Colombo Today Local News

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනයේ අවදානම ගැන මහබැංකුවෙන් නිවේදනයක්

අන්තර්ජාලය, වෙනත් මාධ්‍ය හෝ සෘජුව විවිධ පුද්ගලයින් ඉදිරිපත් කරනු ලබන කිසිදු ආකාරයක ක්‍රිප්ටෝ මුදල් යෝජනා ක්‍රමයක ආයෝජනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති බවයි.

තවද එහි සඳහන් වන්නේ, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට (Initial Coin Offering) හෝ එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට (Cryptocurrency Mining Operations), ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට (Cryptocurrency Exchange), ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාරගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවාවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවයි.

ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයක් බවත් ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

එසේම, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහජනතාවට නැවතත් අවධාරණය කරන මහබැංකුව පවසන්නේ, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන්වලට හසු වී ඇති බවත් මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන බවයි.

ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම මගින් අධික ප්‍රතිලාභ ලබාදීමේ පොරොන්දුව ඇතිව පුද්ගලයන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම මෙන්ම වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් පුද්ගලයින් රැවටීම ද මෙම වංචාවලට ඇතුළත් වේ. මෙම වංචාවන් පිළිගත් නියාමන සහ නෛතික ආරක්ෂණ යාන්ත්‍රණයන් මග හරින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාවට සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය අහිමි වී ඇති බවත් මහ බැංකුව පවසයි.

ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධව පවතින විවිධ ආකාරයේ අවදානම් සහ එමගින් මහජනතාව හට ඇතිවන මූල්‍යමය අලාභ ඇතුළු අනෙකුත් අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්, ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කර සිටී.

Related posts

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

colombotoday

පෙම පිලිනොගත් සිසුවිය පොරෝ පහරින් මරැට

colombotoday

උඩ පළාත ප්‍රා.සභා මන්ත්‍රීලා ගුටි ඇනගනිති… සභාපති, විපක්ෂනායක රෝහලේ

colombotoday

පාස්කු කොමිසම නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ නායකත්වය හා පක්ෂය විනාශ කිරිමේ අරමුණින් – ශ්‍රීලනිපයෙන් චෝදනා

colombotoday

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

colombotoday

කොරෝනා ආසාදිත සිසුවකු ලන්ඩන් ඕලෙවල් ලියන්න ඇවිත්. | මාමාට නිරෝධායන පනත යටතේ නඩු.

colombotoday