Colombo Today Local News

දුප්පත් මිනිහගේ සාක්කුවටත් ඇරියා… හිගාකෑවනම් මීට නම්බුයි.. අගමැති වහා ඉල්ලා අස්වෙනු !

weera-kumaaraකෝප් කමිටු නිර්දේශ ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩහැර අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි..

කෝප් කමිටු නිර්දේශ අනුව මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීමට ඉඩහැර අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේ ද සඳහන් කළේය.

”පසුගිය සිකුරාදා වන විට අපට හැකි වුණා මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදු කළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට. පසුගිය මාස 20 පුරාම ආණ්ඩුව උත්සාහ කළේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක වළක්වන්න. මේ වාර්තාව 2015 ජුනි මාසය වන විට සකස්කර අවසන්ව තිබුණා. එදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම වැළැක්වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. ඊට පසුව පත්වුණු නව පාර්ලිමේන්තුව යටතේ පිහිටු වූ කෝප් කමිටුව විසින් මේ වාර්තාව යළි ඉදිරිපත් කිරිමට උත්සාහ ගැනීමේදීත් ආණ්ඩුව විශේෂයෙන් කෝප් කමිටුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊට බාධා කළා. එම වාර්තාව එළි දැක්වීම අනන්තය දක්වා කල් දමන්න කළ හැකි සියල්ල කළා.

‘සාපරාධි අපරාධයක් සිදුව තිබෙනවා‘

කෙසේ නමුත් අද මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. නීතිපතිවරයාට මේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසා තිබෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු සහ සාක්ෂි සටහන් මෙම වාර්තාවේ අන්තර්ගතයි. ඒ නිසා නීතිපතිවරයා වෙත යවලා මහා දීර්ඝ කාලයක් ගත යුතු නැහැ. කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නොවෙයි, පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයත් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතුයි. කෝප් කමිටුව සිය නිර්දේශවල ‘ මෙම ගනුදෙනුවේදී සාපරාධී අපරාධයක් සිදුව ඇත’ යන නිර්දේශයත් ඉදිරිපත්කර තිබෙනවා. ඒ නිසා මේකට වගකිව යුතු අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට හැකියාව තිබෙනවා. අද නීතිය ක්‍රියාත්මක කරන සියලු පාර්ශ්වවලට හැකියාව තිබෙනවා, කඩිනමින් මේ කෝප් කමිටු නිර්දේශ ක්‍රියාවට නංවා , ‘ මේ හොරකමට වරදකරුවන් කවුද? ‘ කියා ජනතාවට පෙන්වා දෙන්න.

‘සිංගප්පූරු අර්ජුන්ගේ ලැදියාව’

අගමැතිවරයා, මහ බැංකු අධිපතිවරයා හා පර්පචුවල් ට්‍රෙෂරීස් යන අය අතර තිබුණු බැඳීම්, ලැදියාවන් හා සම්බන්ධතා මොනවාද?’ කියා නීතිය ඉදිරියේ නිසි ආකාරයෙන් ප්‍රශ්න කළ හැකියි. ඒවා ප්‍රශ්න කළ යුතුයි. ‘සිංගප්පූරු අර්ජුන්’කියන්නේ සිංගප්පූරු ජාතිකයෙක්. අගමැතිවරයා ඔහුව මහ බැංකු අධිපති ධුරයට පත් කළේ මේ රටේ නීති සීමාවන් ඉක්මවලා කියලා කෝප් කමිටුව ඉරිදියේ ඔප්පු වුණා. අර්ජුන මහේන්ද්‍රන් තම ධුරයට අදාළ දිවුරුම ලබා දුන්නේ නැහැ. තම ධුරයට අදාළ දිවුරුම ලබා නොදීපු කෙනෙකුට එම ධුරය දරන්න අවශ්‍ය නිතීමය ප්‍රතිපාදන මහ බැංකුව භාරව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදා දීලා තිබුණා. මෙවැනි ප්‍රතිපාදන හදලා දුන්නේ මේ ආණ්ඩුවට මේ රටේ මහ බැංකු අධිපති ධුරයට පත් කිරිමට වෙන කිසිවකුවත් සිටියේ නැති නිසාද? ඒ එක පැත්තක්.

අනෙක් පැත්තෙන් මේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාට තිබෙනවා,‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ නම් වූ මහ බැංකු බැඳුම්කර මිලදී ගන්නා ආයතනයක්. මේ ආයතනය බැඳුම්කර මිලදී ගන්නා විට පොලී අනුපාතිකය 9.5% සිට 12.5% ක් දක්වා ඉහළ දමා තිබුණා. අපි මෙම බැඳුම්කර මිලදී ගන්න ඔවුන්ට මුදල් දීපු ලංකා බැංකුවේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා ප්‍රශ්න කළා. ‘මේ විදිහට පොලිය ඉහළ දමනවා නම් අපි මේ බැඳුම්කර මිලදී නොගෙන ඉන්නේ නැහැ. බැඳුම්කර වෙළඳපොළේ මෙවැනි පොලී අනුපාතය ඉහළ යාමක් මෙතෙක් සිදුව නැහැ. අපි හිතුවේ 0.25% කින් පමණ පොලී අනුපාතිකය ඉහළ දමයි‘ කියලා යනුවෙන් ඒ නිලධාරින් පැවසුවා. එතකොට ඉතා පැහැදිලියි, මේ විදිහට මහ බැංකුවේ බැඳුම්කර සඳහා පොලි අනුපාතික ඉහළ දැම්මේ අර්ජුන් මහේන්ද්‍රන් කියලා. බෑණාගේ සමාගම මේ විදිහට පොලී අනුපාතික ඉහළ දමන බව දැනගෙන හිටියා. මේ විදිහට බැඳුම්කර වෙන්දේසියේ දමන්න කියලා උපදෙස් දුන්නේ කවුද? ‘මේ විදිහට බැඳුම්කර වෙන්දේසියේ දමන්න කියලා නියෝග දුන්නේ මම‘ කියලා 2015 මාර්තු 17 වැනිදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි පැවසුවා. මිලියන 20ක පමණ බැඳුම්කර මිලදී ගත් ප්‍රාථමික වෙළෙන්දෙක් වුණු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, ප්‍රධාන ගැනුම්කරුවා වූ ලංකා බැංකුවෙන් බිලියන 13ක ණයක් අරගෙන අධික ලාභයක් ලබනවා. මේ අන්තර් සම්බන්ධය අපි කෝප් කමිටුව විදියට ඔප්පුකර පෙන්වූවා. දැන් ඇත්තේ මේ පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාවේ යෙදවීමයි.

‘කොරියාවේ චෝයි- ලංකාවේ අර්ජුන්’

මේ දිනවල දකුණු කොරියාවේ ජනාධිපතිනී පාක් ගුවේන්ට ‘ඉල්ලා අස් වෙන්න’ කියලා ඒ රටේ ජනතාව උද්ඝෝෂණය කරනවා. ඒකට හේතුවත් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක්. ඒකට සම්බන්ධ වුණේ ඒ ජනාධිපතිනියගේ සමීප මිතුරියක්. එයාගේ නම චෝයි සුන්. මෙහේ බැඳුම්කර වංචාවට සම්බන්ධ වුණේ ‘සිංගප්පූර් අර්ජුන්’ කියලා සමීප මිතුරෙක්. අපට පෙනෙන්නේ ලෝකයේ ඇතැම් නායකයන්ට මේ විදියේ මිතුරු මිතුරියෝ සිටින බවයි.

‘අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතුයි’

මේ බැඳුම්කර ගනුදෙනුව ‘සාපරාධී අපරාධයක්’ කියලා කෝප් කමිටුවේ අපි තීරණය කළේ එය සිදුකර ඇති සැලසුම් සහගත, කුමන්ත්‍රණකාරී ආකාරය හොඳටම අවබෝධකර ගෙනයි. ඒ නිසා තවදුරටත් මේක යටගහන්න උවමනා නැහැ. දැන් ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට පුළුවන් ‘නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙනවා’ කියලා රටට පෙන්වන්න. ඒ සඳහා කඩිනමින් මේ කම්බ හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න. එතාකොට ජනතාව පිළිගනිවී, ‘දැන් යහපාලනය ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුව හොරු ටික රකින්නේ නැහැ’ කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වූ පාර්ලිමේන්තුව විසින් පිළිගෙන තිබෙනවා ‘මෙතැන හොරකමක් සිදුව තිබෙනවා’ කියලා. ඒ නිසා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරනවානම් ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම මෙම කෝප් කමිටු නිර්දේශ ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩහැර අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමකොටම ඉල්ලා අස්විය යුතුයි.

‘ඉහළ ගිය ණය පොලී අනුපාතික පහළ දමනු’

දකුණු කොරියාවේ ජනතාව අද පාරට බැහැලා තියෙන්නේ ඍජුව මහජන මුදල් කොල්ලකෑමකට නොවෙයි. මෙතැන සිදුවීම ඉට වඩා බරපතළයි. මෙතැනදී කොල්ලකාලා තියෙන්නේ මහ බැංකුව සතු ජනතාවගේ මුදල්. මේ බැඳුම්කර පොලී අනුපාතිකය 9.5% සිට 12.5% දක්වා ඉහළ දැමීම නිසා මේ රටේ සියලු ජනතාව අමාරුවේ වැටුණා. අපි කවුරුන් හෝ ණයක් ගත්තොත් ඒකට දැන් වැඩි පොලියක් ගෙවන්න සිදු වෙලා තිබෙනවා. අපි වැඩියෙන් ගෙවන පොලිය අද යන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ සාක්කුවට. අර්ජුන් මහේන්ද්‍රන්ලා කොල්ලකෑවේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ පඩිපතින්. උඩ ඉඳලා පහළට බලාගෙන ආවාම අර්ජුන මහේන්ද්‍රන්ලාගේ ගහලා තියෙන්නේ මේ රටේ තුන් වේල කන්න නැතිව ඉන්න දුප්පත් මිනිසුන්ගේ පඩිපතට. සමහරු හිතාගෙන ඉන්නේ ‘මේවා මිස්ටර් ක්ලීන්ලාගේ ටොප් ලෙවල් වැඩ’ කියලා. අවසානයේ මේ අය ගහලා තියෙන්නේ අසරණ ජනතාවගේ සාක්කුවට. ඒ අනුව බලනකොට මේ අර්ජුන මහෙන්ද්‍රන්ලා කියන්නේ ‘හිඟන්නෝ.’ ‘මහත්වරුනි, මීට හොඳයි කැටයක් අරගෙන ගිහිල්ලා රුපියල, සත පනහ, හිඟාකෑවා නම්’ කියලා අපි මේ ටයිකෝට් හොරුන්ට කියනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

බිරිඳක් මන්නයකින් කොටා ගිනි තබා සැමියා ඝාතනය කරලා

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

colombotoday

වැලිසර ප‍්‍රධාන නාවික හමුදා කදවුරේ කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමට තවත් මාසයක කාලයක්

colombotoday

“S තුනෙන් බාල වෛද්‍යවරු බිහිකරන කොතලාවල පනත එපා” – වෛද්‍ය සිසුන් පාර්ලිමේන්තුව අසල විරෝධතා

colombotoday