ArticlesColombo Today Local News

“මහින්දව නොමග යැව්වේ ඔහු වටේ සිටි අයයි“ දිගු නිහැඩියාවකින් පසු ශිරන්තිගෙන් ආන්දෝලනාත්මක කතා ගණනාවක්

shiranthiහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග සිදුකරන ලද සාකච්ඡාවක් පහතින් පලවේ.

මහින්දගේ පෙරළිකාර දේශපාලන ජීවිතයේත්, පුද්ගලික ජීවිතයේත් දුක, සැප බෙදාගන්නා ලද්දේ ඇය යි. ඔබ මහින්ද සමග මේ ගමන යන්නට පටන්ගත්තේ ආදර සබදතාවක් මුල් කරගෙනද ?
නැහැ. අපි විවහවන්නේ යෝජනාවකින්. ශිරන්ති වික්‍රමසිංහ විදිහට මම ඒකාලේ හරි ප්‍රසිද්ධයි. මහින්ද මාව දැකලා අපේ ඥාතියකු හරහා විවාහ යෝජනාවක් කර තිබුනා. ඔහු දේශපාලනයෙදී දඩබ්බරයකු වූ අවස්ථා තිබුනත් පුද්ගලික ජීවිතයේදී එසේ නොවෙයි.

මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා පිළිබඳව වැඩිපුරම දන්නේ ඔබ. මහින්ද රාජපක්ෂ කියන දේශපාලනඥයාගේ දේශපාලන ගමන් මඟේ ඔබ දැකපු සුවිශේෂී ලක්ෂණ මොනවාද?
මම විවාහ වුණේ නීතිඥයෙක් සමඟ. ඔහුගේ දේශපාලන ගැන බැලුවේ නැහැ. එහෙත් මගේ සැමියා දේශපාලඥයෙක්. මගේ සැමියා විදිහට මම ඔහුට ගෞරව කරනවා. අවශ්‍ය වූ විටෙක ඔහුට උදව් කරනවා. දේශපාලන රැස්වීම්වලට මම සම්බන්ධ නොවුණට ජනතාවට උදව් කරන වැඩවලට මම උදව් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයේ ඇතිවුණ විවිධ හැලහැප්පීම් වලදී ඔබ මොන විදිහටද ඒවාට මුහුණ දුන්නේ?
ලොකු පුතා නාමල් හම්බවෙන්න හිටපු කාලයේ ඔහු සිරගත කෙරුනා. ඒ කාලයේ මගේ පියා හැමදෙයක්ම හොයලා බැලුවා. මට බරක් දුන්නේ නැහැ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂව ඔබ දකින්නේ කොහොමද?
මම තවමත් ඔහුව දකින්නේ ජනාධිපතිතුමා වශයෙන්. කාටත් පාර්ලිමේන්තු සාමාජිකයෙක් විදිහට ඉන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ගේ හදවතේ ඉන්නේ එතුමායි. මට ඒක හිතන්න බැහැ, ඒකෙ වෙනසක් නැහැ මට.

ඔහු ඒ වෙනස විඳ ගත්තේ කොහොමද?
මම සාමාන්‍යයෙන් ඔහු සමඟ දේශපාලනය ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ඔහුත් එහෙමයි. ඔහු මට දුකක් කියල එකක් පෙන්නුවෙත් නැහැ. මම එයාට දුකක් පෙන්නුවෙත් නැහැ. ඒ විදිහට තාම ඉන්නවා.

ඒ කියන්නේ ඔබේ භූමිකාව බිරිඳ කියන එක පමණයි?
ඔව්,ආදරණිය බිරිඳ සහ ආදරණිය මව.

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන තීන්දු තීරණ ගන්න වෙලාවට ඔබ සමඟ කතා කරන්නෙම නැද්ද?
ඒක තමයි මෙතන වුන වැරැද්ද. මගෙන් තීරණේ ගැන අහන්න තිබුණා.

ඔබ ඇයි එහෙම කියන්නේ?
එහෙම වුනා නම් මම පසුගිය ජනාධිපතිවරණයට යන්න දෙන්නේ නැහැ. හඳහන්, වෙලාව සියල්ල මම බලනවා. මෙවර මට ඒ කාර්ය කරන්න බැරි වුණා.

ඇයි ඒ?
ඒක තමයි, වටේ ඉන්න අය තමයි රැවට්ටුවේ. දැන් මම බලනවා. දැන් ආයේ රැවටෙන්න දෙන්නේ නැහැ.

මීට පෙර අවස්ථාවකදී ගුප්තා කියන නක්ෂත්‍රවේදියෙක්ගෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා කේන්දර බැලුවා කියල කතාවක් තියෙනවා. එවැනි දෙයක් ඒ කාලයේ සිදු වුණාද ?
මම දැනුවත්ව නැහැ. මම සාමාන්‍යයෙන් කේන්දර පස්සේ එච්චර දුවන්නේ නැහැ. මම ඕන දෙයක් කියන්නේ දෙවියන්වහන්සේට.

ඒ වගේම බොහෝ විට කතාබහට ලක්වෙන ජ්‍යෙතිෂ්‍යවේදියෙක් වන සුමනදාස මහත්තයාගේ පැමිණීම සිදුවෙන්නෙත් ඔබේ අනුදැනුමකින් තොරවද?
එයා වෙලාව බැලුවට පස්සේ මහින්ද මැතිතුමා මට පෙන්නනවා මේ වෙලාව තමයි හොඳ කියලා. ඒ වෙනකොට තීරණය අරගෙන ඉවරයි. මට සෙකන්ඩ් ඔපිනියන් එකකට යන්න(දෙවැනි තෝරා ගැනීමකට) වෙලාවක් නැහැ. මාවත් ඒකට සහභාගී කරගත්තා නම් මම ඒ වගේ තීරණයක් ගන්න කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. හැබැයි එක පැත්තකින් වෙන්න තිබුණ නරකක් ඒ විදිහට ගෙවිලා යන්න ඇති. ලොකු අපලයක් තියෙන්න ඇති. ඒ අපලය ගෙවෙන්නේ මේ විදිහට. නමුත් මොන ප්‍රශ්න තිබුණත් අපේ පවුලේ කවුරුවත් වැටුනේ නැහැ. මම ආණඩුවට යටත් නැහැ. මම ආණ්ඩුවේ සේවකයෙක් නෙවෙයි. මයි කාර් මයි පෙට්‍රල්.

ඔබ ළමා අධ්‍යාපන මනෝ විද්‍යාව සහ ළමා අධ්‍යාපනය පිළිබඳව හදාරා තිබෙනවා. ඒ මොන කාලයේද?
මම විවාහ වෙන්න පෙර සිටම ඒ අධ්‍යාපන කටයුතු කළා. ඒවා අවසන් කළේ විවාහයෙන් පසුවයි. ඒ සියලුම අධ්‍යාපන සුදුසුකම ලබා ගත්තේ පුතාලා පුංචි කාලේ. ඒ අත්දැකීම සමගයි මේ සියලු දේ කරන්නේ.

සමාජයේ මතයක් තිබෙනවා මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධ මතයක සිටින බවට. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
එහෙම දෙයක් නැහැ. අපිට දුක මහින්ද මහත්තයා වටේ සිටි අය හිතවත් නැති වුනේ නැති එක ගැනයි. නමුත් මගේ දරුවන්ට දුන් වදය ගැන මට ඔක්කොටම වඩා දුකයි. ඒකට මම කවදාවත් කාටවත් සමාව දෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ ඒ ගැන බලයි. මම කවදාවත් පලිගන්න යන්නේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා කරන්නේ දේශපාලනය මිස කාගෙන්වත් පලිගන්න එක නෙවෙයි. අපේ ලොකු පුතා කියනවා පලිගන්න යන්න එපා කියලා. පළිගන්නේ මෝඩයෝ. නූගත් මිනිස්සු. උගත් මිනිස්සු පළිගන්නේ නැහැ.

සිරිලිය සවිය ගිණුමෙන් මුදල් අය කර ගැනීම සම්බන්ධව වගේම දෙහිවල ප්‍රදේශයේ කලාකරුවන් සඳහා වෙන් වුණ ඉඩමක් පවරා ගැනීම සම්බන්ධව ඔබට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
දෙහිවල ඉඩම ගත්තේ අවුරුදු 20 බද්දට. එහි සියලු ලිපිගොනු තිබෙනවා. එහෙම කිසිම දෙයක් කරලා නැහැ. මම දුප්පත් මිනිස්සුන්ට උදව් කළා. ඒ උදව් මට නෙවෙයි කරගත්තේ. රටේ පළමු කාන්තාවක් වුණාම මිනිස්සුන්ට උදව් නැතිනම් වැඩක් නැහැ. දැන් බලන්න එක රෝහලකට කිසිදු උපකරණයක් දෙනවද? මම දීපු ඒවා පමණයි තියෙන්නේ. මේ අවුරුදු දෙකේ කවුද ඉස්පිරිතාලවලට එහෙම උදව්වක් කළේ. කවුරුවත් නැහැ. සිරිලිය මගින් වුණත් ඒ සල්ලි සියල්ල එකතු කළේ ළමයින් වෙනුවෙන් හම්බන්තොට ළමා රෝහලක් හදන්න. දැන් ඒ මුදල් නතර වුණා. ඒවා නිදහස් වුණ දිනයක කවදා හරි මම ඒ රෝහල හදනවාමයි. ඒ හදලා රජයට භාර දෙනවා. අපේ බැංකුවල අනුන්ගේ සල්ලි නැහැ. මගේ දෙමව්පියෝ ඇතිවෙන්න දේවල් මට දුන්නා. මට මොකටද අනුන්ගේ සල්ලි. එහෙම වුණානම් අපි මෙහෙම ඉන්නේ නැහැ.

වත්මන ජනාධිපතිවරයා පවා FCID එකේ ක්‍රියාකාරීත්වය විචේචනය කළා. FCID එක පිළිබඳව ඔබ මොකක්ද හිතන්නේ?
FCID යේ අය කරන්නේ ඒ අයගේ රැකියාව. ඒ මිනිස්සු පව්. ඒ අය හරි අසරණ මිනිස්සු . එයාලම කියනවා අපි එව්ව නිසා මේ දේ කරනවා මිස මැඩම්ගෙන් ප්‍රශ්න කලත් සර්ගෙන් ප්‍රශ්න කළත් අපිට දුකයි කියලා. මම ඒ අයට අනුකම්පා කරනවා.

දෙහිවල ඉඩමක් සම්බන්ධව ඔබේ පුතෙකුට චෝදනාවක් ආවා. කවුද මේ ඩේසි ආච්චි කියන්නේ?
ඩේසි කියන්නේ මගේ පුංචි අම්මා. ඇය විවාහ වෙලා නැහැ. ඇයට ඇති වෙනකම් දේපළ තියෙනවා. ඇය බැලුවේ අපේ දරුවන් තුන්දෙනාට ඒ දේපළ දෙන්න. මොකද පාසල් වැඩවලට ගියාම මගේ දරුවෝ බලා ගත්තේ ඇය. ඉතින් ඒ දරුවන් ගැන දරු කැක්කුමක් ඇයට තියෙනවා. ඉතින් ඒ ඉඩම් මේ දරුවන්ට දෙන්න ඕන කියලා යෝශිතගේ නමට ලිව්වා. එකේ වැරැද්ද මොකක්ද. ඒ මනුස්සයාට තියෙන නිසානේ දුන්නේ. දැන් ඇයට මේ ප්‍රශ්න නිසා හරියට මතකයත් නැති වෙලා. ඇය යෝෂිත ගැන දුකින් ඉන්නේ. ඇයට මේ ආණ්ඩුව කළේ මොන ජාතියේ අපරාධයක්ද? එහෙම කරන එක පව්. තරුණ වයසේ ඉන්න කෙනකුට ඒ වගේ දේවල් කරන එක හොඳ නැහැ. දෙමාපියන් විදිහට අපි අපේ ළමයින්ට ඉගැන්නුවා මිස දරුණු වෙන්න කියා දුන්නේ නැහැ. මට දුක මේ ආණ්ඩුව කල මේ දේවල් නිසා මේ ළමයි දරුණු වෙයිද කියන එක ගැනයි. එක ලොකු ප්‍රශ්නයක්.

ඒ සිදුවීමෙන් පසුව යෝෂිත ඔබ සමඟ මොනවාද කිව්වේ?
මට දුක හිතෙයි කියලා යෝෂිත මාත් එක්ක මේ ගැන කතා කරන්නෙම නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වරෙක මාධ්‍ය හමුවේ කියනවා, ශිරන්ති රාජපක්ෂව අත්ඩංගුවට ගන්න ඕනෑ තරම් චෝදනා තිබියදී ඇයට එරෙහිව නීති ක්‍රියාමාර්ග නොගන්නේ එජාපය සහ රාජපක්ෂ පවුල අතර ඩීල් එකක් තිබෙන නිසා කියලා. මොකක්ද මේ ඩීල් එක?
මම දේශපාලනය කරන්නේ නැතුව ඩීල් කරන්නේ කොහොමද? මට ටීවී බලන්නවත් වෙලාවක් නැහැ. මට ඕන තරම් වැඩ තියෙනවා. උදේට පාසලට ආවම මම ගෙදර යන්නේ හවස තුනට විතර. ඉන්පස්සේ මට ගෙදර කරන්න ඕන තරම් වැඩ තියෙනවා. මගේ සැමියා දේශපාලනය කරන නිසා මම උදව් කරනවා. ඔහු වෙන පක්ෂයකින් ආවත් මම උදව් කරනවා. සැමියාගේ පක්ෂය තමයි මගේ පක්ෂයත්.

FCID එකට වරෙක ඔබව කැඳවා තිබුණා. ඔබ නිවසින් පිටත් වුණ ඡායාරූප තිබුනත් ඔබ කටඋත්තර දුන්නේ FCID යෙදී නෙවෙයි. ඒ තැන කොතනද?
ඒක කියන්න බැහැ.

ඔබ ප්‍රකාශයක් කළාද ?
මම උත්තර දුන්නා. මම හොඳට බැන්නා. මම වැරදි කරල නැහැනේ. මගේ ගණකාධිකාරීවරයා ලවා සියලුම ලියකියවිලි ඉදිරිපත් කළා. ඒ එකකවත් ගිල්ටි නැති නිසා මම නිකන් ගිහින් උත්තර දෙන්නේ මොකටද? ඒ නිසා මම බැනලා ආවා. ඒ වගේම තනියම ගියේ නැහැ. මගේ පුතා නාමල් නීතිඥයෙක්. ඔහු සහ තව ජ්‍යෙෂ්ඨ නීතිඥනයන් දෙදෙනෙක් මම එක්කගෙන ගියා. මොකද මේ අය යම් දෙයක් වැරදි විදිහට හරි අඩුපාඩුවක් ඇතිව හරි සටහන් කරගත්තොත් ඒ ගැන බලන්න පුළුවන්. මම වැරදි දෙයකට අත්සන් කලොත් මම වැරැද්දක් භාරගත්තා වෙනවා.

ඒ හමුව සිදු වුණේ කථානායක නිල නිවසේදීද?
මට මතක නැහැ කොහෙදීද කියලා. දෙසැරයක් මම ගියා. FCID එකත් කැමති නැහැ මාව ප්‍රශ්න කරන්න. එක වෙලාවක දෙන්නෙක් තුදෙනෙක් මට කිව්වා. මැඩම් අපේ අම්මට රෝද පුටුවක් දුන්නනේ. තව කෙනෙක් කිව්වා මගේ අම්මගේ ඇහැට කාචයක් දුන්නේ මැඩම්. අපි කොහොමද ඔබතුමියව ප්‍රශ්න කරන්නේ කියලා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වරෙක කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර තිබුණා මට රාජපක්ෂ පවුල ගැන ගොඩක් තොරතුරු ලැබිලා තියෙනවා. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාව සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගවලට යන්නේ නැහැ කියලා. ඔබ එය පිළිගන්නවද?
එතුමා කොහොමද විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ. එතුමා සෞඛ්‍ය පැත්තේ වැඩ සියල්ල කළේ මාත් එක්කනේ. ඒ නිසා එයා දන්නවා මම කරපු වැඩ ගැන. මම ගේන උපකරණ සියල්ලම එයාට පෙන්නලා මම දෙන්නේ. නමුත් නම ගියේ එයාලා කරන විදිහටනේ. මම කළේ ආණ්ඩුවට උදව්වක්. ඒ නිසා මෙයාට මා ගැන වැරදි කියන්න බැහැ. කියන්නෙත් නැහැ. කොහොමද කියන්නේ එතුමා දන්නවානේ මම කරපු වැඩ සියල්ලම.

ඔබේ දරුවෝ තුන්දෙනා ගැන මවක් විදිහට මොකද හිතන්නේ?
නාමල් නිතිඥයෙක්. ඔහු දේශපාලනය කරනවා. මේ දේවල් එයාට හොද අත්දැකීමක්. පොඩි එක්කෙනා ප්‍රොෆෙසර් කෙනෙක් වගේ. එයා එච්චර දේශපාලනය බදා ගන්නේ නැහැ. වෙන විදිහකට එයා යන්නේ. යෝෂිතට වුණ දෙය නම් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.

නමුත් ඔවුන් තිදෙනාට විවිධ චෝදනා තිබෙනවා. ජනසටන පාගමනේදී නාමල් සමග නිලියක් දිගටම ගමන් කළා කියලා ඔබ ඇයට මදියි නොකියන්න බැන්නා කියලත් කතාවක් තියෙනවා. මේවට ඔබට උත්තර දෙන්න පුලුවන්ද?
උත්තර දෙන්න පුළුවන්. මම කවදාවත් බැනලා නැහැ. දරුවන්ගෙන් අහන්න. ඔය වයසට ගැහැණු ළමයින් ඉන්න ඕන. බෝයිස් ලා ට ගර්ල්ස් ලා ඉන්න ඕනා. ගර්ල්ස් ලාට බෝයිස් ලා ඉන්න ඕනා. අපි ඒ ගැන දන්නවා. මම අරයා බඳින්න මෙයා බඳින්න කියලා කවදාවත් කියන්නේ නැහැ. ගැහැණු ළමයෙක් ගෙදරට ආවත් මමත් හොඳට කතා කරනවා. මේ තුන්දෙනාම කවුද බඳින්නේ කියලා මට තාම කියලත් නැහැ. මම කවදාවත් බල කරන්නෙත් නැහැ. එයාලා බුද්ධිමත් ළමයි. මම දරුවන්ට අතක්වත් උස්සලා නැහැ.

මහින්ද රාජපක්ෂ මහත්තයා දරුවන් ගැන හිතන්නේ කොහොමද?
එයත් එහෙමයි. හරිම විවෘත මනසකින් දරුවන් දිහා බලනවා. විහිළු තහලු කරනවා. ඔහු කියන්නෙත් ඔයාලා බඳිනවා නම් හොඳ කෙනෙක්ව බඳින්න කියලයි.

අදත් මහින්ද රාජපක්ෂ මහතා වටා පිරිසක් සිටිනවා. මේ අය නිවැරදි මඟ පෙන්වීමක් කරනවා කියලා ඔබ විශ්වාස කරනවාද?
ගොඩක් දුරට. දැන් ඉන්නේ හිතවත් අය.

එදා සිටි පිරිස අතරින් කොපමණ පිරිසක්ද අද ඉන්නේ?
දන්න හැමෝම ඉන්නවා කියලා පේනවා. මිනිස්සු ඉල්ලන්නෙත් එතුමානේ. ඒ විදිහට රැදීගෙන ඉන්නවා.

සමහරු චෝදනා කරනවා මහින්ද රාජපක්ෂ මහතාට වෙන අයගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන්න සිදු වෙලා තියෙනවාය කියලා. ඔබත් එහෙම හිතවාද?
නැහැ මම එහෙම හිතන්නේ නැහැ. ඒ අය සාකච්ඡා කරන තැන්වලට මම යන්නේත් නැහැ. එතුමාටත් මොලයක් තියෙනවානේ. කල්පනා කරලා වැඩ කරයි. දැන් එතුමාගේ කාලය නරක නැහැ. අපල කාලය ගෙවිලා ඉවරයි.

මහින්ද රාජපක්ෂ මහතා වෙනම පක්ෂයක් හදයි කියලා ඔබ විශ්වාස කරනවාද?
බලමු ඒ වෙලාවට කොහොමද කියලා. සමහරවිට හැමදේම හරියයි. එතුමාගේ පියා, බණ්ඩාරනායක මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න කටයුතු කළා. එතුමාට පක්ෂය හැරදා යන්න ඕන තරම් අවස්ථාව තිබුනත් එතුමා ගියේ නැහැ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරි ආදරෙයි.

– lankanewsweb.net

Related posts

දේශපාලන පෙරළියක් අත ළග.. රාජපක්ෂවරයෙක් ළගදීම අගමැතිකමට !

colombotoday

ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගන්නා 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න…

colombotoday

විදුලි කැපෙද්දී ගාස්තුත් වැඩිකරන්න යෝජනාවක්

colombotoday

නඩුවකට අදාළ ගිනි අවියක් විකිණීමට තැත් කළ බදුල්ල මහෙස්ත්‍රා අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday

පෝර්ට් සිටිය නව ආරකින් ඉදිරියට.. පාඩුවේ හිලව්වට හෙක්ටයාර් දෙකක් චීනයට !

colombotoday