Colombo Today Local News

මුදල් ඇමතිගේ ප්‍රාඩෝ මගඩිය හෙලි කළ රේගු නිලධාරීන්ගේ බෙල්ලට තොණ්ඩුව !

rv232රුපියල් මිලියන දහසකට අධික තීරු බදු මුදලක් රජයට අහිමි කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ මැදිහත් වීමෙන් සිදුවූ දූෂිත ප්‍රාඩෝ ගනුදෙණුව පිළිබද පරීක්ෂණ පැවැත්වූ රේගු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.

රුපියල් බිලියනය ඉක්මවන තීරුබදු ආදායම රජයට අහිමි වී ඇත්තේ TOYOTA PRADO TRJ 150 වර්ගයේ ජීප් රථ අදාළ ගාස්තු නොගෙවා මෙරටට ආනයනය කිරීම හේතුවෙනි.

2015 වසරේ අගභාගයේ දී මෙම මෝටර් රථ තොගය මෙරටට ආනයනය කර ඇත්තේද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමිනි. අදාළ මෝටර් රථ ආනයනය නිසා දැවැන්ත තීරුබදු ආදායමක් අහිමි වන බව තහවුරු වූ පසු මෝටර් රථ තොගය රේගුවෙන් නිදහස් නොකිරීමට රේගුව තීරණය කර තිබුණු අතර යහපාලන ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වූ 2016 ජනවාරි මස අට වනදා එම ප්‍රාඩෝ රථ තොගය මුදාහරින්නැයි මුදල් ඇමති රවී කරුණානායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත.

ඒ වන විටත් ප්‍රශ්නගත වංචාව සම්බන්ධයෙන් රේගු අධිකාරි එස්.කේ.ඒ.එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

2016 ජනවාරි මස 17 දින සමස්ත ලංකා රේගු සේවා සංගමය මෙම වංචාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත.

එම දැනුවත් කිරීමට ප්‍රතිචාර ලෙස අදාළ සංගමයේ නියෝජිත පිරිසකට තමා සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා අවස්ථාව ලබා දී තිබිණි.

එම අවස්ථාව ලබා දී ඇත්තේ 2016 මාර්තු මස 09 වන දිනය.

අදාළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම වංචාව පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කෙරුණි.

ප්‍රශ්නගත වංචාව අනාවරණය කරගත් රේගු නිලධාරීන් සියලු දෙනා එම කමිටුව හමුවේ සාක්ෂි දුන් පසුව ඉහළ පෙළේ ප්‍රභූවරයකුගේ අණින් කමිටු වාර්තාව එළිදක්වන්නටත් පෙර කමිටුව අහෝසි කර ඇත. එවැනි පසුබිමක ඉකුත් නොවැම්බර් පස් වන දා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විමර්ශන නිලධාරීන්ට එරෙහිව විශේෂ විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අදාළ මෝටර් රථ තොගය පිළිබඳ තොරතුරු රේගුවෙන් පිටතට යාම තුළින් රේගු දෙපාර්තමේන්තුවට අගතියක් සිදු වූ බවය. පරීක්ෂණ මෙහෙයවීම රේගු අධ්‍යක්ෂ සමන් ද සිල්වා මහතාට පවරා ඇති අතර රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවලට අනුව ඔහු එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු අයකු නොවන බව අනාවරණය කෙරී ඇත.

මනුෂ්‍ය ඝාතනයක් කිරීමට උත්සාහ දැරීමේ චෝදනාව මත සමන් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුව ඇප මත නිදහස්ව සිටින්නෙකි. ඊට අමතරව රේගු අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ලබා තිබෙන පත්වීම රාජ්‍ය සේවා කොමිසම විසින් මෙතෙක් අනුමත කර නැත. අදාළ තනතුරට උසස් කෙරෙන අවස්ථාවේ දී ඔහු සිට ඇත්තේ ද රක්ෂිත බන්ධනාගාරගතවය.

කෙසේ වෙතත් ප්‍රශ්නගත මෝටර් රථ තොගය මුදාහැරීම වළකා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් සිටි රේගු අධිකාරි එස්.කේ.ඒ.එස්. සේනානායක මහතා එළඹෙන නොවැම්බර් 17 වන දින සමන් ද සිල්වා මහතා හමුවේ විනය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට දැනුම් දී ඇත. අදාළ රථවාහන තොගය මුදාහැරීමේ දී රුපියල් ලක්ෂ 50 බැගින් මුදල් අයකර ගැනීමට මුදල් ඇමැතිවරයා මීට පෙර නියෝග කර ඇත.

එහෙත් ඒ සඳහා අය කරගත යුතු මුදල වන්නේ එක් මෝටර් රථයකට රුපියල් ලක්ෂ 80 කි. තත්ත්වය එසේ තිබිය දී රුපියල් ලක්ෂ 16 බැගින් අයකර මෝටර් රථ තොගය නිදහස් කරන ලෙස යළිත් වරක් මුදල් අමාත්‍යවරයා රේගු බලධාරීන්ට නියෝග කර ඇත.

මෙම මෝටර් රථ තොගය ආනයනය කිරීමේ වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රේගු නිලධාරීවරයාත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අදාළ අංශවලට යෝජනා කර ඇත්තේ රුපියල් ලක්ෂ 16 ක මුදලවත් අයකර නොගෙන මෝටර් රථ තොගය නිදහස් කිරීමටයි.

මෙබඳු ක්‍රියා තුළින් මුදල් ඇමැතිවරයා රේගුව හොර ගුහාවක් බවට පත් කරමින් සිටින බව රේගු වෘත්තීය සමිති පෙන්වා දෙයි.

Related posts

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday

වී කිලෝව රු16 යි – ගොවියෝ වහ බොන්න යයි!

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් බලය බෙදන්න මේ හොදම වෙලාවයි“ – සරත් විජේසූරිය

colombotoday

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

colombotoday

මතුගම දී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday