Colombo Today Local News

ෆොන්සේකාට හමුදාව භාර කිරීම ආලවක යක්‍ෂයාට රට භාර කිරීම වගෙයි.. මෛත්‍රීත් අනතුරේ !

සරත් ෆොන්සේකා මහතාට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශවල බලය පැවරීම ආලවක යක්‍ෂයාට රට භාර දීම වැනි භයානක දෙයක් බවත් අවසානයේදී ආලවක යක්‍ෂයා බුදුන්ට කීකරු වුවත් සරත් ෆොන්සේකා වැන්නකු අවසානයේදී තමන්ට බලය ලබාදුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ද කීකරු නොවනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජායන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

“මාධ්‍ය මගින් වාර්තා කළා, සරත් ෆොන්සේකා මහතාට ත්‍රිවිධ හමුදාව ඇතුළු අංරක්‍ෂක අංශ මෙහෙයවීමේ වගකීම ලබා දී ඇති බව. මේ බව මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ යහපාලන ආණ්ඩුවේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයායි. 1988-89 ධවල භීෂණ යුගයේ මේ රටේ තරුණ තරුණියන් දෙතිස් වද බන්ධනයට ලක් කළ ‘ප්‍රා’ නැමැති නිල නොවන හමුදාවේ හිටපු නායකයකු වන රාජිත සේනාරත්නගේ මුවින් මෙවැන්නක් අසන්න ලැබුණු අපේ පරම්පරාවේ බොහෝ පිරිස් තැති ගැන්වීමකට ලක්ව තිබෙනවා.

යහපාලනය, තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, නිදහස ආදී මහා පුරුෂාර්ථ 2015 ජනවාරි 08 වැනිදාට පෙර මහ ඉහළින් තොරොම්බල් කරපු මේ රනිල් – මෛත්‍රී පාලනය ජනතාවට තිබූ අයිතීන් ද අහිමිකර තිබෙනවා. මේ යමපාලකයන් අද තමන් බලයට ඒමට ලබා දුන් පොරොන්දු අළු දූවිලි බවට පත්කොට තිබෙනවා.

ඒ විතරක් නොවෙයි මේ ආණ්ඩුව මේ රට නිමක් නොපෙනෙන අඳුරු අගාධයක් වෙත අදගෙන යමින් තිබෙනවා. එක පැත්තකින් දෙමළ ඩයස්පෝරාව සහ බටහිර බලවතුන් සතුටු කිරීමට රට බෙදන ව්‍යවස්ථා මර උගුලක් සකසමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ ක්‍රියාදාමයකට අපේ රණවිරුවන් ගොදුරුකර අවසන්. ඒ අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නමින් දැන් රණවිරුවන්ට එරෙහි චෝදනා ෆැක්ටරියක් හදලා ඉවරයි. අතුරුදහන්වීම් වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළු කිරීමට අදාළ කටයුතු ද සිදුකර අවසන්. මේ මගින් බිල්ලට ගන්නේ රණවිරුවන්. ඒ විතරක් නොවෙයි ජාතික සම්පත් හා රාජ්‍ය ව්‍යවසායන් නොරටුන්ට විකුණා දමමින් තිබෙනවා. ගොවි ජනතාවගේ සහන කප්පාදු කරමින් ඔවුන් ගොවිතැනින් ඉවත් කරන්න හදනවා. නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපන අයිතිය උදුරා ගනිමින් තිබෙනවා. මේ පීඩකාරී තත්වයට එරෙහිව අද වැඩබිම්. ගොවිබිම්, සරසවිවල පමණක් නොවෙයි මඟතොට, රටපුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිව තිබෙනවා. රට බෙදනවාට, රට විකුණනවාට තමන්ගේ අයිතීන් කප්පාදු කරනවාට එරෙහිව රට පුරා සටන් වදින මිනිස්සු තලා පෙලා දමන්න, අතුරුදහන් කරවන්න, සදහටම නිහඬ කරන්න අද රනිල් – මෛත්‍රී ආණ්ඩුවට උවමනායි.

‘ඒකට පොලීසිය භාර ඇමති සාගල රත්නායකට පණ මදි. රාජ්‍ය ආරක්‍ෂක ඇමති රුවන් විජේවර්ධනට පණ මදි’ කියලයි රනිල් -මෛත්‍රී ආණ්ඩුව හිතන්නේ. ඒ නිසයි ධවල භිෂණයකට පණ පොවන්න පුළුවන්, හිට්ලර්ගේ හමුදාවේ හමුදාපති ධුරය දරපු ‘හර්මන් ගෝරිං’ වැනි චරිතයක් ඒ සඳහා තෝරාගෙන ඇත්තේ. එදා 1977දී ධර්මිෂ්ඨ සමාජයක් හදන්න බලය ඉල්ලපු ජේ.ආර්. ජයවර්ධන මේ රට 1988-89දී මිනී කනත්තක් බවට පත් කරලයි පස්ස බැලුවේ. 1971 සහ 1988-89 තරුණ නැගිටීම්වලදී මේ රට ලේ විලක් බවට පත් කරපු අතීතයක් අපට තිබෙනවා. ඒ වගේම තිස් අවුරුදු යුද්ධය නිසාත් මේ රට ලේ විලක් බවට පත් වුණා. ඒ නිසා මේ රටේ ලේ ගලා ගියා හොඳටම ඇති.

‘අලවකයාට රට භාර දෙන්න හදනවා’

සරත් ෆොන්සේකා මහතාට ත්‍රිවිධ හමුදාව භාර දුන්නොත් ඒක ආලවක යක්‍ෂයාට රට භාර දුන්නා වගේ තියේවි. නමුත් ආලවක යක්‍ෂයා අවසානයේදී බුදුන්වහන්සේට කීකරු වුණා. නමුත් මේ ‘ආලවකයා’නම් අවසානයේදී තමන්ට බලය පවරපු නායකයාටත් කීකරු වන එකක් නැහැ. ඒ බව හොඳින් මතක තබා ගන්නා ලෙස අපි මෛත්‍රිපාල සිරිසේන මහතාට අනතුරු හඟවනවා.

ඒ වගේම මේ රට නොනවතින ලේ ගංගාවකට ඇදලා දමන්න හදන්න මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවට එරෙහිව පෙරට එන ලෙස අපි මහා නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන්, අන්‍යාගමික පූජකතුමන්ලාගෙන්, විද්වත් වෘත්තිකයන්ගෙන්, කලාකරුවන්ගෙන්, ජනමාධ්‍යවේදීන්ගෙන් ඉතාමත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

යූරියා පොහොර වල බර අනුව පමණක් මිල නියම කරයි

colombotoday

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday

මම බෝම්බ ගැහුවෙත් නෑ. කෝටි 10 වන්දි මුදල ගෙවන්න තව මාස 3යි – මෛත්‍රී ආධාර ඉල්ලයි

Admin

මිලියන 4ක් QR කේතය හරහා ඉන්ධන ගැනීමට ලියාපදිංචි වෙයි

colombotoday

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday