ArticlesColombo Today Local News

විජේවීර හා මාක්ස්වාදය අතහැර බුදු මගට පිලිපන් විප්ලවවාදියා..!!!

ජී.අයි.ඩී ධර්මසේකර ශ්‍රී ලාංකේය දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් විය , පසුව අනගාරික ධර්මසේකර වී පසුගියදා මාලේවන ධර්මවිජය නමින් සසුන්ගත විය.

වජිරාරාමවාසී පූජ්‍ය මාලේවන ධර්මවිජය හිමිපානන්වහන්සේ සමග පිළිසඳර සාකච්ඡා කළේ : දේවක එස්. ජයසූරිය

ඔබවහන්සේගේ සමකාලීන 71 සටන්කරුවන් , අද බුදු දහමේ වෛරක්කාරයන් බවට පත්වී තිබියදී , ඔබවහන්සේ බුදු දහමට , ජාතිකමතවාදයට පන්නරය දීමට හේතුව සහ අතීතය සිහිපත් කළොත් ?

ඒකට හේතුව මම බෞද්ධ පසුබිමකින් පැවත එන කෙනෙක් වීම මූලිකවම, මගේ සීයා ගමේ පංසලේ ප්‍රධාන දායකයා. ඔහු හෙන්ද්‍රික් අප්පුහාමී. කුඩා කාලේම ආච්චි නැතිවීම නිසා මගේ පියාත් තරමක දඩබ්බරයෙක් වෙලා තිබෙනවා. මගේ දෙමව්පියන්ට මාව ලැබුණේ අක්කලා දෙදෙනෙකුට පසුව. මගේ මව ඉතාම සිල්වත් ගුණවත් බෞද්ධ මාතාවක්. මවගේ අභාශය මට බලපෑවා, ඇය උගත් කාන්තාවක්. සියළු පීඩන ඉවසා ඇය අපව හදා වඩා ගත්තා. පවුලේ හත් දෙනෙක් හදාගන්න ඇය බොහෝම දුක් වින්දා. ඔක්කෝටම අම්මා ඉගැන්නුවා. මල්ලිලා දෙන්නාගේ අධ්‍යාපනයට බාධා ආවා මගේ දේශපාලනය නිසා ඉස්සර. මම දහම් පාසල් ගියා.

අම්මාගේ දුක දුටු මා තුළ ළමා වියේදීම ලොකු පරිවර්ථනයක් ඇති වුණා, වගා කළා, අම්මා පැදුරු වියනවා දැකලා ඇති වූ කම්පනයෙන් මම ගොවිතැන් පවා කළා. උසස් පෙළට උගන්වපු ගුරුවරු මාක්ස්වාදීන්, මම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට තේරුණා.

අම්මාගේ බරට මම කර දුන්නා, ඒ ගැන මම පොතකුත් ලියලා තිබෙනවා, කියවන කෙනෙකුගේ නෙතට කඳුළු උනවනසුලු ග්‍රන්ථයක් ඒ. සමයවර්ධන පොත හලෙන් පිටවෙන්න නියමිතයි. විශ්ව විද්‍යාලය තුළ ඒකල මහජන එක්සත් පෙරමුණ තමා බලවත් වෙලා හිටියේ. එහි නායකයා වෙලා හිටියේ මහාචාර්ය මංගල ඉලංගසිංහ ඉස්සර එතුමා ඉනාමළුවේ මංගල ලෙස පැවිදි වෙලා හිටියේ. බෙල්ලන්විල විමලරතන හාමුදුරුවොත් ශිෂ්‍ය සභාවේ නායකයා වෙලා හිටියා. ඒකාලේ කලණිය විශ්ව විද්‍යාලයේ ගෑණු ලමයි වැඩිය හිටියේ නෑ. කොල්ලෝ සෙට් වුණේ ගුරුකුලේ, ධර්මාලෝකේ කෙල්ලෝ එක්ක. එහිදී අපේ ශිෂ්‍යයෝ නොයෙක් ගැටුම් ඇති කර ගත්තා. එහිදී මම මැදිහත් වෙලා තමා ඒවා විසඳුවෙ. ඒනිසාම මම ජනප්‍රිය චරිතයක් වුණා විශ්ව විද්‍යාලය තුළ. පට්ටිය හන්දියේ, තොරණ හන්දියේ, උණ පඳුර හන්දියේ, බුළුගහ හන්දියේ, දර මඩුව හන්දියේ ආදී ස්තාන පහක අවන්හල් පිහිටා තිබුණා. ඒ හෑම එකක්ම දිව්වේ ක්‍රිස්තියාණි තරුන සංගම් වල කණ්ඩායම් ඔස්සේ. එකී ස්ථාන වල ගමේ චණ්ඩි එක්කාසු වෙලා විශ්ව විද්‍යාල කොල්ලන්ට ගහනවා. ගහන කොට ශිෂ්‍යයෝ වෙනුවෙන් සටන් කළේ මම. මම නියෝජනය කළේ කොමියුනිස්ට් පක්ෂය, ඒ ඔස්සේ ශිෂ්‍යනායකත්වයට එන්න මට විද්‍යාලංකාරය තුළ හැකිවුණා. එතකොට 65 යූ එන් පී ආණ්ඩුව තිබ්බේ. පියදාස ආදිපොල හිටියේ කිරිබත්ගොඩ නිසා ඔහුගේ වෘතීය සමිති වල වැඩසටහන් වලටත් මම සහභාගී වුණා. ඒ කාලේ කිසිකෙනෙක් ආයුධ පාවිච්චි කළේ නෑ.

වෘතීය සමිති ඔස්සේ ගමනක් යනකොට මට රෝහණ විජේවීරවත් මුණ ගැසුණා. විජේවීර දක්ෂ පුද්ගලයෙක්, ප්‍රියමනාප කෙනෙක් නොවෙයි, ඔහු කිව්වා තේ ගස මේ රටින් ඉවත් කළ යුතුයි මොකද තේ ගස නිසා මුලු උඩරටම පස සෝදා පාළුවට ලක් වෙනවා කියලා. දොස්තර වික්‍රමසිංහ ‘ඉදිරි මග ‘ කියන පොතෙන් කිව්වේත් ඒ ටිකමයි, හැබැයි සුමට ලෙස. ගං වතුරට සහ වැව් ගොඩ ඒමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ තේ කර්මාන්තයෙන් ඇතිවන සෝදා පාලුව. වැඩි කලක් නොගොස් මම ඔහුගෙන් ඉවත් වුණා. අපේ ව්‍යාපාරය තුළින් නොසිතූ ලෙස කරුණාරත්න නම් වූ පොලිස් පරීක්ෂකවරයෙක් මරණයට පත් වුණා , ඔහු ඉතාම එඩිතර අභීත නිළධාරියෙක්. සිරගත වී සිටිද්දී මම ත්‍රිපිටකය හැදෑරුවා. ලේ සෙලවෙන විප්ලවය අතහරින්න තීරණය කළා.

හාමුදුරුවනේ අපි අද අහනවා මේ ශ්‍රී ලාංකේය ජාතියක් ඇති කරන්න ඕනෑය කියන මතයක්, ශ්‍රී ලාංකේය ජාතියකට බසක් නෑ රැසක් නෑ , එහෙම වෙනකොට ඊට ඇති අන්‍යතාව කුමක්ද ?

මම එය පිළිගන්නේ නෑ , හැබැයි පිළිකෙව් කරන්නේත් නෑ. අපි තුළ යම් සමගි සම්මුතියක් තිබිය යුතුයි. මොකද දෙමල පුද්ගලයා සිංහලයෙක් වෙන්න කැමති නෑනේ. හැබැයි එහෙම කාලයක් අතීතයේ තිබ්බා. ලංකාවට ආපු සෑම ජන කොට්ඨාශයක්ම උරාගන්න සිංහලය්න්ට පුලුවන්කම තිබ්බා. නිදසුනක් ලෙස ක්‍රි. ව. 1200 දී පමණ මෙරටට පැමිණි සලාගම කුලයේ උදවිය, එඩිතර විරෝධාර සිංහල බලයක් බවට පත් වුණානේ. ලක් වෙරළ ආරක්ෂා කරන ප්‍රධාන බලවේගය අදටත් ඔවුන්නේ. ඔවුන් තුළ ජාතිමාමක හැඟීමක් තිබ්බා. රටට ලොකු සම්පතක් වුණා. නමුත් ක්‍රමාණුකූලව ඒ උරා ගැනීමේ ලක්ෂණය පරංගීන්ගේ ආගමනයත් සමග වෙනස් වුණා. මුස්ලිම් අය වෙනම ප්‍රජාවක් බවට ක්‍රමාණුකූලව පත්වෙන්න පටන් ගත්තා. පෙර කල මුස්ලිම් අයව ආරක්ෂා කළේ සිංහල රජවරු, පරංගි මෙහාට ආවෙත් මුස්ලිම්වරුන්ගේ නැවක් පන්නාගෙනනේ, ඔවුන්ගේ ප්‍රධාන හතුරා වුණේ මුස්ලිම්වරු. ඒ නිසා පරංගි හමුදා මුස්ලිම් වරුන්ව සංහාරය කරන විට අපේ රජවරු උඩරට, ගලගෙදර, නැගෙනහිර මුස්ලිම්වරුන්ට ආරක්ෂාව දුන්නා. බෞද්ධ චින්තනයේ ලක්ෂණය කිසිකෙනෙකුට අයුතු බලපෑමක් නොකිරීම. අසරන වූ විට පිහිට වීම. දැන් ඒ පිහිට වීමම අපට හිසරදයක් වෙලා, නැගෙනහිර පළාතේ අපට විරුද්ධ බලවේගයක් බවට මුස්ලිම් වරු පත්වෙලා.

හයවන බුවනෙකභාහු කියන්නේ කවුද සපුමල් කුමාරයා, “බලසේනා නායක සපුමල් කුමරු එන”. එයා තමා නල්ලූර් කෝවිල හැදුවේ, නල්ලූර් කෝවිලේ පටන් ගන්න ස්තෝත්‍ර යාතිකාවේ මුළින්ම කියවෙන්නෙත් සපුමල් කුමාරයා හැදුවා කියලානේ, පසුව ප්‍රභාකරන් ඒ ස්තොත්‍ර යාතිකාව බලෙන් නවතා දැමුවා. සුලේමාන් කියන මුස්ලිම් ලේඛකයා කියන්නේ මා ලෝකයේ දැකපු පොහොසත්ම රජ්ජුරුවෝ කෝට්ටේ හයවන පැරකුම්බා නරපතිඳුන් කියලා. සන්දේශ කාව්‍ය කීයක් නම් බිහි වුණාද ඒ කාලේ ? ආසියාවේ බුද්ධිමතුන් මෙහේ ආවා ඉගෙන ගන්න. දියනාවන් කිව්වේ ලෝකනායකයෙක් නිසයි පරාක්‍රමභාහු රජතුමාට.

ඩී එස් සේනානායක මහත්මයා 50 – 50 ඉල්ලපු කෙනාටම ඇමතිකමක් දුන්නා , ඩී එස් මැතිතුමා ලඟ ලොකු බෞද්ධකමක් තිබ්බේ නෑ , ඒත් සාධාර්ණත්වයක් තිබ්බා, පසුව සිංහලයන්ට වෙන අසාධාරණය බණ්ඩාරණායක මහත්මයා දැක්කා, ඒ පෙරළියට මුල් වුණේ මහා සංඝයාවහන්සේ. රට සභා පනත මහජනමතයට ගරු කරමින් එතුමා ඉරා දැම්මා.

අපේ පුවත්පත ආරම්භ කරන ලද්දේ ධර්මපාල ශ්‍රීමතාණන් විසින්, ධර්මපාලතුමා මේ රටින් යන්න අසිංහලයන්ගේ හැසිරීම හේතුවක් වුණා නේද හාමුදුරුවනේ ?

ඒ කාලේ ධර්මපාලතුමා කිව්වානේ හාමුදුරුවන්ට කෙළින්ම, මේ රටේ මහා සංස්කෘතිය විනාසවෙමින් යනවා, පඩික්කම් පුරෝ පුරෝ ඉන්නේ නැතුව අවදිවෙන්න කියලා. හාමුදුරුවරු යම් ප්‍රමාණයක් සවන් දුන්නා, ධර්මපාල කෙනෙක් බිහිවෙන්නත් බලපෑවේ මහා සංඝයාවහන්සේලානේ. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ තමා ඇත්තෙන්ම ධර්මපාල තුමාගේ අධ්‍යාත්මක ගුරුවරයා. අවුරුදු නවයේදී පානදුරාවාදය බැලීමෙන් අනතුරුවනේ ධර්මපාලතුමාගේ චින්තනය අවදි වෙන්න ගන්නේ. එතුමා මේ රටේ ධන කුවේරයෙක්ගේ පුතෙක්. දොන් කරෝලිස් නිෂ්පාදන ඒ කාලේ අමෙරිකාවෙනුත් ඉල්ලුවා. එතුමා තමාට ලැබෙන සියළු සම්පත් යෙදෙව්වේ මේ රට වෙනස් කරන්නේ , සිංහල බෞද්ධයා පුවත්පත එතුමාගේ ප්‍රාණය සම වෙන වස්තුවනේ. සෑම සතයක්ම පුවත්පත වෙනුවෙන් වැය කරන්න කිව්වනේ.
එතුමාගේ උනන්දුවට සරිලන විදියට බොහෝමයක් හාමුදුරුවරු ක්‍රියාත්මක වුණේ නෑ, ඒකයි එතුමාට තිබ්බ කලකිරීම. අමෙරිකාවේ චිකාගෝහී දී දේශණය පවත්වන්න ගිය වෙලාවේ ඉන්දියාවේ ස්වාමී විවේකානන්ද කියන මහා උගතා ටවත් අත් පුඩි නොගහපු උදවිය වයස 29 ධර්මපාලතුමාට ඔල්වරසන් දී අත්පුඩි ගැසුවා. මුලාසනයේ සිටි මහාචාර්ය බැරෝස් කිව්වා මට පේන්නේ ජේසුතුමා කහපාට ඇඳුමකින් මෙහි පැමිණ ඇති සේයාවක් කියලා.

එතුමා පටන් ගත්තා බෞද්ධ ඉස්කෝල , එතුමාගේ අක්කර විසි පහක ඉඩමක තමා පන්නිපිටියේ ධර්මපාලය පිහිටෙව්වේ. හාර්දාස් ගානක් දරුවෝ උගෙන ගන්නවා එහි අද . එතුමාව අපේ සමාජයේ සිටි බටහිර ගැත්තන්ට විෂ වුණා.

ඒගොල්ලෝ නිතරම එතුමාගෙන් අය වැය ඉල්ලුවා. ලෝක බෞද්ධ සම්මේලනය බිහි වෙනකොට ධර්මපාල තුමාගේ හොඳම ගෝලයා තමා එහි මුල්ම සභාපති වුණේ , ඔහු මහාචාර්ය ගුණපාල මලලසේකර . කලින් එතුමාගේ නම ජෝජ් පීරිස් මලලසේකර , ගුණපාල පියසේන මලලසේකර වුණේ ධර්මපාලතුමාගේ මග පෙන්වීම මතයි.

කලින් සිටිය පේදිරිස් සිල්වා , පසුව පියදාස සිරිසේන නම් වූ ගත්කරුවා වුණේ ධර්මපාලතුමාගේ මගපෙන්වීම යටතේයි. මේ මහා සංස්කෘතියේ කේන්ද්‍රය තමා රුවන්වැලිසෑය. එය සෑදුවේ දුටු ගැමුණු රජතුමා , ජාතියේ අසාහය වීරයා. රටට නිල වශයෙන් ආරක්ෂාවට හමුදාවක් නිර්මාණය කළේ එතුමාගේ පියා කාවන්තිස්ස රජතුමා , එතුමා තමා අපේ ජාතියේ පියා , නැතුව මේ වෙන අය නොවෙයි. එළාරට පරාජය අත් වෙමින් තිබෙද්දී ඔහු ඉන්දියාවේ සිටි තම බෑණා බල්ලුක ට එන්න කිව්වා යුද්දෙට ආධාර අරන්, ඔහු හැටදහසක් අරන් ආවා , ඉන්දියාව ලක්දිව යා වෙන පාලමක් තිබ්බා නම් බල්ලුක ලක්ෂ හයක් අරන් එන්නේ. ඒ නිසා ඔය හදන්න යන පාලම් වලට අපි එරෙහි වෙන්න ඕනේ . පාලමක් තිබ්බා නම් එදා දුටුගැමුණුත් පරාදයි. අපි ඉන්දියාව එක්ක තරහා නෑ, ඒත් පාලම් එපා.

‘පන ඇති මහා සමුදුර පවුරෙන් වටය’ , කේයස් ගේ කවියක්. ඒ නිසා අපේ දේශ සීමාව මහ සයුර මිසක් වෙන මොකක්වත් නොවෙයි. විදේශ ආක්‍රමණ දහතුනක් අපි ව්‍යර්ථ කළේ මේ බුදුදහම රකින්නයි. ඒ ආක්‍රමණ වලට නායකත්වය දුන්නේ මිනිස්සු වගේ හිටපු යක්කු තනිකරම , කාලිංග මාඝ පොලොන්නරුවම ලේ විලක් කළා. වලගම්භා රජතුමා ලෝකේ ලොකුම චෛත්‍යරාජයා අභයගිරිය හදලා වටේ පිරිවෙන් දොලහක් පිහිටෙව්වා , මමනොවෙයි කියන්නේ පාහියන්ගේ දෙශාටන වාර්ථා පොතේ කියන්නේ.

වලගම්භා මහ රජතුමා රටේ නොහිටිය තැනක් නෑ, වට්ටාරම හිටියා , වාරණ හිටියා, අවුරුදු දාහතරකට පසුව රට බේර ගත්තා. වලගම්භා රජතුමාගේ කාලේ තමා ලක්දිව ධර්මද්වීපය කියා ලෝකය හැඳින්වූයේ .අපි ජාතික උරුමය රැකීම පටන් ගත යුත්තේ දුටු ගැමුණුගෙන්.

වත්මන් රජය සිංහලයාගේ බෙල්ල සිර කිරීමට සහ රට නිරාගමික රාජ්‍යයක් කිරීමට ගෙන ඒමට වෙර දරණ ඊනියා ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඔබවහන්සේගේ අදහස ?

මේ රට පුංචි රටක් බෙදන්න දෙයක් නෑ, ස්වභාවධර්මෙන් ලැබුණු දේශසීමාවක් තියෙනවා, ෆෙඩරල් කියන්නේ ලෙඩක්, වෙන්වීමට පදනම එයයි. ව්‍යවස්ථාව ගේනවා නම් මට කියන්න තියෙන්නේ මේච්චරයි, මම සූදානම් , මට ආපහු කැරළි ගහන්න බෑනේ. චීවරය දරනවානේ. බුදු රජාණන්වහන්සේ සාරා සංඛ්‍යකල්ප ලක්ෂයක් පෙරුම් පුරලා දුශ්කර ක්‍රියා අත් හැරලා, සුජාතාවගේ කිරි පිඪු දානය වළඳලා තීන්දු කළා , අවසාන හුස්ම ගියත්, ලේ මස් නහර වියැළිලා මෙතන මැරී වැටුණත්, මම බුදුවෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නෑ කියලා, මම බුදු රජාණන්වහන්සේ ඉදිරිපිට කූඹියෙක් වගේ පොඩියි. නමුත් මටත් ඒ ආදර්ශය තිබෙනවා. මේගොල්ලෝ මේක කරන්න යනවා නම් මම පිට කොටුවේ බෝධිය ලඟ උපවාස කරන්න යන්නේ නෑ, පාරවල් අවහිර කරන්නේ නෑ , මම විහාරමහාදේවී උද්‍යානයේ අභියස තැන්පත් වී වාඩි වෙලා, ඒ බුදු ගුණ සිහි කරමින් මගේ ලේ මස් සිඳුණත් මම නැගිටින්නේ නෑ කියලා මේ ව්‍යවස්ථාව අකුලගන්නා බවට ජනාධිපති ඇවිල්ලා කියනකම් මම නැගිටින්නේ නෑ කියන අධිෂ්ඨානය ඇතුව මරාන්තික උපවාසයක් පටන් ගන්නවා.

සිංහල බෞද්ධයා පුවත්පත 2017 පෙබරවාරී කලාපය

Related posts

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අරඹන්න අනුමැතිය

colombotoday

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday

අලි සබ්රි 20 සභාගත කරයි, පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදී කොල්ල කාලා

Admin

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday