Colombo Today Local News

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ලංකාවේ පවතින අධික ණය බර බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2022 වසර වන විට ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 28 කට ආසන්න වී තිබූ බවත්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත් බහුපාර්ශවීය ණය ඩොලර් බිලියන 11 ක් පමණ ද, ඉහත ණය මුදලට අමතරව ශ්‍රී ලංකාවට දරන්නට සිදු ව ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

ආණ්ඩුව මුහුණ දෙන තවත් අභියෝගයක් වන්නේ, පවත්නා ආර්ථික තත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාර ව පවත්වා ගෙන යමින් ඔවුන් විසින් පොරොන්දු වූ සුබසාධන පොරොන්දු පත්‍රය ඉටු කිරීමේ අභියෝගය බව ද, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, “මහජනයා පැතූ ‘වෙනස’ නව රජයට උදා කළ හැකි වේද?” – නව රජයෙන් මහජනයා බලාපොරොත්තු වන ආර්ථික, සමාජීය සහ දේශපාලනික වෙනස යථාර්ථයක් කිරීමේ අභියෝගය යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කෙරුණු ‘ජනරජ කතිකාව’ සාකච්ඡාමය වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා පෙන්වා දුන්නේ 2022 අප්‍රේල් මස 12 වෙනි දින ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකාව විසින් ගෙවා නොමැති ණය සහ පොළිය ඩොලර් බිලියන 8 ඉක්මවා තිබූ බව ය. විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය විසින් ඇති කර ගත් ගිවිසුමේ එකඟතා වෙනස් කිරීමට තමන් බලයට පත් වූ පසු කටයුතු කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ නමුත්, ඔවුන් තවදුරටත් එම ගිවිසුම මෙන් ම පසුගිය රජය විසින් ඉදිරියට ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ ම ඉදිරියට ගෙන යමින් සිටින බව ද පෙන්වා දුන්නේ ය.

පවතින ආණ්ඩුවේ බලධාරීන් තිදෙනා ආර්ථික විෂයය සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් නොමැති බව පෙනී යන බවත්, ඒ අනුව නිලධාරීන් විසින් දේශපාලකයන් කඩේ යවන තත්ත්වය රටට හිතකර නොමැති බව ද හෙතෙම උදාහරණ සහිත ව පෙන්වා දුන්නේ ය.

ණය තිරසරකරණ වැඩපිළිවෙළ (Debt Sustainability Analysis) ඉදිරියට ගෙන යාමේ අදහසක් නොමැති බව පැවසූ ජාතික ජන බලවේගය ඒ සඳහා ජනාධිපතිවරණ සමයේ විකල්ප වැඩපිළිවෙළක් ද ඉදිරිපත් කළේ නැත. නමුත් මේ වන විට එම ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට කටයුතු කිරීමට සිදු ව තිබේ. ඒ අනුව, ණය සඳහා දළ දේශීය නිෂ්පාදිතය දරන අනුපාතය 2022 දී 128% ක් වූ අගය 2032 වන විට 95% දක්වා අඩු කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කය ආණ්ඩුව වෙත ලැබී තිබේ. වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව එම ඉලක්කය සතුටුදායක එකක් බව ද රණවක මහතා පෙන්වා දුන්නේ ය. එමෙන්ම දල මූල්‍යනය අවශ්‍යතාව 2022 දී 34.6% ක් වූ අතර, එය 2032 වසර වන විට 13% කට වඩා අඩු කිරීම සහ 2022 දී 9.2% ක් වූ විදේශ ණය අනුපාතය 2027 – 2032 වන විට 4.5% දක්වා අඩු කර ගැනීම අපේක්ෂිත ය. මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ පැහැදිලි කිරීමක් ද රණවක මහතා විසින් සිදු කරන ලදී.

රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර වැනි කීර්තිමත් නිලධාරීන්ට රාජපක්ෂ රජය මගින් සිදු කෙරුණු කෙනෙහිලි කම් සම්බන්ධව සිහිපත් කළ රණවක මහතා, ඔවුන් කෙතරම් කීර්තිමත් දක්ෂ නිලධාරීන් වුව ද, පාස්කු ප්‍රහාර සම්බන්ධ කාල සීමාව තුළ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ වූ බැවින් ඔවුන් පාස්කු විමර්ශනවලින් ඉවත් කොට එම විමර්ශන සිදු කළ යුතු බවත්, එය ඔවුන්ට පවා හොඳ බව හෙතෙම ප්‍රකාශ කළේ ය.

ජනරජ කතිකාව සමග එක් වූ එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා අදහස් දක්වමින් සඳහන් කළේ දැනට තුන් දෙනෙකුගේ ආණ්ඩුවක් ක්‍රියාත්මක වන නමුත්, ඉදිරි මහා මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක් ලැබීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේ ය.

මේ මොහොතේ රටේ ප්‍රධාන දේශපාලන අභියෝග තුනක් පවතින බව ද හෙතෙම පෙන්වා දෙයි. මැති සබය මාලිමාවෙන් පුරවමු යනුවෙන් ජාතික ජන බලවේගය ගෙන යන ප්‍රචාරණය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොමැති බව පෙන්වා දෙන පරණවිතාන මහතා; පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය පූර්ණ ලෙස ගෙන යාම සඳහා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවීම සිදු නො කළ යුතු බව ඔහු පවසයි.

සති 06 ක කාලයක් තුළ ආණ්ඩුවේ සමස්ත හැසිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කල් වේලා ප්‍රමාණවත් නොවන නමුත්, ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් ගන්නා දිශානතිය සම්බන්ධයෙන් යම් යම් සංඥා ආණ්ඩුව පාර්ශවයෙන් ලබා දී තිබේ. තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් මහජනතාවට ද, එම අරමුණු ආණ්ඩුව ලවා ඉටු කර ගැනීමේ අභියෝගයකට මුහුණ දීමට සිදු ව තිබේ. ආර්ථික කාරණය කුමක් වුවත්, මුලින්ම කළ යුත්තේ දේශපාලනය සුද්ද කිරීම බව මහජනයාගේ මතය විය. වෘත්තීය සමිති හකුළුවා ගැනීම වැනි අදහස් මගින් ආණ්ඩුව දැනට ලබා දී තිබෙන ‘සිග්නල්’ හොඳ ඒවා නොවන බව ද, පරණවිතාන මහතා පෙන්වා දුන්නේ ය. එමෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනවරමක් ඉල්ලූ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට දැන් ක්‍රියාත්මක වන්නේ පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය ම බව ද ඔහු ප්‍රකාශ කළේ ය

– Media unit

Related posts

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday