Colombo Today Local News

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

මිග් 27 ප්‍රභාරක ගුවන් යානා මිලදීගැනීම සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැහැදිලි කර තිබෙනවා.

මිග් ගනුදෙනුව පිළිබඳ පැහැදිලි කිරීමක්.

2006 දී ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප‍්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම ගනුදෙනුව සිදුකිරීමට දින කීපයකට පෙර බි‍්‍රතාන්‍ය විජිතයක් වන වර්ජින් දුපත් හි බෙලිමීසා හෝල්ඩින්ස් සමාගම නමින් විවෘත කරන ලද රහසිගත බැංකු ගිණුමක් සොයාගෙන තිබෙන බව පසුගිය ඉරිදා එක්තරා ඉංග‍්‍රීසි පුවත්පතකද තවත් වෙබ් අඩවියකද පලවිය. ඊනියා ”මිග් ගනුදෙනුව” ගැන ලිපි පලවී ඇති ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ.

ඉකුත් අවුරුදු 9 පුරාම විටින් විට මේ මාතෘකාව මාධ්‍යයේ සාකච්ඡ වුණි. ආණ්ඩු පෙරලියත් සමඟ අපගේ විරුද්ධවාදීන් මේ කාරණය නැවතත් කරලියට ගෙනවිත් තිබෙන නිසා මිග් ගනුදෙනුව සැබවින්ම කුමක්දැයි මහජනතාවට විස්තර කර සිටිමට මෙය උචිත අවස්ථාවක් යැයි මම සිතමි. මෙකී මාධය නිවේදනයේ සඳහන් සියලූම ලියවිලි ගල්කිස්සේ දිස්ත‍්‍රික් උසාවිය සතුව තිබෙන බවද සැලකිය යුතුය.

[1]. 2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් මිග්-27 යානා දෙකක්ද එක් මිග්-23 යානාවක්ද මිලදීගත් අවස්ථාවේදී ඒවා සැපයීම සඳහා 2000 ඔක්තෝබර් 24 වන දා ගිවිසුම් අත්සන් කරන ලද්දේ සිංගප්පූරුවේ ඞී.එස්. ඇලයන්ස් නැමැති කොම්පැනියේ ටී.එස්. ලී නැමැත්තෙකු සමඟය. මිග් ගුවන් යානා නිපදවන්නේ සිංගප්පූරුවේ නොවේ. අපගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වූයේ සියලූම අවි හා යුධමය ආම්පන්න සෘජුවම නිශ්පාදකයාගෙන්ම මිලදී ගෙන අතරමැදියන්ව ඉවත් කිරිමයි.

[2]. 2006 වසරේ දී නව මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදි ගැනිමටත් ගුවන් හමුදාව සතුව පැවති තවත් මිග්-27 යානා 3ක් හා මිග්-23 යානාවක් සම්පූර්ණයෙන්ම අලූත්වැඩියා කිරීමටත් අවශ්‍ය වූ විට අපි යුක්රේනයේ මෙම මිග් යානා නිපදවන ”යුක්රින්මාශ්” නැමැති සමාගම සෘජුවම සම්බන්ධ කර ගත්තේය. ”යුක්රින්මාශ්” සමාගම 2006 පෙබරවාරි 06 වනදා අපගේ ආරක්‍ෂක අමාත්‍යංශයට ලියමින් එම ගුවන් යානා මිලදි ගැනිමට හා අලූත්වැඩියා කිරීමට මිල ගනන් ඉදිරිපත් කල පළමු ලිපියේ මෙම ගනුදෙනුව මූල්‍ය සමාගමක මැදිහත් වීමෙන් සිදුකරන බවත් සියලූ ගෙවිම් එකී මූල්‍ය සමාගමට සිදුකල යුතු බවත් පවසා තිබුණි. මෙකී ගනුනෙුව සම්බන්ධ ගිවිසුම අත්සන් කොට දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම අප වෙත දන්වන බවද එම ලිපියේ සඳහන් විය.

[3]. 2001-2004 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවද මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙකී යුකරින්මාශ් සමාගමෙන් විමසීම් කර තිබුණි. යුක්රින්මාශ් සමාගම 2003 අපේ‍්‍රල් 22 වනදා එවක ආරක්‍ෂක ඇමති තිලක් මාරපන මහතාට මිල ගනන් දන්වමින් එවා තිබූ ලිපියේද එම ගනුදෙනුව සඳහා මූල්‍ය සමාගමක් මැදිහත් වන බවත් සියලූ ගෙවිම් එම මූල්‍ය සමාගමට කලයුතු බවත් ගිවිසුම අත්සන් කර දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම ශ‍්‍රී ලංකාවට සපයන බවත් කියා තිබුණි. යුක්රින්මාශ් සමාගම මාරපන මහතාට එම ලිපියේ සඳහන් කළ මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය 2006 අපට එවූ ලිපියේ සඳහන් ක‍්‍රමවේදයට වචනයක් පාසා සමානය.

[4]. යුක්රින්මාශ් සමාගමේ අධ්‍යක්‍ෂක වරයෙකු වන ඞී.ඒ. පෙරිගුඩෝව් මහතා ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත ලිපියක් ලියමින් විස්තර කර සිටියේ යුක්රින්මාශ් යනු සම්පූර්ණයෙන්ම යුක්රේන රජයට අයත් සමාගමක් බවත් ඒ රටේ නීතියට අනුව ඔවුන්ට ණයට භාන්ඩ සැපයීමට නොහැකි බවත්ය. අප ඉල්ලා සිටි පරිදි අවුරුදු දෙකකින් ගෙවිමට ණයට භාන්ඩ සැපයීමට නොහැකි නිසා බෙලිමීසා හෝල්ඩින්ස් නැමැති මූල්‍ය ආයතනයක් එම ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයනු ඇති බව ඔහු කියා සිටියේය.

[5]. 2006 ජූලි 26 වනදා මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදි ගැනීමටත් තවත් මිග් යානා 4ක් අලූතිවැඩියා කිරීමටත් ගිවිසුම් අත්සන් කල විට එයට පාර්ශව තුනක් සම්බන්ධ විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කාර පාර්ශවය විය. යුක්රින්මාශ් සමාගම විකුණුම්කාර පාර්ශවය විය. බෙලිමීසා හෝලිඩින්ස් සමාගම සියලූ ගෙවිම් ලබා ගන්නා පාර්ශවය විය. මේ පාර්ශව තුනම ගිවිසුමට අත්සන් කොට තිබේ. මෙම ගිවිසුම ලංකාවේත් යුක්රේනයේත් රජයේ ආයතන දෙකක් අතර සිදු කෙරුනු, යුක්රේන හා ජාත්‍යන්තර නීතිය යටතේ නිතිමය බන්ධනයක් ඇතිකරන ගිවිසුමක් වේ.

[6]. මෙකී ගිවිසුමේ 23.1 වගන්තියට අනුව බෙලිමීසා හෝලිඩින්ස්් සමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැනුම්කාර පාර්ශවයත් විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාල සියලූම ගෙවීම් බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට ලැබිය යුතු බවත් පැහැදිලිව සඳහන් විය.

[7]. 2006 ජූලි 31 වනදා යුක්රින්මාශ් සමාගම විසින් මෙම මිග් යානා මිලදි ගැනීමට හා අලූත්වැඩියා කිරීමට අදාල ඉන්වොයිසිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එවු විටද ලංකා බැංකුව විසින් මුදල් ගෙවිය යුත්තේ බෙලිමීසා හෝලිඩින්ස් සමාගමට බව නැවත වතාවක් සඳහන් විය.

විදේශීය රටක රජයට අයත් ආයතනයක් සමග ගුවන් යානා මිලදි ගැනිම සඳහා ගිවිසුමක් අත්සන් කල විට ගැනුම්කරුවා මුදල් ගෙවිය යුත්තේ විකුණුම්කරුවා නිර්දේශ කරන ආකාරයටය. බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට මුදල් ගෙවීම කිසිසේත්ම රහසක් නොවන්නේ ඔවුන්ද මෙකී ගිවිසුමට අත්සන් කල පාර්ශවයක් වන නිසාය. අපි මෙම මිග් යානා සෘජුවම යුක්රේනයේ නිෂ්පාදකවරුන්ගෙන්ම මිලදී ගත් අතර ගෙවු මුදලට ලැබිය යුතු සියල්ල අපට ලැබුනි. මෙම ගුවන් යානා යුද්ධයේදී භාවිතා වූ අතර යුද්ධය ජයගැනිමෙන් පසු තවමත් ඒවා ගුවන් හමුදාව සතුව පවතී.

මෙම මිග් ගුවන් යානා මිලදි ගැනිම සම්බන්ධයෙන් රහසිගත කුමක් හෝ සිදුවී ඇති බව ජනතාවට ඒත්තුගැන්වීමට කරන මේ උත්සාහය මාගේ නම කෙලසිමට දිගු කාලයක් මුලූල්ලේ පවතින ප‍්‍රයත්නයක කොටසකි. යුධ ජයග‍්‍රහණය අවමානයට ලක් කිරීමේ උවමනාවක්ද මෙය පසුපස ඇත. බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්‍ය බවට පත් කිරිමට උත්සහ දරන විවිධ පාර්ශව වල ප‍්‍රචාරයන් වලින් නොමග නොයන මෙන් මම ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ගෝඨාභය රාජපක්‍ෂ
හිටපු ආරක්‍ෂක ලේකම්

Related posts

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා මෙහෙයුම්

Admin

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday

හරවා යැවූ IOC බාල තෙල් නැව ත්‍රිකුණාමලයෙන් ගොඩ බෑමේ සූදානමක්.. රටේම වාහන අනතුරේ !

colombotoday

එජාප ව්‍යවස්ථාව අනුව රනිල්ගේ නායක්වය අහෝසියි… ඔහු මියයන තුරු නායකත්වයේ ඉන්න හදනවා…

colombotoday

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin