීරගත වූ විට ආසාධන තත්ත්වය තීව්‍ර වීමට හෝ සංකූලතා ඇති වීමට වැඩි අවදානමක්‌ පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

රෝගය කෙනකුගෙන්a තවත් අයෙකුට පැතිරීම, කෙළ බිඳිති හා නාසයෙන් පිටවන ස්‍රාවයන් හරහා සිදු වන බැවින් රෝග බෝවීම හා පැතිරීම පාලනය සඳහා මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව හෙතෙම කීවේය.

ඉහත කී අවදානම් කණ්‌ඩායම් වලට අයත් වූවන්ට ඉන්ෆ්ලුවන්සා උණ රෝගය වැළඳුන විටදී වැඩි අවධානයෙන් පසුවිය යුතු අතර රෝග ලක්‍ෂණවල යම් තීව්‍ර වීමක්‌ හෝ ශ්වසන අපහසුතාවයක්‌ ඇති වුවහොත් හැකි ඉක්‌මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

රෝගය බෝවීම හා පැතිරීම පාලනය සඳහා කහින විට, කිවිසුම් යන විට ලේන්සුවක්‌ භාවිතා කිරීම, දෙඅත් නිතර සෝදා පිරිසිදුව තබා ගැනීම, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන විටදී මුහුණ හෝ නාසය ඇල්ලීමෙන් වැළකීම හා ජනාකීර්ණ ප්‍රදේශයන්හි ගැවසීම අවම කිරීම යෝග්‍ය බව වෛද්‍ය මතයයි.

මෙම රෝගය සාමාන්‍ය රෝග තත්ත්වයක්‌ බැවින් ඒ පිළිබඳව ජනතාව අනියත බියක්‌ ඇති කර ගත යුතු නැති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙම දිනවල ඩෙංගු උණ රෝගය හා එයට සමාන්තර වෛරස්‌ උණ රෝගයක්‌ ද බොහෝ ප්‍රදේශවල පැතිර යන අතර එම රෝග පිළිබඳවද අවධානයෙන් සිටිමින් රෝග ලක්‍ෂණ මතුවූ වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.

Related posts

වැට් විරෝධය රටපුරා ඇවිළේ.. මාතරත් කඩ සාප්පු වැසෙයි.. ව්‍යාපාරිකයෝ වීදි බසී

colombotoday

බන්ධනාගාරයට ගිය මහින්ද, කාර් එක ඇතුළේ ඉදන් කරන්න ගිය කතාව එකපාරට එළියට ඇවිත් කියයි (Video)

colombotoday

පළමුව ජනමත විචාරණය.. පළාත් පාලන මැතිවරණය ඉන් පසු !

colombotoday

මුස්ලීම් කොවිඩ් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

colombotoday

නාරංගල ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

colombotoday

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday