Colombo Today Local News

“පනත හදිසියේ සම්මත කළොත් වෙන්නේ මහා අගතියක්“ අභයතිස්ස හිමි කතානායකට ලියයි

abhayatissa-himiපසුගිය දිනවල අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා සහ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමිපාදයන් වහන්සේ අතර ඇතිවූ සංවාදය සහ ඉන් පසුව ඔහු විසින් මාධ්‍ය අමතා කරන්නට යෙදුණු ප‍්‍රකාශය පිළිබදව සහ ඉන් පසුව සමාජය තුල ඇතිවෙමින් පවතින කථිකාව පිළිබද පාර්ලිමේන්තුවේ කථානයෙක තුමන් දැනුවත් කිරීම සදහා ලිපියක් යොමු කළ බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

නව විහාර දේවාලගම් පනත සංවාදයට ගැනීම කල් තබා ඊට අදාළ මහජන කථිකාවට ඉඩ සලසන ලෙස තමන් වහන්සේ එම ලිපිය මගින් ඉල්ලා සිටි බවද  උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

කථානායකතුමන්වෙත යොමු කළ ලිපියේ සම්පූර්ණ පිටපත පහතින්-

2016 ඔක්තෝබර් 02 දින පැපිලියානේ දී ය.
ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා,
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,
කෝට්ටේ.

නව විහාර දේවාලගම් පනත හදිසියේ සම්මත කිරීම මගින් සිදුවිය හැකි ජාතික හා ශාසනික අනර්ථය පිළිබදව

ම විසින් මෙම ලිපිය ඔබතුමන් වෙත යොමු කරනු ලබන්නේ ප‍්‍රධාන පෙළේ ගිහි බෞද්ධ නායකයකු ලෙස ඔබතුමා සම්බුද්ධ ශාසනයට හිතාමාතා අනර්ථයක් සිදු නොකරනු ඇතැයි යන බලවත් සිතිවිල්ල සහිතව ය. පසුගිය දිනවල ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා සහ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමිපාදයන් වහන්සේ අතර ඇතිවූ සංවාදය සහ ඉන් පසුව එතුමන් විසින් මාධ්‍ය අමතා කරන්නට යෙදුණු ප‍්‍රකාශය ඔබතුමන්ගේ අවධානයට ලක්ව ඇතැයි සිතමි.

එහි දී ගෞරවාර්හ මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් ප‍්‍රකාශ කරන්නට යෙදුනේ නව පනතේ ගැටලූ තිබෙන බැවින් 1931 පැරණි පනත එසේ ම තිබීම හෙවත් ක‍්‍රියාත්මක වීම වඩා සුදුසු බවයි. නමුත් විජේදාස රාජපක්‍ෂ මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කළේ මහා සංඝරත්නයේ විරෝධතාව අනුව දියවඩන නිලමේ පත් කිරීමේ ප‍්‍රතිපාදන එසේ ම තිබිය දී අනෙකුත් සංශෝධන අඩංගු පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව මහානායක හිමියන්ගේ අපේක්‍ෂාව සහ ගරු අමාත්‍ය තුමන් කරන්නට උත්සාහ කරන දේ අතර බරපතල ප‍්‍රතිවිරෝධයක් පැන නගින බව ඔබතුමන් පිළිගන්නවා ඇත.

ඊට අමතරව මහා සංඝරත්නයේ විවිධ පාර්ශ්ව අතර පනතේ එන ප‍්‍රතිපාදන පිළිබදව එකගතාවක් ඇතිවී නොමැති බව ද රහසක් නොවේ. තව ද පනතේ වඩාත් සාධනීය දේ ඉන් ඉවත් කොට විනය තුළින් පාලනය වියයුතු මහා සංඝරත්නය වෙනම නීති පද්ධතියක් තුළින් පාලනයකට යටත් කිරීමේ ප‍්‍රතිපාදන ඊට ඇතුළත් කොට ඇති බව ද විවිධ පාර්ශ්වයන් තුළින් චෝදනා එල්ල වේ. මීට පෙර කතිකාවත් පනත සම්මත කිරීමට ගන්නා ලද උත්සාහය තුළ ද රජය මෙන් ම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද බරපතල අපහසුතාවයට ලක්විය.

ඒ අනුව පවතින තත්ත්වය තුළ අදාළ පනත් කෙටුම්පත පිළිබදව ගරුතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළත් මහාසංඝරත්නයේ සියලූ පාර්ශ්වයන් අතර එකගතාවක් ඇතිකර ගැනීම අවම කොන්දේසිය වන බවට විවාදයක් තිබිය හැකි ද? එසේ ම ඊට අදාළ විද්වත් සහ මහජන කතිකාවතක් නිර්මාණය කිරීම මගින් රටට වඩාත් සුදුසු නීතියක් සම්මත කිරීමට ඉඩ ලැබේ. මෙවැනි භාරදූර කටයුත්තක් හදිසියේ කිරීමට උත්සාහ දැරීමෙන් රජය ඇතුලූ සියලූ ම පාර්ශ්වයන්ට අගතියක් සිදුවන බව පැහැදිලිව පෙනේ.

එම නිසා පනත සාකච්ඡුාවට ගැනීම කල්තබා ඊට අදාළ මහජන සංවාදයට ඉඩ සලසන ලෙස මා ඔබතුමන්ට ඉතා ඔනෑකමින් සිහිපත් කරමි.

තෙරුවන් සරණයි.
මෙයට,
ශාසනස්ථිතිකාමී,
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර

Related posts

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

colombotoday

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

colombotoday

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

colombotoday

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday